 අරහත් මිහිඳු මා හිමි දෙසූ සදහම් දේශනා
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
උඩගබ්බල ඤාණාලෝක හිමි
මිහිඳු මා හිමියන්ගේ සූත්‍ර දේශනා තුළින් වඩාත් පැහැදිලි වන්නේ, ඉතා විධිමත්
සැලසුමකින් යුතු ව මෙරට ජනයාගේ ජන විඥාණය හා ජීවිතාවබෝධය, සංස්කෘතික හැසිරීම සමස්ත
ලෝකයට ම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් සකසා දීමට මිහිඳු මා හිමියන් තම
දේශනාවන් සිදු කළ බවයි.
චුල්ලහත්ථි පදෝපම සූත්‍රය
මජ්ක්‍ධිම නිකායේ ඔපම්ම වග්ගයේ සඳහන් සූත්‍ර අතුරෙන් ඉතා වැදගත් සූත්‍රයක් වන
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මිහිඳු මාහිමියන් විසින් ලංකාවේ දී ප්‍රථමයෙන් දේශනා කළ
සූත්‍රය වශයෙන් සම්භාවනා ලබයි. මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ජාණුස්සෝණිය නම්
බ්‍රාහ්මණයකු සමඟ පිලෝතික නම් බුද්ධ ශ්‍රාවකයකු අතර ඇති වන කතාබහකින් ඇරඹී
බුදුරදුන් හමු වී ඇති කර ගන්නා ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දකි.
විශේෂයෙන් මෙම සූත්‍රය තුළ ආර්ය ශීලස්කන්ධය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, මනා සිහි
කල්පනාවෙන් යුක්ත වීම, නීවරණ ප්‍රහාණය, රූපාවචර සමාපත්ති සතර, ආර්ය විනයෙහි
ත්‍රිවිද්‍යාව ආදී ගැඹුරු ධර්ම කරුණු රාශියක් විස්තරාත්මක ව ඉදිරිපත් කොට ඇත.
බුදුරදුන් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයකු වූ
ජාණුස්සෝණිය නම් බ්‍රාහ්මණයා හය මසකට වරක් සුදු වෙළඹුන් යොදන ලද ගැල් සිය ගණනක්
සහිත ව දහස් ගණන් පිරිස පිරිවරා මහත් වූ ඉසුරින් හා පෙළහරින් යුතු ව නගරාලංකාරය දැක
ගනු පිණිස නගරයෙහි ප්‍රදක්ෂිණා කරයි. එසේ ප්‍රදක්ෂිණා කරද්දී බුද්ධ උපස්ථානයට ගොස්
එන පිලෝතික බ්‍රාහ්මණයා මුණගැසෙන අතර, දෙදෙනා ම පිළිසඳර කතාබහෙන් පසුව බුදුරදුන්ගේ
ඥාණවන්තභාවය කොහොමද? කෙසේ දැනගන්නේ දැයි ජාණුස්සෝණිය විමසයි. අප වැන්නවුන් ඒ
බුදුරදුන්ගේ ඥාණවන්තභාවය කෙසේ ප්‍රකාශ කෙරෙම් ද, උන්වහන්සේගේ ඥාණවන්තභාවය දැනගත
හැක්කේ පෙරුම්පුරා බුද්ධත්වයට පත් වූ බුදුවරයකුට ම පමණි. සර්වඥතා ඥානයෙන් ලෝකයෙහි
ඇති තතු අතෙහි ඇති නෙල්ලි ගෙඩියක් සේ දැන වදාළ බුදුවරයකුගේ දැනුම් සම්භාරය ප්‍රකාශ
කළ හැක්කේ එබඳු ම බුදුවරයකුට පමණක් බව මෙහි දී අවධාරණය කර ඇත.
මෙසේ බුදුරදුන් ගැන ප්‍රශංසාත්මක ව කරුණු ගෙන හැර දක්වන පිලෝතිකගෙන් ජාණුස්සෝණිය
විමසා සිටියේ, මෙතරම් බුදුරදුන්ගේ ප්‍රඥාභාවය හෙවත් දැනුම් සම්භාරය පිළිබඳ ඔබට
පැහැදීමක් ඇති වූයේ කුමන කරුණක් නිසා ද යනුවෙනි.
