Print this Article


මිහිඳු සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරමු

මිහිඳු සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරමු

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකාගමනය ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරයි. මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකා භූමියට රැගෙන වැඩියේ ධර්මය පමණක් ම නොවේ. භාෂාව, කලාව, ශිෂ්ටාචාරය, ශිල්ප ශාස්ත්‍ර සියල්ලක් රටට දායාද කළේ මිහිඳු මාහිමි ආගමනයත් සමඟ ය.

පූජා චාරිත්‍ර, ආචාරවිධි ආදිය ද හැඩගැසෙමින් විධිමත් ආගමික ඉගැන්වීමක් රට තුළ ස්ථාපිත විය. සාමය, සමගිය, මනුෂ්‍යත්වය ආදි ගුණාංග ආගමික ඉගැන්වීම් සමඟ බලගැන්විණි. කරුණාව, දයාව, මෛත්‍රිය සමානාත්මතාව යන සියල්ලක් මිනිස් හදවත් තුළ ක්‍රියාත්මක විය. ඒ සඳහා හේතු වූයේ ධර්මයෙහි වූ ඉගැන්වීම් ය. හොඳ - නරක පුණ්‍ය - පාප සංකල්පයන්ට අර්ථ සැපයීම ධර්මානුකූල ව සිදු කරනු ලැබීය. පුද්ගලයකු උසස් හෝ පහත් හෝ වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව උගන්වනු ලැබීය.

බාල පණ්ඩිත සූත්‍රයෙන් පුද්ගල තත්ත්වයන් සමාජය තුළ ස්ථාපනය කෙරිණි. විමාන වත්ථු, පේතවත්ථු දේශනාවන්ගෙන් කුසලාකුසල විපාක ආදිනවයන් හෙළිදරව් කෙරිණි. මිහිඳු මාහිමියන් විසින් ක්‍රමානුකූල ව සමාජ ගත කරන ලද දේශනා තුළින් මිනිස් සංහතිය ධර්මානුගත විය. ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය ප්‍රාණය රට තුළ නිර්මාණය වූයේ මිහිඳු මාහිමියන් සැලසුම් සහගත ලෙස සිදුකළ ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මිහිඳු මාහිමියන් හා දේවානම් පියතිස්ස මහරජතුමන් අතර වූ මූලික සාකච්ඡාවේ දී ම සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලද බව පෙනේ. සමාජයේ අවම සදාචාරය ලෙස පංචසීලය සමාජගත වන්නේ ද එහි දී ය. ප්‍රාණඝාතය, හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුකීම, මත්ද්‍රව්‍ය භාවිතය සමාජ පදනම දෙදරා හැලෙන ව්‍යසනයන් බවත්, ඒවායින් ඉවත් වීමෙන් මානව ගරුත්වය , පවුලක සහජීවනය, ස්ථාවරත්වය ගොඩනැඟෙන බවත් බුදුදහමේ ඉගැන්වීම් විය. මිහිඳු මාහිමි දේශනා සියල්ල ලක්වැසියන්ගේ සිත්ගත් අතර ශීඝ්‍රයෙන් දහම රට තුළ ව්‍යාප්ත ව ගියේ ද එම ආකර්ෂණීය බව නිසා ම ය.

චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මඟින් මිහිඳු මාහිමියන් සිදු කළේ විචාරාත්මක ව, විමසීමෙන් යමක් කළ යුතු බවට ඇඟවීමකි. දුටු පමණින්, ඇසූ පමණින් යමක් පිළි නොගත යුතු බවත් විමසා බැලීමෙන් ම පරික්ෂාවෙන් ම යමක් තීරණය කළ යුතු බවත් එම ඉගැන්වීමයි.

බාල පණ්ඩිත සූත්‍රයෙහි බාල ලක්ෂණ හා පණ්ඩිත ලක්ෂණ ද දක්වා ඇත. බාලයා හානිකර පුද්ගලයකු වන්නේ ඔහු කරන කියන සිතන සියල්ලක් ඔහුගේ ද, සමාජයේ ද අයහපතට, පරිහානියට හේතු වන හෙයිනි. පණ්ඩිතයා, සිතන කරන, කියන සියල්ලක් තමන්ගේ ද, සමාජයේ ද යහපතට හේතු වේ. පුද්ගලයකු හැඩගැසිය යුතු වන්නේ, සකස්විය යුතු වන්නේ කෙසේ ද? යන්න එයින් විවරණය කොට ඇත.

විමාන වත්ථූ, පේත වත්ථු දේශනාවලින් කුසලාකුසල විපාක දක්වා පුද්ගලයා කුසලයට යහපතට යොමු කිරීමත්, අයහපතින් වැළැක්වීමත් සිදු කර ඇත. මෙසේ පිළිවෙලින් සදාචාරය සමාජය තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් මිහිඳු මාහිමියන් අනුගත පිළිවෙත පැහැදිලි වේ.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලවා ශ්‍රී මහාබෝධි ශාඛාව වැඩමවීමත්, ඒ හා සමඟ කුල 18ක ශිල්පීන් ගෙන්වීමත් පූජා චාරිත්‍ර විධී හා සංස්කෘතිකාංගයන් දායක කරවීමක් ලෙස සැලකිය හැකි ය. පෙරහර ආදි විවිධ සංස්කෘතිකාංගයන් හා ශිල්ප ශාස්ත්‍ර ව්‍යාප්ත ව ගියේ ද එම බෝධින් වහන්සේගේ ආගමනයත් සමඟ ය. අංග සම්පූර්ණ ශිෂ්ටාචාරයක් ඇති කිරීමේ ලා උපයුක්ත අංග රාශියක් රට තුළ ස්ථාපනය කිරීම ඒ හරහා සිදුවු බව ද මිහිඳු මාහිමියන්ගේ ව්‍යායාමය සාර්ථක වූ බව ද පෙනේ.

