Print this Article


දැහැමි දැයකට පරසිදු - දිවිය කැප කළ නරනිඳු

දැහැමි දැයකට පරසිදු - දිවිය කැප කළ නරනිඳු

මිහිඳු මාහිමි ඇතුළු ධර්මදූත කණ්ඩායමට මෙරට දී තම කාර්යය සඵල කර ගැනීමට පහසුකම් සලසා දෙනු ලැබුවේ එවකට අනුරාධපුර රාජධානියේ පාලකයා වශයෙන් කටයුතු කළ මුටසීව රජුගේ දෙවැනි පුත් දේවානම් පියතිස්ස රජතුමා විසිනි.

නවෝදයක ඇරඹුම

“ඒ දෙවන පෑතිස් රජ නුවර වැසියන්ට දියකෙළි විධාන කොට තෙමේ මුව දඩයමට ගියේ ය. සතළිස් දහසක් මිනිසුන් පිරිවරන ලදුයේ පයින් ම මිහින්තලා පර්වතයට නැංගේ ය. එකල ඒ පව්හි වසන එක්තරා දෙවියකු මුවකුගේ වෙස් ගෙන රජුට පෙනෙන පරිදි තණ කමින් සිටියේ ය. රජතුමා මුවා දුවන්නට සලස්වා ඔහු එළවා ගෙන යන අතර, මිහිඳු හිමියන් දැක බියපත් ව නතර විය. එවිට මිහිඳු හිමියෝ ‘තිස්ස මෙහි එව'යි වදාරා තමන් දඹදිව සිට පැමිණි ධර්ම දූතයකු බව පැවසූහ. මහාවංසයේ සඳහන් ව ඇති ආකාරයට මිහිඳු හිමියන් හා දේවානම් පියතිස්ස රජු හමුවන්නේ ඒ ආකාරයෙනි. රජුගේ බුද්ධි මහිමය ඥාති හා අඹ ප්‍රශ්නයෙන් හඳුනාගත් මිහිඳු හිමියන් රජතුමා ඇතුළු පිරිසට අර්හත් භාවය, චතුරාර්ය සත්‍යය හා භික්‍ෂූන් වහන්සේ ගත කළ යුතු ජීවිතය පිළිබඳ ව ඉගැන්වීම් ඇතුළත් ‘චුල්ල හත්ථිපදෝපම’ සූත්‍රයෙන් ධර්ම දේශනා පැවැත් වූහ. මෙම දේශනාව ශ්‍රවණය කළ රජතුමා ඇතුළු පිරිස බුදු සමය වැළඳගත් බව වංසකථාවේ සඳහන් ව ඇත.

දේවානම් පියතිස්ස රජුගේ අනුග්‍රහය සහ සහයෝගය යටතේ මිහිඳු හිමියන් රාජ මාලිගාවේ හා ඉන් බැහැර ප්‍රජාව වෙනුවෙන් ධර්ම දේශනා කිහිපයක් ම සිදුකළ බව මහාවංසයේ 14 හා 15 යන පරිච්ඡේදවල සඳහන් ව ඇත.

මිහිඳු හිමියන්ගේ ධර්ම දේශනාවන්ගෙන් මහත් උද්දාමයට හා ප්‍රසාදයට පැමිණි බොහෝ ජනයා උන්වහන්සේගෙන් ඒ අමාවන් රසැති දහම ඇසීමට දිනපතා ඒකරාසී වූහ. පැමිණි විශාල පිරිසට උන්වහන්සේ පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තය, බාලපණ්ඩිත, අග්ගික්ඛන්ධෝපම, ආසිවිසෝපම, ඛජ්ජනීය, ගෝමයපිණ්ඩික, ධම්මචක්ඛප්පවත්තන වැනි සූත්‍ර ධර්ම උපයෝගි කර ගනිමින් ධර්ම දේශනා සිදු කළහ. එම සූත්‍ර ධර්ම ඇසීමෙන් දස දහස් ගණන් පිරිස මගඵල භාවය ලැබූහ. ධර්ම ශ්‍රවණයට පැමිණි විශාල ජනකායට රාජ මාලිගාව, මඟුල් ඇත්හල හා නන්දන උයන ආදි ස්ථාන ඉතා සුපිරිසුදු ආකාරයෙන් සකසා දෙන ලද්දේ දේවානම් පියතිස්ස රජතුමා විසිනි. මේ ආකාරයෙන් රජතුමා දින ගණනාවක් මහජනයාට ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන් අතර, එයින් විශාල පිරිසකට නව දහම, පිළිබඳ ව අවබෝධය ඇති කර ගැනීමට අවකාශ සැලසුණි.