එහි දී පිලෝතික බ්‍රාහ්මණයා ප්‍රකාශ කරනුයේ “මම උන්වහන්සේගේ ඥාන පද හතරක් දැක
ප්‍රසාදයට පත් වූ බව යි. එසේ ම බුදුන් වහන්සේ සර්වඥ ය, ධර්මය ස්වාක්ඛාත ය, සංඝයා
සුපටිපන්න ය බව දැක මම ප්‍රසාදයට පත් වුණෙමි. තව ද මේ ලෝකයෙහි නුවණැති යම්
බ්‍රාහ්මණ පණ්ඩිතයකු, ශ්‍රමණ පණ්ඩිතයකු, ක්ෂත්‍රිය පණ්ඩිතයකු, ගෘහපති පණ්ඩිතයකු,
බුදුරදුන් සමඟ වාද කරන්නේ නම්, ඔහු එම වාදයෙන් පසු කරුණු අවබෝධ කොටගෙන, නියම
තත්ත්වය තේරුම් ගෙන බුදුරදුන්ගේ ශ්‍රාවකයකු බවට පත් වේ.
ඇතුන් පිළිබඳ අවබෝධයක් ඇති දක්ෂ හස්ති ආචාර්යවරයකු කැලේ ගියේ, විශාල ඇත් පද පියවරක්
දකියි. එය දිගින්, පළලින් එම ඇත් පියවර දැක මේ මහා විශාල ඇත් රජකුගේ බව දැන ගන්නා
නමුත් මේ කැලේ ඉන්න ලොකු ඇතාගේ යැයි නිගමනයකට පැමිණෙන්නේ නැහැ. එයට හේතු වන්නේ මේ
කැලයෙහි වාමණිකා නම් ඇතෙක් සිටියි. උගේ ඇත් පියවර මෙබඳු බව තේරුම් ගනී. එසේ
තවදුරටක් යන විට ඔහු දකිනවා ඊටත් වඩා විශාල වූ දිගින් දික් වූ, පළලින් පළල් වූ තවත්
විශාල ඇත් පද පියවරක් දැක මේ කැලේ සිටින විශාලතම ඇතා බව නිගමනයකට පැමිණෙන්නේ නැත.
එයට හේතුව වන්නේ මේ කැලයෙහි උච්චාකාලාරිකා නම් ඇතාගේ පාද මෙබඳු බව දැන ගන්නවා. ඒ
ඇතා ගස්වල පිට අතුල්ලපු තැන්, අතු කඩපු තැන් දකිනවා. ඒත් මේ දක්ෂ හස්ති ආචාර්යවරයා
නිගමනයකට නොපැමිණෙන්නේ ඉහත දැක්වූ ඇතාගේ ස්වරූපය හා ස්වභාවය දන්නා බැවිනි. තවත්
ඉදිරියට යන විට එසේ ම සුවිශාල වූ පළලින් හා දිගින් යුක්ත වූ පා සලකුණු ඇති උස ගස්වල
අතු කඩන ලද, ඇඟ අතුල්ලන ලද පාරවල් දකිනවා. එසේ දැකත් අවසාන නිගමනයකට නොපැමිණෙන්නේ
උච්චාකණෙරුකා නම් තවත් ඇතකු මෙම කැලයෙහි වාසය කරන බැවිනි. ඒ ඇතාගේ පාද පියවර මුලින්
සඳහන් කළ ඇතුන්ගේ පාද පියවරට වඩා විශාල වන අතර, ඇඟ ඇතිල්ලීම්, අතු කැඩීම් ආදිය ද ඊට
වඩා ඉහළින් ඇත.
