Print this Article


යුග පෙරළියක සමාරම්භය

යුග පෙරළියක සමාරම්භය

බුදුරදුන් මුලින්ම කළේ බුද්ධත්වයට පත්වී සඟ සැටනමක් බිහිකොට ගම්වල නායකත්වය සඟරුවනට භාර කිරීම යි. එදා ගමේ නායකත්වය භාර කරන ලද්දේ සංඝරත්නයට යි.

ධර්මකාමී, අර්ථකාමී, සමාජ සාරධර්මකාමී සමාජයක් තැනීමට ප්‍රථමයෙන් ම ඉවහල් වන්නේ සඟරුවනයි. ඒ පදනමේ පිහිටායි එදා ගමත් - නගරයත් සදාචාරවාදී සමාජයක් ගොඩනැඟීමට ඉවහල් වූයේ.

මේ මඟෙහි යමින් මිහිඳු මාහිමියන් කෙළේත් මේ න්‍යායයි. එම න්‍යාය ප්‍රායෝගික තලයකට ගොස් ගම කේන්ද්‍ර කොට ගෙන ගමේ නායකත්වය සඟරුවනට පවරන ලදී. ඒ අනුව ගල්ලෙන් පරිශ්‍රය විහාර බවට පරිවර්තනය වී මහා විහාර බිහිවීම දක්වා දිවගියේ ය. මේ දැක්ම මතයි අනුරපුර මහාවිහාර හා අභයගිරි විහාර ද්වය ඇතිවූයේ.

ඕනෑම දේශයකට වංසකතාවක් අනිවාර්යයෙන් ම අවශ්‍යය. මහානාම මාහිමියන් අතින් සිංහල මහවංසය ලියැවුණේ එහි ඵල වශයෙනි. ප්‍රථමයෙන් මහා විහාරය ඉදිවී විශාල වශයෙන් සමාජ- ආගමික, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික විපර්යාසයකට බලපෑමක් ඇති කෙරිණි.

ධර්ම දේශනයෙන් අනතුරුව ධර්ම ග්‍රන්ථ ලියන්නට පෙළඹුණේ ශ්‍රවණගෝචර ශෛලියට ආදේශ වශයෙන් අක්ෂිගෝචර ශෛලියක් අරඹමිනි. එතැන් පටන් ධර්ම ග්‍රන්ථ බිහිවන්නට වූයේ, පොදු ජනතාව වඩාත් ධර්මයට නැඹුරු කිරීමේ පරම අටියෙනි.

වෙහෙර විහාර, දාගැබ් තනා සඟරුවන ඒ ආශි‍්‍රත ව වෙසෙන්නට භූමිකාව සකසා ජනතාවත්, සඟරුවනත් අතර සමීප සම්බන්ධතාවක් ඇති කිරීමට කටයුතු කරන ලදී. වැව, දාගැබ, කෙත ආශි‍්‍රත අපේ සංස්කෘතිය ගොඩනැඟුණේ ඒ අනුව ය. සිංහල ලකුණ මෙය යි. වැවක් තනා එයින් ගොඩ දමාගත් පස්වලින් දාගැබක් නිර්මාණය කරන ලදී. වැව ආශි‍්‍රත ජලයෙන් කෙත් යායක් ඉදි කිරීම මත මිනිසා ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීමේ කාර්යයට ද නැඹුරු විය. කුසගින්නේ සිට ධර්මය උකහා ගැනීමට, ගෝචර කර ගැනීමට නුපුළුවන. බුදුරදුන් පුද්ගලයන්ට ධර්ම දේශනා කළේත් මේ පරමාර්ථයේ පිහිටා ය. කසී භාරද්වාජ බමුණාට බණ දෙසුවේ කුස පුරවා ය. කුසගින්නේ සිටින පුද්ගලයකුට මොන බණ ද? මේ සාරාර්ථය පදනම් කොට ගෙන රට බත බුලතින් සරුසාර කිරීමට අදිටන් කොටගත් මිහිඳු ධර්මය නැත්නම් පොසොන් දර්ශනය මිනිසා මානසික වශයෙන් ද විපර්යාසයකට බඳුන් කෙළේ ය.

සංවේදී මිනිසෙක් රළු, පරළු ගතිවලින් දුරස්ථ වී ඉවසීමේ ගුණය පුරුදු පුහුණු කෙළේත් පොසොන් දර්ශනයයි. හැඩි දැඩි ගලකට ජීවයක් ලබා දුන්නේ මේ හේතුව නිසා ය. සඳකඩ පහණ, මුරගල්, කොරවක්ගල් පමණක් නොව බුදුරදුන්ගේ අප්‍රමාණ ගුණසමුදායෙන් අංශුවක් ගලකට ආරෝපණය කොට ශෛලමය බුදුරුවක් නිර්මාණය වූයේත්, මිනිසා සංවේදි වූ හෙයිනි. හිඳි බුදු පිළිම, හිටි බුදු පිළිම, සැතපෙන බුදු පිළිම පමණක් නොව නාග රූකම්, බහිරව රූකම්, පුන්කලස්, නාග - මනුෂ්‍ය රූකම් ආදී විවිධ ශෛලමය නිර්මාණ බිහිවූයේ ද පොසොන් පොහෝදා උදා වූ නව සංස්කෘතිය හේතු කොට ගෙන ය.

සඳකඩ පහණට පිවිසුණු සැදැහැවතුන්, මුරගල - කොරවක්ගල පසුකොට පියගැට පෙළ සංකීර්ණයට බුදුරුව වඳින්නට ගියේ, නිවන පසක් කර ගැනීමේ අටියෙනි. පොසොන් දර්ශනයෙන් නව ශිෂ්ටාචාරයක් ද බිහිවිය.

සමාජවාදයේ කේන්ද්‍රීය තැන්න ලෙස සැලකෙන පන්සල, බුදුරුව, බුදුගේ, බෝ ගස, බෝධි ප්‍රාකාරය, දාගැබ ආදි සංකේතවලින් උපලක්ෂිත කළේ බුද්ධ චරිතයයි. බුදු සමයයි. සිවු දිසාවෙන් එන ජනකායට විහාරගෙයි දොරටු හතරක් විවෘත වී ඒ දොරටුවල සඳකඩ පහන් සතරක් ද, මුරගල් ද, කොරවක් ගල් ද නිර්මාණය වී පැන් දෝවනය කිරීමට පැන් කලස් සතරක් භාවිතයට තැබුණේ ද මුව දෝවනය කොට අත් පා වතුරෙන් පිරිසුදු කොට බුදුගෙයට යාම සඳහා ය. මල් දෝතට ගෙන, පාවහන් ගලවා, පහන් සිතින් බුදුගෙයට යන්නට අපට ඉගැන්වූයේ, මිහිඳු දර්ශනය යි. පොසොන් දහමයි.

නව නිර්මාණ කෙරෙහි අප යොමු කළේත් මිහිඳු දර්ශනයයි. සමාජ සංවර්ධනය අරබයා නව ප්‍රවේශයකට අපේ විඥානය යොමු කිරීම ද මිහිඳු සංස්කෘතියෙන් ඇතිවූ තවත් ප්‍රතිඵලයකි.