මහමෙව්නා උයන සඟ සතු කෙරෙයි

මිහිඳු හිමියන් අනුරාධපුර රාජමාලිගාවට වැඩම කළ තෙවැනි දිනයේ දී තමා සතු නන්දන උයන බුදුසසුනට පූජා කිරීමට රජතුමා අවසර ඉල්ලූ නමුත් මිහිඳු හිමියන් එය පිළිගැනීමට අකැමැති වූයේ නගරයට බෙහෙවින් සමීප බැවිනි. අනතුරුව රජතුමා නගරයට දුරත් නොවූ, ළඟත් නොවූ මහමෙව්නා උයන සසුන වෙත අතපැන් වත්කරමින් සඟසතු කොට පූජා කළ බවත්, එම භූමියේ සීමා රන් නඟුලකින් සලකුණු කළ බවත්, රජතුමා ඒ සෑම ස්ථානයකට ම ගමන් කළ බවත් මහාවංසයේ 15 වැනි පරිච්ඡේදයේ සඳහන් ව ඇත.

බිම්බිසාර රජතුමා වේළුවනාරාම භූමිය බුදුසසුනට පූජා කළ පරිද්දෙන් මහමෙව්නා උයන ද සංඝයා වහන්සේ වෙත අතපැන් වත්කොට පූජා කළ දේවානම් පියතිස්ස රජතුමා එහි ආරාම රැසක් ද ඉදිකිරීමට කටයුතු කළේ ය.

මහින්දාගමනයෙන් සත් වැනි දින දෙවන පෑතිස් රජු විසින් තමන් නමින් ම නන්දන වනයෙහි ‘තිස්සාරාමය’ නමින් ආරාමයක් ඉදිකොට පිදූ අතර, එහි මැටි පුළුස්සා කරන ලද මහා ප්‍රසාදයක් වූයෙන් එය කාලප්‍රසාද පිරිවෙන නම් විය. අනතුරුව මහාබෝධිඝරය, ලෝහප්‍රාසාදය, ලහබත්ගෙය, දානශාලා, පොකුණු, රාත්‍රී ස්ථාන, දිවාස්ථාන මෙන් ම උන්වහන්සේ පැන් පහසු වන තැන ඉදි කළ සුනහත පිරිවෙන, සක්මන් කළ තැන ඉදි කළ දීඝ චංකමන පිරිවෙන, සමවතට සමවැදුණු තැන ඉදි කළ ඵලග්ග පිරිවෙන, පිට ඇන්ද පිහිට කොට වැඩහුන් තැන ඉදිකළ ථේරපස්සය පිරිවෙන, රජුගේ දිඝසන්ද නම් සෙනවියා විසින් ඉදි කළ දීඝසන්ද සේනාපති පිරිවෙන යන භෞතික වස්තූන් මිහිඳු හිමියන්ගේ අනුශාසකත්වයෙන් රජතුමා විසින් ඉදි කරන ලදී.

අටසැට ලෙන් ඉදිවේ

මහමෙව්නා උයනේ වාසය කළ දින විසි හතට පසුව වස් කාලය එළඹි හෙයින් නැවතත් චේතිය ගිරිය (සෑගිරිය - මිහින්තලය) බලා මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත පිරිස වැඩම කළහ. ඒ බව නොදත් රජු උන්වහන්සේ නැවත චේතියගිරියට වැඩම වීමට හේතු විමසා සිටියේ ය. එහි දී මිහිඳු හිමියන් රජු ඇතුළු පිරිසට ‘වස්සුපනායකක්ඛන්ධකයෙන්’ ධර්ම දේශනා කළ අතර, එය ශ්‍රවණය කළ දෙටු කනිටු සොහොයුරන් පණස්පස් දෙනකු සමඟ රජු ඉදිරියෙහි වූ අරිට්ඨ මහ ඇමතිවරයා ද පැවිද්ද ලැබුයේ ය. මේ සියලු දෙනා වහන්සේට රජතුමා චේතියගිරියෙහි වස් වාසය සඳහා අටසැටලෙන් සකසා පූජා කළේ ය.

සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරති

මිහිඳු හිමියන්ගේ උපදෙසින් දඹදිවට වැඩම කළ සුමන සාමණේරයන් වහන්සේ ධර්මාශෝක අධිරාජයාගෙන් සර්වඥ ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහ. අශෝක අධිරාජයාගෙන් බුදුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රා ධාතුවට මුතු කැටවන් ධාතූන් වහන්සේ පුරවා ලබාගත් සුමන සාමණේරයන් වහන්සේ තවුතිසා භවනෙහි සිළුමිණි සෑයෙහි තැන්පත් ව තිබූ දකුණු අකු ධාතුන් වහන්සේ ද සක් දෙවිඳුගෙන් ඉල්ලාගෙන නැවතත් චේතිය ගිරියට වැඩම කළහ. චේතිය ගිරියෙහි තැන්පත් ව තිබූ සෙසු ධාතුන් වහන්සේ අතුරින් දකුණු අකුධාතුන් වහන්සේ මහත් හරසරින් ථූපාරාමය පිහිටි ස්ථානයට රජුගේ මඟුල් ඇතු මත තබා අලංකාර පෙරහරින් වැඩම කරවා, මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි දනක් පමණ උසැති ධාන්‍යාකාර ස්තූපයක් ඉදිකරවා, එහි තැන්පත් කොට, මහත් පූජා පැවැත් වූයේ ය. ථූපය පෙරටු කොට ඉදිකරන ලද ආරාමය ඇති බැවින් එය ථූපාරාමය නම් වූ බව මහාවංසයෙහි සඳහන් වේ. විශාල ප්‍රමාණයේ ගල්වලට වන්දනාමාන කළ මෙරට ඇතැම් ජනයා අර්ථාන්විත වන්දනයක් සඳහා යොමු කළ සුවිශේෂිත අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකි ය.

මෙම අවස්ථාව බුදුසසුනේ චිරස්ථිතියට හා ව්‍යාප්තියට කෙතරම් බලපෑවේ ද යන්න පැහැදිලි වනුයේ මේ නිර්මාණයත් සමඟ පැවිදි වූ පිරිස දෙස බැලීමෙනි. සසුනෙහි පැවැත්ම විනයධර, ධර්මධර භික්‍ෂූන්ගෙන් ම සිදුවන බැවින් එදින රජුගේ කනිටු සෙහොයුරු මත්තාභය කුමරු ඇතුළු දහසක් දෙනා ද චෙතාපි, දොරමඬලා, විහිරබීජ, ගල්ලකපීඨ, උපතිස්ස යන ගම්වලින් ද සතුටු වූ පන් පන්සිය ගම් දරුවෝ ද තථාගතයන් කෙරෙහි හටගත් ශ්‍රද්ධා අත්තෝ පැවිදි වූහ. මෙසේ පුරයෙන් බැහැර ද එකල බුදු සස්නෙහි පැවිදි වූ සියලු භික්‍ෂූහු තිස්දහසක් වූහ. මේ සියලු අවස්ථාවන් සංවිධානය වූයේ මිහිඳු හිමියන්ගේ අනුශාසනාව පරිදි දෙවන පෑ තිස් රජු අතිනි.

ශ්‍රී මහා බෝධි රෝපණය

බුදුන් වහන්සේ විසින් මතු ලක්දිව පිහිටුවා යනුවෙන් පරිනිර්වාණ මඤ්චකයෙහි සිට අධිෂ්ඨාන කරන ලද ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි මෙරටට වැඩමවා ගෙන ඒමට අවශ්‍ය කරන කටයුතු ද සම්පාදනය කරන ලද්දේ දේවානම් පියතිස්ස රජතුමා විසිනි. සංඝමිත්තා තෙරණිය ඇතුළු එම දූත පිරිස තාම්‍රලිප්ත වරායෙන් නැව් නැඟ මෙරට දඹකොළ පටුනට සම්ප්‍රාප්ත වූ කල්හි දෙවන පෑතිස් රජු මහත් හරසරින් කරන ලද සියලු පූජා සත්කාර ඇතුව බෝධිශාඛාව හා පිරිස පිළිගත්තේ ය. එම ස්ථානයෙහි සමුද්‍රශාලා නමින් ශාලාවක් ද ඉදි කළේ ය. දඹකොළ පටුනෙහි ඉදිකරන ලද සුවිශේෂි මන්දිරයේ ශ්‍රී මහාබෝධීන් වහන්සේ තබා උන්වහන්සේට ලංකා රාජ්‍යය පිදීය.

අනතුරුව මහපෙරහරින් බෝධිශාඛාව ගෙනවුත් අනුරාධපුරයෙහි මේඝවන උයනෙහි තැන්පත් කළේ ය.