එහෙත් මේ නියම මහා විශාල ඇතා යැයි නිගමනයකට නොපැමිණ, තවත් ඉදිරියට යද්දී ඒ මහා
හස්ති රාජයා වතුරෙහි හෝ වෙනත් ස්ථානයක හෝ සිටිනු දකී. එවිට මේ විශාල හස්තිරාජයා
යැයි නිගමනයට පැමිණෙන්නා සේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ පණ්ඩිතයෝ ද
බුදුරදුන්ගේ මුල, මැද, අග, යහපත් වූ ද, අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හැම පැත්තෙන් ම
යහපත් වූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන, එම ධර්ම ශ්‍රවණය කොට, එම ධර්මය ඉතා හොඳට දේශනා
කර ඇති බවත්, කල් නොයවා විපාක දෙන බවත්, එව බලව යැයි දැක්විය හැකි බවත්, නුවණැත්තන්
විසින් ප්‍රශංසා කරන ලද බවත්, දැන ධර්මය කෙරෙහි පැහැදී, ශ්‍රද්ධාව දියුණු කර ගෙන,
ශාසනයට ප්‍රවිෂ්ට වේ. එසේ ප්‍රවිෂ්ට වන්නා වූ භික්ෂූන් වහන්සේගේ හැසිරීම කෙබඳු දැයි
මෙම සූත්‍රයේ විස්තර කර ඇත.
ඒ අනුව භික්ෂූන් වහන්සේගේ ශීලය පිළිබඳ විවරණයක් ඉදිරිපත් ව ඇත්තේ චුල්ලසීල,
මජ්ක්‍ධිම සීල, මහා සීල විවරණයට අනුව ය.
එම විස්තරයේ දී භික්ෂූන් වහන්සේ සතුන් මැරීමෙන්, සොරකමින් , අබ්‍රහ්මචර්යාවෙන්,
බොරු කීමෙන් , කේලම් කීමෙන්, රළු වදන් කීමෙන්, වැඩකට නැති හිස් වදන් කීමෙන්, විකාල
භෝජනයෙන් , නැටුම් ගැයුම් වැයුම් උසුළු විසුළු දස්නෙන්, මල්ගඳ විලවුන් ඈ දැරීමෙන්
වෙන් වීම, අල්ලස් ගැනීම් ආදී ප්‍රයෝගවලින් තම සුඛ විහරණයට කටයුතු නොකරමින් කය
පරිහරණය සඳහා ප්‍රමාණවත් (කුස පුරවා ගැනීම සඳහා) පිණ්ඩපාතයෙන් ද, යුක්ත ව කටයුතු
කරයි නම් ඒ භික්ෂුව ආර්ය ශීලයෙන් යුක්ත වූයේ වෙයි. මෙම ආර්ය ශීලය නිර්වාණගාමී
මාවතෙහි යෙදීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ ය.
එයින් හටගත් උත්තේජනය හේතුවෙන් බණ ඇසීමට පැමිණි පිරිස ශීඝ්‍රයෙන් වැඩි විය. එනිසා ම
ඇත් හලෙහි අවකාශ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අසල පිහිටි නන්දන උයනෙහි තෙරුන්ට අසුන්
පැනවීමට රජතුමාට සිදු විය. තෙරණුවෝ එහිදී ආසිවිසෝපම සූත්‍ර දේශනාව පැවැත්වූහ.
ආසිවිසෝපම සූත්‍රය
අප පරිහරණය කරන ශරීරයේ සංයුතියක් වන සතර මහාභූත දරුණු විස ඇති නාගයන් සිවු
දෙනකුටත්, පඤ්චස්කන්ධය දරුණු වධකයන් පස් දෙනකුටත්, අපගේ තෘෂ්ණාව ඇතුළත සැරිසරන
වධකයකුටත් ආදී වශයෙන් සම කොට මෙහි ආලය දුරුකොට කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර
ඕඝයන් තරණය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්නා ආකාරය මෙම සූත්‍රයේ පෙන්වා දෙයි.
මිහිඳු මහ රහතන් වහන්සේ දෙසූ මෙම සූත්‍රය අසා දහසක් දෙනා සෝවාන් ඵලයට පත් වූහ.
උන්වහන්සේ දිවයිනට පැමිණි මෙම දෙවන දිනය සවස් භාගය වන විට දෙදහස් පන්සියයක් දෙනා
සෝවාන් ඵලයට පත්වූහ. කෙසේ වෙතත් දවස ගෙවී යනු කිසිවකුට නොදැනුණි. තෙරුන් වහන්සේ
දැන් සවස් වී ඇතැයි මිස්සක පර්වතයට වඩිනු පිණිස සූදානම් විය. රජතුමා බුහුමන් සහිත ව
අසල තිබූ මහමෙවුනා උයන ආවාසයක් වේවා’යි සඟුනට පූජා කළේ ය. එහි එදින වැඩ විසූ තෙරුන්
වහන්සේ පසුදින රජ මැඳුරෙහි දානය වළඳා නන්දන වනයෙහි දී අනමතග්ගිය සූත්‍ර දේශනා කළහ.