“මහරජ, ඔබ මේ රටෙහි තාවකාලික භාරකරුවා මිස අයිතිකරුවා නොවේ.”

යනුවෙන් දැක්වූ අදහස ද රාජ්‍ය තාන්ත්‍රික විශිෂ්ට ඉගැන්වීමක් විය. බුදු දහමින් පෝෂණය ලත් දේශපාලන ඉගැන්වීම් මනුෂ්‍ය වර්ගයාගේ යහපත් ම පදනම් වූ ඉගැන්වීම් බවත් ඒවා සර්වකාලීන වටිනාකමකින් යුක්ත බවත් රටේ පාලන තන්ත්‍රයේ ඉතිහාසය පිරික්සීමෙන් පෙනේ. ධර්මය හා ලෝක ස්වභාවය නොදත් බොහෝ පාලකයන් තමන්ගේ පාලනයට නතු වු රට පිළිබඳව කල්පනා කළේ එය තමන්ගේ පෞද්ගලික උරුමයක් ලෙස ය. ආත්මාර්ථය පදනම් කර ගත් පාලන තන්ත්‍රයන් ජන පීඩක පාලනයන් වූ අතර, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූයේ ද ඒ නිසා ම ය. මිහිඳු මාහිමි ඉගැන්වීම් ක්‍රමානුකූල ව යටපත් වීමත් සමඟ ඒ ආශ්වාදනීය සුන්දර ජීවන රටාවන් ද අභාවයට ගියේ ය. බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රජදරුවන්, පාලකයන්, රටවැසියන් සිය දරුවන් සේ සලකා කටයුතු කළ අයුරු ද ඉතිහාසයෙන් පෙනේ. ඒ තත්ත්වයන් යටපත් වූයේ අධාර්මික පාලනයත් සමඟ ය.

ශී‍්‍ර ලංකාව ධර්මද්වීපය යනුවෙන් ද පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් ද විරුදාවලී ලැබුයේ ආර්ථික හා සදාචාර යන දෙ අංශයෙන් ම පෝෂණය හා සංවර්ධනයත් සමඟ ය. එහෙත් එම තත්ත්වයන් ක්‍රමයෙන් පහව ගොස්, මිහිඳු මාහිමියන් ප්‍රතිෂ්ඨාපනය කළ උදාර සංස්කෘතිය වල්බිහි වී ගියේ අමනෝඥ පාලකයන්ගේ අදූරදර්ශී, ආත්මාර්ථකාමී පාලන රටාවන් නිසා ම ය. වර්තමානයෙහි අප විසින් ඒ සුන්දර වූ සංස්කෘතිය යළි ප්‍රතිනිර්මාණය කළ යුතු ව ඇත. රටක් සංවර්ධනය කළ හැක්කේ සදාචාරය රට තුළ ස්ථාපිත කිරීමෙන් පමණි.

දුරාචාරය ඉහවහා ගිය කල රටකට පැවැත්මක් නැත. මනුෂ්‍ය ජීවිතයේ පැවැත්මට, ආරක්ෂාවට තර්ජනයක් ලෙසින් රට තුළ ව්‍යාප්තව ඇති දුරාචාරයන් අත්හිටුවීමෙන් ම රටක් ස්ථාවර කළ හැකි ය. ඒ සඳහා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම ද දුරාචාරය පිටුදැකීම ද රටේ පාලනාධිකාරය විසින් කළ යුතු වන්නේ ය.

මිහිඳු මාහිමියන් විසින් දෙවනපෑතිස් මහ රජතුමන් අතින් ඤාති ප්‍රශ්නය සහ අඹ ප්‍රශ්නය විමසීමෙන් පැහැදිලි වන්නේ රටක පාලකයා බුද්ධිමතකු විය යුතු බවයි. රජතුමා රටක් පාලනය කිරීමට සුදුසුකම් ඇති අයකු බව වටහාගත් මිහිඳු මාහිමියන් රට සශ්‍රීක කරවීමට අදාළ උපදෙස් ද සමාජය සදාචාර සම්පන්න කිරීමට අදාළ උපදෙස් ද, රජුට ලබා දුන් බව පෙනේ.

ඒ අනුව ක්‍රියාකරමින් රට ධර්ම ද්වීපයක් බවට පත්කිරීමට ද පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කිරීමට ද රජුට හැකි වූ බව ඉතිහාසයෙන් පෙනේ. මිහිඳු මාහිමියන් විසින් බුද්ධිමත් රාජ්‍ය පාලකයකු මඟින් රට ගොඩනැඟූ අයුරුත්, ධර්මය මඟින් යහපත් ධාර්මික සදාචාර සම්පන්න, සමාජයක් ගොඩනැඟූ අයුරුත් පැහැදිලි ය.

එබඳු සදාචාරවත් රාජ්‍යයක ස්වරූපය ඉතිහාසයේ දැක්වෙන්නේ දහසින් බැඳි පියල්ලක් අතින් ගෙන තරුණ කාන්තාවකට තනි පංගලමේ රටේ එක් කොණක සිට අනෙක් කොණට යා හැකි සමාජ පරිසරයක් ගොඩනැඟී තිබූ බව ය. රටේ වර්තමාන ස්වරූපය හා සසඳන විට වර්තමානයෙහි රට පත්වී ඇති තත්ත්වය වටහා ගත හැකි ය. එනිසාම මිහිඳු සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යභාරය වර්තමාන සමාජ වගකීමක් ඇති සියල්ලන්ගේ ම යුතුකම වන්නේ ය.