Print this Article


ලාංකේය බුද්ධි ප්‍රබෝධයේ නියමුවාණෝ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ

ලාංකේය බුද්ධි ප්‍රබෝධයේ නියමුවාණෝ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ

සිරි ලක්වැසියන් තුළ කිසිදිනෙක අලුත් කළ යුතු නැති බුහුමන් පෙරදැරි ආදරයක් හා භක්තියක් හිමි පුරුෂෝත්තමයකු වේ නම්, ඒ මිහිඳු මහරහතන් වහන්සේ ය. මෙරට වැසියන්ට උන්වහන්සේ දෙවැනි වන්නේ ලොව්තුරා බුදුරදුන්ට පමණි.

වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් තිස්සේ ලක්වැසියෝ මිහිඳු මාහිමියන් පරම්පරාවෙන් පරම්පරාවට අසීමිත සැදැහැයෙන් සිහිපත් කළහ. එපමණක් නොව උන්වහන්සේ ගැන තැන තැන තෙපලූහ. ලිපි ලියූහ. ගී ගැයූහ. තොරණ, දන්සල්, සැණකෙළි පවත්වා සැමරූහ. පිළිරූ සැදූහ. උන්වහන්සේ ලබා දුන් දහම සුරැකූහ. කියා දුන් දහම දෙසා, අසා, පිළිපැද පිළිවෙතින් පිදූහ. උන්වහන්සේගේ උපදෙසින් අනුරපුරයෙහි ගොඩනැඟුණු සුවිසල් මහමැදුරු, දාගැබ්, වැව්, පොකුණු, උයන් හා වනපෙත් ආදිය සොම්නසින් නැරඹූහ. සුරැකි ව ඇති නටබුන් හෝ බලා අපේ උරුමය ගැන උදම් ඇනූහ. මිහිඳු මාහිමියන් අපට ලබා දුන් අභිමානය නිසා අදත් පිරිසුදු සිංහල ජනයා වෙනත් ජාතීන්ට නොමැති අයුරක ආත්ම විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙති. නොපසුබස්නා වීර්යයෙන් අභියෝග පරදවති.

ශ්‍රී ලාංකික ජනයාට බුදුදහම උරුම කර දුන් ආගමික පීතෘවරයාණන් වන මිහිඳු මහරහතන් වහන්සේ නිසාවෙන් යක්ෂ, භූත, ප්‍රේතයන් සොයාගිය සමාජය සන්සුන් නිවනට පැමිණිය හැකි විනයමය සමාජයක් කිරීමට හැකි විය. ප්‍රඥාවේ හා සාධාරණත්වයේ භූමියක් ලෙස ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය උපදෙස් දෙවනපෑතිස් නරනිඳුන්ට උන්වහන්සේ ලබා දුන්හ. දුටුගැමුණු, පරාක්‍රමබාහු ආදී පසුකාලීන රජවරුන් සුරක්ෂිත කළේ එකී භූමිකාව ය. එබැවින් ශ්‍රී ලංකාව තුළ පවතින සංහිඳීයාවේ මූලාරම්භය මිහිඳු මහරහතන් වහන්සේ බව අමතක නො කළ යුත්තකි.

මිහිඳු මාහිමියන් රැගෙන ආවේ සත්‍යය පමණකි. මෙරටට ජාත්‍යන්තරය තුළ මානුෂීය ආරක්ෂාවක් සහ පූජනීයත්වයක් අදටත් හිමිවන්නේ එම සත්‍යයේ අරුත්බර කතාව සුරක්ෂිත කළ බැවිනි. දළදා මැදුර, අටමස්ථානය වැනි තැන් නැරඹීමට විදේශීය බෞද්ධයන් අදටත් පැමිණෙන්නේ සත්‍යය, විශ්වීය ශක්තිය හා සොබාදහමෙන් සුරම්‍ය වූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත වූ නිසාවෙනි. ඒවායෙහි මූලාරම්භය මිහිඳු මහ රහතන් වහන්සේ ම ය.

පොසොන් පොහෝ දින සිරි ලක්වැසියන් මිහිඳු මාහිමියන් පිළිබඳ තම සැදැහැ තෙද ගැන්විය යුතු වන්නේ එ නිසාවෙනි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අපට ආගමක් හෝ දහමක් හෝ හඳුන්වා දීම පමණක් සිදු කළ බව කිසිසේත් නො සිතිය යුතු ය. කෙටියෙන් ම කිවහොත් මෙරට නූතන මිනිස්කමේ පදනම උන්වහන්සේ ය. ධාර්මික උරුමය ලැබුණේ උන්වහන්සේගෙන් ය. සංයමයෙන් යුතු ජාතිකාභිමානයේ සහ බුද්ධි ප්‍රබෝධයේ නියමුවාණෝ උන්වහන්සේ ය. සන්සුන් මුනිවත, ප්‍රඥාසම්පන්න විවෘත මනස, නිරන්තරයෙන් ම සත්‍යය විනිවිද දැකීමේ කුතුහලය හා ආශාව වැනි උත්තුංග ගුණාංග අදටත් මෙරට වැසියන් තුළ සක්‍රීය ව පවතින්නේ උන්වහන්සේ ලබා දුන් සවිමත් පන්නරය නිසා ය.