අනමතග්ගිය සූත්‍රය
සංයුක්ත නිකාය නම් ත්‍රිපිටක ග්‍රන්ථයෙහි අනමතග්ගිය සංයුක්තය නමින් වෙන ම කොටසක්
ඇත. එහි සූත්‍ර රාශියක් වේ. එම සූත්‍ර සියල්ලෙහි ම පැවසෙන්නේ අක් මුල් නැති සංසාරය
පිළිබඳව ය. මහණෙනි, මේ සංසාරය අනවරාග්‍ර ය. මුලක් අගක් නො දත හැක්කේ ය. යැයි
තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ කරුණ මෙහි නොයෙක් ආකාරයෙන් විස්තර වේ. සංසාරය
කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත.
සංසාරයෙහි සැරිසරන කල්හි කෙනකු පානය කරන මව්කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා
වැඩි බව එක් සූත්‍රයක දක්වා තිබීම ඉන් එක් නිදසුනකි. මෙතරම් දිගු සංසාරයෙහි අපට අත්
විඳීමට සිදුවන දුක් කන්දරාව කොපමණ දැයි මෙම සූත්‍රවලින් සිතාගත හැකි ය. සැබැවින් ම
සංසාරයෙහි සැරිසැරීම දුකක් මිස සැපක් නොවේ. එහි ලැබිය හැකි ආස්වාදය අල්ප ය. දුක්
වේදනා අනල්ප ය.
අග්ගිඛන්ධෝපම සූත්‍රය
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ පළමු සතියෙහි සයවැනි දිනයෙහි දේශනා කරන ලද්දේ
අග්ගිඛන්ධෝපම සූත්‍රයයි. මෙම සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ මහත් ගිනි කඳක්
පෙන්වා දුසිරිත් කරමින්, දුසිල් ව, පාපී ලෙස හා මිච්ඡා ආජීවයෙන් යුතු ව ලෞකික කාම
සම්පත් පරිභෝජනය කරමින් ජීවත් වීමට වඩා එම ගිනි කඳ වැලඳගෙන මියයාම උතුම් බව වදාරති.
මිහිඳු මහරහතන් වහන්සේ රට පාලනය කරන්නන්ටත්, රට වැසියාටත් මෙම සූත්‍රය දේශනා කිරීමේ
අරමුණ වන්නට ඇත්තේ හොරකම, වංචාව, අල්ලස වැනි පාප ධර්ම කෙරෙන් තොර හා අව්‍යාජ මානව
දයාවෙන් යුතු සංස්කෘතියක් සැකසීමට විය යුතු ය. අනෙක් අතින් ආත්මීය පිරිසුදු බව
තුළින් ඇතිවන සතුට මිනිස් ප්‍රජාව වෙත ළඟා කරවීම සඳහා විය යුතු ය. මෙම සූත්‍ර
දේශනාවත් සමඟ සෝවාන් ඵලයට පත් උතුමන්ගේ සංඛ්‍යාව අටදහස් පන්සියයක් විය.
අප්පමාද සූත්‍රය
සත්වන දිනයෙහි රජුගේ අන්තඞපුර බිසොවුන්ට අප්‍රමාද සූත්‍ර දේශනාවෙන් අවවාද කළහ.
අප්‍රමාදය යනු පමා වීම නොවේ. සතියෙන් හෙවත් සිහියෙන් කටයුතු කිරීමයි. බුදුන්
වහන්සේගේ දේශනාවට අනුව සමස්ත බුදු දහම ම මෙම පදයට ඇතුළත් වේ. එතරම් වැදගත්කමක් එහි
පවතී.
අප්‍රමාදී ව, සිහි නුවණින් යුතු ව කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේ ලෞකික හා ලෝකෝත්තර
ජයග්‍රහණයේ සැබෑ රහසයි. මෙම සූත්‍රයෙන් ඔවුනට අවවාද කළ මිහිඳු මහරහතන් වහන්සේ
සෑගිරියට වැඩම කළහ.
