ශ්‍රී
ලාංකේය ලේඛන සම්ප්‍රදායේ
ස්වර්ණමය සමාරම්භය
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
වසර දෙදහසකට වඩා දිගු ඉතිහාසයක් ඇති සිංහල භාෂාව නිර්මාණය වී ඇත්තේ සංස්කෘත, පාලි
යන ඉන්දු ආර්ය භාෂාවන්හි ආභාෂයෙනි.
සිංහල යනු අපගේ මාතෘ භාෂාවයි. එය ලෝකයේ පවතින සුන්දරතම භාෂාවන්ගෙන් එකකි. මේ වන විට
සියවස් විස්සකට වඩා ඉතිහාසයක් ඇති සිංහල භාෂාව දැනට ලෝකයේ පවතින පැරණිතම
භාෂාවන්ගෙන් එකකි. අනුක්‍රමයෙන් සංවර්ධනය වී ලෝකයේ දියුණු භාෂාවන් සමූහයට එකතු වී
ඇති සිංහල භාෂාවේ රටා සමුදාය ද අතිශයින් ම සිත් ගන්නා සුලු ය.
සිංහල භාෂාව මේ අයුරින් විකාශනය වීමට මූලික පදනම දමනු ලැබුවේ මිහිඳු මහරහතන් වහන්සේ
ය. උන්වහන්සේ ලංකාවට වැඩම කරන විට ප්‍රාථමික රූපාක්ෂර පැවතිය ද දියුණු ලේඛන
සම්ප්‍රදායක් නොතිබුණි. මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පැමිණි පිරිසට නවාතැන් සැපයීම
දෙවන පෑතිස් රජතුමා මුහුණ දුන් විශාල අභියෝගයකි. ගෘහ නිර්මාණ ශිල්පය ඉතාමත්
නොදියුණු තත්ත්වයක පැවති බැවින් ක්ෂණික ව වෙස්සගිරිය සහ අටසැටලෙන් පිළිසකර කොට
මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසට පූජා කිරීමට යුහුසුළු විය. මෙහිදී පූජා කළ
අයගේ සහ පූජාව ලැබූ ප්‍රතිග්‍රාහක පක්ෂයේ නම් කෙටීමට අක්ෂර අවශ්‍ය විය. මෙහිදී
මිහිඳු මහරහතන් වහන්සේ බ්‍රාහ්මී අක්ෂර හඳුන්වා දෙනු ලැබූහ. මේ අනුව ශ්‍රී ලාංකේය
ලේඛන සම්ප්‍රදායේ පුරෝගාමියා ලෙස මිහිඳු මාහිමියන් හඳුන්වා දීම සාවද්‍ය අදහසක්
නොවේ.
 මිහිඳු මහරහතන් වහන්සේ අපට හඳුන්වා දෙන ලද බුද්ධිමය දායාද අතර ලේඛන සම්ප්‍රදායට
හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. සිංහල භාෂාව හැදී වැඩී පෝෂණය වීමට මිහිඳු මහරහතන්
වහන්සේ මූලික පදනම දැමුවා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවන බව විමර්ශනශීලී ව බලන විට
පෙනී යයි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ බුදුරදුන් පිරිනිවී
තෙමසකින් පසු සම්මත කර ගත්, උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහත් පරම්පරාව ආරක්ෂා
කොට ගෙන එන ලද දෙවැනි ධර්ම සංගායනාවේ දී සහ තුන්වැනි ධර්ම සංගායනාවේ දී ප්‍රකෘතිමත්
කරන ලද ත්‍රිපිටක බුද්ධ වචන කතාව හා ශාසනවංශ කතාවයි. මිහිඳු මහරහතන් වහන්සේ ඉතා
මැනවින් ත්‍රිපිටක බුද්ධ වචනය ලක්වැසියාට දේශනා කළ සේක. ප්‍රථම ලාංකික භික්ෂුව සේ
සැලකිය හැකි අරිට්ඨ මහ ස්ථවිරයන් මිහිඳු මා හිමියන්ගෙන් අසා දැනගත් විනය පිටකය
ථූපාරාමයේ දී මිහිඳු මාහිමියන් හා සම අසුන්හි ඉඳගෙන කටපාඩමෙන් දෙසන ලද බව කියැවේ.
භාරත දේශයේ සිදුවූ ආකාරයට ම අරිට්ඨ මහ රහතන් වහන්සේ ප්‍රධාන මහ තෙරවරුන් විසින්
පරම්පරාවෙන් පරම්පරාවට ත්‍රිපිටකය බුද්ධ භාෂිතය කටපාඩමෙන් ගෙන එන ලදහ.
මෙසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තුන් මසකින් පසුව ආනන්ද හාමුදුරුවන් විසින්
සජ්ඣායනා කරන ලද ස්ථවිර පරම්පරා අනුපිළිවෙළින් අඛණ්ඩ ව රැක වරින්වර ප්‍රකෘතිමත්
කරමින් මුඛ පරම්පරාවෙන් ගෙන එන ලද ත්‍රිපිටක බුද්ධ භාෂිතය සහ ශාසනවංශ කතාව ප්‍රථම
වරට ලේඛනගත කෙරුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර හාරසිය පනස් හතරක් ගිය තැන
ය. මෙය මානව ඉතිහාසයේ අතිශය වැදගත් සංසිද්ධියකි. එදා සිට විවිධ අටුවා ටීකා හා
පරිවාර මහා සාහිත්‍යයක් බිහිකරමින් වර්තමාන පරම්පරාවට භාවමය හා බුද්ධිමය නිම්වළලු
විකසිත කර ගැනීමට මඟ හසර විවර කළේ මිහිඳු මහරහතන් වහන්සේ ය.
අනුරාධපුර යුගයේ වලගම්බා රජු දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ අතර, ඉන් වසර සිය ගණනකට
පසු මහානාග රජු දවස බුද්ධඝෝෂ හිමියෝ ලංකාවට වැඩම කොට සිංහලෙන් තිබූ හෙළ අටුවා
(අටුවා යනු ත්‍රිපිටකයට අයත් පොත්වලට ලියා ඇති අර්ථ විවරණ සමූහයයි) පාලි භාෂාවට
පරිවර්තනය කරනු ලැබූහ. එමෙන් ම විසුද්ධි මාර්ගය වැනි ධර්ම ග්‍රන්ථ සාහිත්‍යයට එක්
කළහ. නූතනය වන විට ධර්ම ශාස්ත්‍ර සාහිත්‍යය මෙන්ම සිංහල සාහිත්‍ය ද විශ්ව සාහිත්‍යය
ස්පර්ශ කිරීමට තරම් සුදුසුකම් ලබා ඇතැයි පැවසීම වර්ණනාවක් නොවන බව බෞද්ධ ආගමික
පසුබිමකින් ලියවී ඇති සද්ධර්ම රත්නාවලිය පන්සිය පනස්ජාතක පොත, සද්ධර්මාලංකාරය වැනි
ග්‍රන්ථ විශ්ව සම්භාවනාවට පත් මහා සාහිත්‍ය ග්‍රන්ථ තුළින් පැහැදිලි වේ.
මහින්දාගමනයෙන් පසුව ශ්‍රී ලාංකික ජන සමාජය ශිෂ්ටාචාරගත වීම අහම්බෙන් සිදු වූවක්
නොව දිගු කලක් පැවති ඉන්දු ශ්‍රී ලංකා ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි ප්‍රතිඵලයකි. කෘෂි
කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, කලාව වැනි සෑම ක්ෂේත්‍රයක් ම මිහිඳු මහා සංස්කෘතිය
සමඟ බැඳී ඇත. විශේෂයෙන් ම එකී සාහිත්‍යය යුගවල දී නිර්මාණය වූ සාහිත්‍යය කෘති හැදී
වැඩී පෝෂණය වීමට මිහිඳු මහරහතන් වහන්සේගේ මූලික මඟ පෙන්වීම තීරණාත්මක විය.
භාෂාව හා සාහිත්‍යය මැනවින් උකහා ගත් සමාජයක් මානව ධර්මතාවලින් පොහොසත් ය. මිනිස්
සන්තානය තුළ සහකම්පනය සහ සංවේදී බව ජනිත කරවන ආශ්වාදජනක මෙවලම වනුයේ භාෂාව හා
සාහිත්‍යය යි. එය මානව සංස්කෘතිය සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතී. මානව සංස්කෘතියේ
ප්‍රගමනයට ඍජු ලෙස ම බලපාන්නේ ලේඛනගත සාහිත්‍යය යි. එය මානව චරිත සංවර්ධනය තුළින්
යහපත් සමාජයක් නිර්මාණය කරයි.
භාෂාව හා සාහිත්‍යය රටක ජාතියක අනන්‍යතාව සනිටුහන් කරයි. කලාව නැමැති වෘක්ෂයේ
ප්‍රධාන ප්‍රපංචය වනුයේ භාෂාව හා සාහිත්‍යය යි. ශ්‍රී ලාංකික සමාජය තුළ
ගුණධර්මවලින් සුපෝෂිත මිනිසුන් නිර්මාණය කිරීමට මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වා දෙනු
ලැබූ ලේඛන සම්ප්‍රදායේ අග්‍රඵලයට සාක්ෂි සපයනු ලබන්නේ දම්පියා අටුවා ගැටපදය,
සියබස්ලඛර, සිඛවළඳවිනිස, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, කව්සිළුමිණ, සසදාවත, බුත්සරණ,
අමාවතුර, කාව්‍යශේඛරය, සිදත් සඟරාව සහ ජාතක පොත යන සම්භාව්‍ය කෘතීන් ය. |