Print this Article


පුර පෑළවිය සඳ - 19 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව:

පුර පෑළවිය සඳ - 19 කොටස

මෙතෙක් කතාව

දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය. පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන් ගැන ඇති වූයේ මහා දුකකි. මේ අතර සිරිල් මාමා රෝගී වේ.

 

මැණික් රාළ සාමණේරයන්ට කැමැති නැත. ළං වෙනකල් උන්නෝතින් කතා කරන්නට, එහෙයි කියන්නට, වඳීන්නට වෙනවා ය. කටහඬ ඇසුණු විටම යන්නට පිටත් වූයේ ඒ නිසා ය.

“මං එහෙනම් ගොහින් එඤ්ඤං... “

“තෙරුවන් සරණයි ! සුවපත් වේවා උපාසක මහත්තයා. මං එහෙම නම් දාන ශාලාවට ගිහිල්ලා... කැඳ ටික වළඳන්නම්කෝ. ලොකු ස්වාමීන් වහන්සේ කතා කරනවාලු... “

සිරිමල් මාමා නැවත පන්සලට රැගෙන ආවේ සති දෙකකට පමණ පසුව ය. කෙතරම් ලොකුවට වංශය කබල්ගෑවත් ඒ දරුවන් සිරිමල් මාමා ව බාර ගැනීමට නම් කැමැති වූයේ නැත.

සති දෙකට ම එකම එක වතාවක් තම පියා බැලීමට පැමිණි දියණිය සහ බෑනා කතා කළේ ම නැති බැරිකම් ගැන ම ය.

“ අනේ ඇඳක්වත් තිබ්බනං තාත්තව ගෙනිහින් තියාගෙන අපිට සලකන්න තිබ්බා නේද ඒයි ..? “

දියණිය පැවසුවේ එසේ ය.

“ පිස්සුද කාංචනා,

මාත් වැඩට යනවා. ඔයා දරුවත් එක්ක කොහොමද අප්පච්චිව බලා ගන්නේ.”

බෑනා කීවේ එසේ ය.

සිරිමල්ට අතීතය මතක් වන්නට වූයේ නිරායාසයෙනි. මුලින් ම ඔහුට සිහිවූයේ දියණිය කර මත තබා ගෙන එහෙමෙහෙ දිවගිය ආකාරය යි. වත්ත පිටිය සමඟ කොපමණ ඔට්ටු වී සිටියත් වෙහෙසක් නොතකා සුරතල් කළේ ය. පියවර දෙක තුනක් ඔසවා ඇවිදින කල අත්පුඩි ගසා සතුටු වූයේ මෑ ගැන ම ය. දහසක් දුක් කරදර මැද අකුරු කරන්නට පාසල් රැගෙන ගියේ මෑව ය. ජීවිතයේ දිනනු දැක බලා හදවතින් සතුටු වූයේ ද සිනාසුණේ ද මෑ ගැන සිහින දැක ම ය.

නමුත් එම දයාබර සුරතල් දියණියම අද තමාට පල නොකියා අපූරුවට පලා බෙදන්නී ය.

ජීවිතය යනු බලාපොරොත්තුවලින් පිරි මායාකාරි මුලාවකි. කාලානුරූපී ව ජීවිත ද බැඳීම් ද නොදැනීම වෙනස් වී යයි.

මව්පියන් “මගෙ තාත්තා, මගෙ අම්මා" කියමින් තමන්ගේ කර ගැනීමට කුඩා කාලයේ රණ්ඩු වූ දූ දරුවන් ම වැඩිහිටියන් වූ කල දෙමාපියන් භාර ගැනීමට මැලි ව “ මගෙ විතරක් ද ? ඔයාගෙත් අම්මා තාත්තනෙ “ කියමින් රණ්ඩු සරුවල් වෙති. තුරුණු වියේ දී සහ මැදි වියේ දී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වූ අලුත, දරුවන් පිළිබඳ ව උපදනා අසීමිත ප්‍රේමය පසු කලෙක තමන්ට ම දුක උරුම කර දෙන ව්‍යසනයක් වන අවස්ථා ද වන්නේ ය.

කිසිවක් කර කියාගත නොහැකි වියපත් වියේ දී දරුවනුත් තමන් හැර දැමූ කල අහෝ කවර පිහිටක් ද ? මහ හඬින් කෑ ගසා හඬන්නට සිතුණත් වැඩිහිටියෙකු ලෙස එය තමන්ට යුතු නොවන බව සිරිමල්ට සිතිණි.

කියන්නට බොහෝ දෑ හදවතේ තිබුණත් එය සිතිවිල්ලක් බවට පමණක් සිරිමල් පත්කර ගත්තේ ය.

‘කමන් නෑ මගේ දුවේ, උඹල සතුටින් ඉඳපල්ලා. මං කවදාවත් උඹල එක්ක තරහක් නෑ. නන්ද හාමුදුරුවෝ කියනවා වගේ ජීවිතය කියන්නෙ මේකට තමයි මගේ දුවේ. උඹලටත් කවද හරි උඹලගේ දරුවෙක් මෙහෙම කරපුවාම මගේ වේදනාව කොයිතරම් ද කියල දැනේවි මගේ දුවේ. වනේ වන හතුරෙකුටවත් මෙහෙම වේදනාවක් නං දැනෙන්න එපා කියලයි මගේ දුවේ මම ප්‍රාර්ථනා කරන්නේ.’

එම සිතිවිලිත් සමඟ සිරිමල්ගෙ වැහැරී ගිය දෙකොපුල් වලට කදුලු සීතලද දැනෙමින් තිබිණි.

මතු සම්බන්ධයි