එදා මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍රය, දේවදූත සූත්‍රය හා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය වැනි දේශනා මඟින් මෙරට රාජ්‍ය තන්ත්‍රයට අර්ථාන්විත නව මුහුණුවරක් හඳුන්වා දුන්හ. අධ්‍යාපනයෙන් ලද ශිල්පීය ඥානය දේශයේ උන්නතියට යොදා ගන්නා ආකාරය හුරුපුරුදු කළහ. පාපීතර ඉපැයුම් හා පොහොසත්කම් ගිනිගත් යගුලි මෙන් තමා වනසන බව දක්වමින් දැහැමි ජීවනෝපායකට යොමු කළහ. ජීවිතය ජීවත් කරවීමටත්, හරධර්ම සුරැකීමටත් ඉගැන්වූහ. එනිසා ම උන්වහන්සේ අද සිටියා නම්, යැයි ඔබට සිතෙනු ඇත. එසේ සිටියා නම්, එය නව යුගයක ඇරඹුමක් වනු නො අනුමාන ය. එසේනම්, ජාතිය, වර්ණය, ආගම, භාෂාව යනාදිය මානව ධර්මතාවලට වඩා උසස් නො වන බව උන්වහන්සේ අවධාරණය කරනු නො අනුමාන ය. අධ්‍යාපනයේ තිමිරපටල ඉරා ආරක්ෂාවක් නොමැති දැනුම හා නුවණ භයානක බව කියා දෙනු ඇත. දැහැමි බව, විවෘත මනස හා ශික්ෂණය තුළින් තාක්ෂණික මෙවලම් භාවිතයේ වැදගත්කම කියා දෙනු ඇත.

එ දවස අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන්ට අනමතග්ග සූත්‍රය දේශනා කරමින් සිවුසස් දහම අවබෝධ කර ගැනීමේ වැදගත්කම පමණක් නොව කර්මයත්, ඊට අනුරූප පුනර්භවයකුත් ඇති බව පහදා දුන්හ. ගිහි ජීවිතයක් ගත කිරීමේ දී කාන්තාවක වශයෙන් සීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමේත්, සංවරකම, නිහතමානීකම මෙන් ම ගිහි ජීවිතයෙහි නිවැරැදි අභිප්‍රායනුත් කවරේ දැයි පෙන්වා දුන්හ. පුරුෂාධිපත්‍යයට එරෙහි ව හඬ නඟන කාන්තාවන්ගේ ආන්දෝලනාත්මක විලාපයට වඩා එය අර්ථාන්විත පාඩමක් වනු ඇත. එම දේශනාවන් භික්ෂුණී ශාසනයක් මෙරට ඇතිවීමට තරම් ප්‍රබල වූ අතර, එය ඔවුන් නිවන් මඟෙහි පළමු පියවරෙහි පිහිටුවන්නට තරම් ප්‍රබල විය.

එනිසා ම මිහිදු මහරහතන් වහන්සේ යනු මෙරට ස්ත්‍රී ජනයාගේ මනස සැනසූ සහ විපත මඟහැර සැනසුම සෙවීමට මඟ පෙන්වා දුන් උතුමාණෝ වෙති.

බැමිණිතියාසාය වැනි නියං සමයන් මෙන් ම දරුණු දුර්භික්ෂයන්ට මුහුණදුන් සමයන් පසු කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඉඩෝරයකට පවා ජලය සිඳී යන කුඩා ප්‍රමාණයේ වැව් තිබිණි. මිහිදු මාහිමියන්ගේ සම්ප්‍රාප්තියත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලනික උත්තේජනයක් ඇති වූ බව අපි දනිමු. උන්වහන්සේගේ උපදෙස් අනුව මුළු සිරිලක එකම වැඩබිමක් බවට පත් වූ සෙයක් පෙනේ. ගල්වඩුවන්, ලීවඩුවන්, ලෝකුරුවන්, සිතුවම්කරුවන්, රෙදිපිළි සහ ඇඳුම් නිර්මාණකරුවන්, වැව්-ඇළ-දොළ සාදන්නන් ආදී විවිධ වෘත්තිකයෝ මෙරට වැසියන් සමඟ වැඩබිමට එළඹ විවිධ නිපැයුම් හා නිමැවුම් සිදුකළහ. සුවිසල් වාරිකර්මාන්ත හේතුවෙන් කෘෂිකාර්මික ව්‍යාපෘති ඇරඹිණි. ජලාශ හා ජලාපවාහන නිසා වගාබිම් වැඩිවීම, ආහාර හා ආර්ථික සුරක්ෂිතතාවත්, ජනගහන වර්ධනයත් සිදු විය. අනුරාධපුරයේ සුවිසල් ගොඩනැඟිලි, විහාර ආරාම හා විවේක නිකේතන, අධ්‍යාපන මධ්‍යස්ථාන, ව්‍යාපාරික ස්ථාන හා ප්‍රවාහන සේවාවන් ද දියුණු විය. ශ්‍රී ලංකාවේ නාගරීකරණය අනුරාධපුරයෙන් ආරම්භ වී පොළොන්නරු, දඹදෙණි ආදී පළාත් කරා ව්‍යාප්තවීම ආරම්භ වූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා ම ය.