භික්‍ෂුණී ශාසනය අරඹයි

ශ්‍රී මහ බෝධි රෝපණයෙන් අනතුරුව දසසිල් සමාදන් ව කහවත් හැඳ පෙර ව උපාසිකාරාමයේ වාසය කළ අනුලා දේවිය ඇතළු ස්ත්‍රීන් දහසක් දෙනා සඟමිත් තෙරණිය අතින් ප්‍රවෘජ්ජාව ලබා නොබෝ කලකින් අර්හත්වයට පත් වූහ. අරිට්ඨ ප්‍රමුඛ පන්සියයක් වූ ක්‍ෂත්‍රියයෝ එදින ම පැවිදි ව අර්හත්වයට පත්වූහ. මෙම සියලු කාර්යයන්ට අනුග්‍රහය දැක්වූ රජු මිහිඳු හිමියන්ගෙන් ලක්දිව සසුන පිහිටියේ දැයි විමසා සිටියේ ය. එවිට මිහිඳු හිමියෝ සසුන මුල් බැස නොගත් බවත්, මුල් බැස ගැනීමට නම් ලක්දිව පැවිදි වූ අයකු විසින් ම විනය සංගායනාවක් පැවැත්විය යුතු බවත් දන්වා සිටියහ. ඒ සඳහා කටයුතු පිළියෙල කළ දෙවන පෑතිස් රජු පළමු ධර්ම සංගායනාව සඳහා අජාසත් රජු විසින් සැකසූ වේභාරපර්වත ගුහාව මෙන් ථූපාරාම භූමියෙහි දැකුම්කළු මණ්ඩපයක් තනවා එම විනය සංගායනාව සිදුකිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දුන්නේ ය. අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් වූ රහතන් වහන්සේ තෙමසක් මුළුල්ලේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අධීක්‍ෂණය යටතේ විනය සංගායනාව සිදු කළහ. තෙමසක් මුළුල්ලේ පැවති එම විනය සංගායනාව දැක ගැනීමට හැට අට දහසක් භික්‍ෂූන් වහන්සේ මෙරට නන් දෙසින් පැමිණ දම්සභා මණ්ඩපය පිරිවරා වැඩ සිටිය බව මහාවංසයේ සඳහන් ව ඇත.

මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි සියලු කටයුතු සංවිධානය කළ දේවානම් පියතිස්ස රජතුමා සෑම කාර්යයකට ම රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කළේ ය. පළමු ව මහ වෙහෙර ද, දෙවැනි ව සෑ ගිරිය ද, තුන් වැනි ව ථූපය ද පෙරටු කොට ඇති යහපත් වූ ථූපාරාමය ද, සතර වැනි ව මහ බෝ පිහිටු වීම ද, පස් වැනි ව මහ සෑ තන්හි සෑ බිමට යහපත් ගල් ටැඹ පිහිටු වීම ද, බුදුහු ග්‍රීවා ධාතුව පිහිටු වීම ද, සවෙනිව ඉසුරුමුණි විහාරය පිහිටුවීම ද, සත්වැනි ව තිසා වැව ද, අට වැනි ව පළමු සෑය ද, නව වැනි ව වෙස්සගිරි විහාරය ද, උපාසිකාරාමය හා හත්ථාල්හක මෙහෙණවර ද, මහාපාලි බත්හල ද, නාග දිවයින දඹකොළ වෙහෙර ද, එම පටුනෙහි තිස්ස මහා විහාරය ද, පාචිනාරාමය ද යන ස්ථාන දේවානම් පියතිස්ස රජතුමා විසින් පළමු අවුරුද්දේ දී ම නිර්මාණය කිරීමට සිය නොමසුරු දායකත්වය සැපයූ බව මහාවංසයේ 20 වැනි පරිච්ඡේදයේ සඳහන් ව ඇත.

මීට අමතර ව දේවානම් පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන “යොජන ස්ථූප” ද ඉදිකරමින් මෙරට බුදුසසුනේ උන්නතිය සඳහා විශාල වැඩ කොටසක් සිදු කරන්නට යෙදුණි. ධර්ම දූතයකු ලෙස මහා මහින්ද හිමියන් කිසියම් සාර්ථකත්වයක් මෙරට තුළ අත්පත් කර ගත්තේ නම්, එම සාර්ථකත්වය දේවානම් පියතිස්ස රජතුමාගේ දායකත්වය මත රඳා පවතින බව ඉහත සඳහන් කළ කරුණුවලින් පැහැදිලි කරගත හැකි ය.