මෙම සූත්‍ර කිහිපයේ අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඉතා විධිමත්
සැලසුමකින් යුතු ව මෙරට ජනයාගේ සංස්කෘතිය ජීවිතාවබෝධය හා හැසිරීම සමස්ත ලෝකයට ම
ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් දමා ඇති බවයි.
අනතුරුව මිහිඳු මාහිමියෝ රජු විසින් දෙන ලද සමන් මල් අටමිට බැගින් මහමෙව්නාවෙහි ඒ ඒ
තැන්වල ඉස සංඝ කර්මය සඳහා මාලකයක් පිහිටිය යුතු තැන, ශ්‍රී මහා බෝධි ශාඛාව පිහිටුවන
තැන, සංඝයා වහන්සේගේ උපෝසථ ශාලාව පිහිටුවන තැන, සංඝයා වහන්සේ රැස්ව දන් වළඳන
චතුශාලාව, මතු රජවන දුටුගැමුණු රජු විසින් ස්වර්ණමාලි මහා චෛත්‍යය පිහිටුවන තැන යන
අට තැන් පෙන්නුම් කොට කකුසඳ, කෝණාගම ආදී සිව් බුදුවරයන් වහන්සේ ද මෙහි, මෙම ස්ථාන,
මේ ආකාරයෙන් ම පිහිටන බව දක්වා වදාරා ඇති බව පැහැදිලි කර දුන්නහ.
සමාන්‍යයෙන් බුදු සසුනෙහි ත්‍රිවිධ ශාසානය වන පරියප්ති, පතිපත්ති, ප්‍රතිවේද යන
තුන් වංශය පිළිබඳ පැහැදිලි විස්තරයක අන්තර්ගතය පිළිබඳ සරල දේශනාවක් ද, මිහිදු මා
හිමියන් වහන්සේ ලක්දිව ඇති කළ පරියාප්ති ශාසනයේ ඇතුළත් විය යුතු දහම් කාරණා අප්පමාද
සූත්‍ර දේශනාව තුළ වඩාත් විස්තර වේ.
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට වසරක් යාමටත් මත්තෙන් මෙරට භික්‍ෂු
සංඛ්‍යාව බෙහෙවින් වර්ධනය වී තිබිණ. උන්වහන්සේ අතරින් හැටඅට දහසක් පමණ භික්‍ෂූන්
වහන්සේ විනය දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ථූපාරාමයට රැස් වූ බව පැරැණි මූලාශ්‍රවල
සඳහන් වී තිබේ. මෙහි දී දකුණු දෙස බලා පනවා තිබූ ආසනයක මිහිඳු මා හිමියන් ද, උතුරු
දෙසට මුහුණලා පනවා තිබූ ධර්මාසනයේ මහ අරිට්ඨ තෙරුන් වහන්සේ ද වාඩි වී සිටියහ.
ඉහතින් කී හැටඅට දහසක් පමණ භික්‍ෂූන් වහන්සේ අතරින් තෝරාගත් භික්‍ෂූන් වහන්සේ හැටඅට
නමක් ථූපාරාමයෙහි සිදු කළ පළමු විනය සංගායනාව සඳහා ධර්මාසනයන් හි අසුන් ගත් බව
සමන්ත පාසාදිකා බාහිර නිධාන කොටසෙහි විස්තර කොට තිබේ.
“තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායං විහරති” යනාදී වශයෙන් විනය නිධානය දේශනා කරත්ම
අපමණ ප්‍රාතිහාර්ය සිදුවූහ. එයින් මහ රජුන් ප්‍රමුඛ සැදැහැවත්හු අතිශයින් පැහැදී
සාධු නාද පවත්වමින් සිය සොම්නස පළ කළ මෙම විනය දේශනාව ගැන මහාවංශ, දීපවංශ යන පොත්
දෙකෙහිත්, විශේෂ වශයෙන් සඳහන් වේ.
මිහිඳු මාහිමිපාණන් වහන්සේ වැඩම කොට වදාළ මුල් දවසේ ලක් රජුන් ප්‍රධාන පිරිසට
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමෙන් ද ඉන්පසු තැන් කිහිපයක දී විමානවත්තු
ප්‍රේතවත්තු සච්ච සංයුක්ත විෂය සූත්‍ර දේශනා කිරීමෙන් ද සාමාන්‍යයෙන් බුදු
සසුන්හිලා ගැනෙන පරියත්ති පටිපත්ති, පටිවේද යන තුන්වංශය පිළිබඳ අන්තර්ගතය සිදු වී
තිබෙන හෙයින් ද, පරියත්ති, ශාසනයේ ඇතුළත් වන්නා වූ මුලින් කී දහම් ඉතා සරල ව වදාළ
සේක.
මේ අනුව පටිපත්ති වශයෙන් ගැනෙන ශික්ෂාපද සපුරාලීමෙන් ප්‍රතිපත්ති ශාසනය ද, ඉන් පසු
මගඵල දහම් පසක් කිරීමෙන් ප්‍රතිවේද ශාසනය ද යන ත්‍රිවිධ ශාසනය ම සම්පූර්ණ වී
තිබියදීත් පර්යාප්තිධර වූ භික්ෂූන් වහන්සේ පහළ වීම ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට
හේතු වන බව පිළිගෙන තිබුණු නිසා “විනයෝ නාම සාසනස්ස ආයු” යනුවෙන් ත්‍රිවිධ ශාසනයේ
පැවැත්මට බෙහෙවින් උපකාර වන්නා වූ විනයට මුල් තැන දෙන ලදී.
රජුගේ බාල සහෝදරයා වූ මත්තාභය නම් තෙරුන් වහන්සේ ද සිය පිරිවර පන්සීයක් භික්ෂූන්
සමඟ ධර්මාසනය වටා හිඳ ගත්හ. සෙසු භික්ෂූන් වහන්සේ සහ දායක පිරිස තම තමන්ට සුදුසු
තැන්හි හිඳගත්හ. අනතුරුව විනය දේශනාව අරඹමින් විනය පිටකයේ මුල් ග්‍රන්ථය වන
පාරාජිකා පාලිය මුල සිට දේශනා කරන්නට ආරම්භ කළේ ය.
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කළ ප්‍රධාන සූත්‍ර දේශනා තුළින් සාමාන්‍ය ජන
විඥානය තුළ ඇති විය යුතු ධර්මාවබෝධය සඳහා ප්‍රමුඛතාවක් දැක්වූ බව ඉහත සඳහන් සූත්‍ර
දේශනා තුළින් පෙනී යයි. ජීවිතයෙහි ඇති ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී අනියත ලක්ෂණ
පැහැදිලි කොට කුසල්, අකුසල් දෙකේ හොඳ නරක පෙන්වා දුන් මේ සූත්‍ර දේශනා අනුව
සාමාන්‍ය ජීවිතයේ දී ජනතාව කරන වැරැදිවලින් ඔවුන් මිදවීම සඳහා මාර්ගෝපදේශනයක් විය.
මෙම දහම් දේශනා තුළ අන්තර්ගත වනුයේ ජීවිතයේ අනිත්‍යතාව, නිවන් මඟට පිවිසෙන ආකාරය සහ
හොඳ නරක තෝරාගෙන යහපත් ජීවිතයක් ගත කළ යුතු ආකාරය පිළිබඳවයි.
අපගේ පූර්ව කුසල බල මහිමයක් හේතු කොට ගෙන අතීතයේ දී අනුබුදු මිහිඳු මහ රහතන්
වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිහිපත් කරමින්, පොසොන් සඳ අහසේ දිලෙන මෙවැනි මොහොතක
පින්වත් ඔබ ද මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මය මෙනෙහි
කරමින් තථාගත බුදුපියාණන් වහන්සේගේ උතුම් ශාසනය මෙරට මුල් බැසගෙන ලෝකයේ ප්‍රබල
ථේරවාදී බෞද්ධ රාජ්‍යයක් බවට පත්ව සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය විශිෂ්ට ලෙස ලෝකයේ
අභිවන්දනයට පත්වීමට තුඩු දුන් එම මහින්දාගමනය ඉතාම ගෞරවයෙන් අනුස්මරණය කරමු. |