Print this Article


ප්‍රඥාවට ගෝචර වූ සදාතනික

ප්‍රඥාවට ගෝචර වූ සදාතනික සැපය

බුදු දහමේ ඉගැන්වෙන නිර්වාණය පරම සත්‍යයකි. නිවනෙහි ස්වභාවය භාෂාවක වචනවලින් විස්තර කිරීම දුෂ්කර ය.

භාෂාව සැකසී ඇත්තේ ඇස්, කන් ආදී ඉඳුරන් මඟින් අත්දකින දේ මෙන්ම සිතෙහි පහළවන නොයෙකුත් සංකල්පනාවන් ප්‍රකාශ කිරීම සඳහා ය.

එවැනි ලෞකික වුවමනාවන් සඳහා සකස් කොට තිබෙන භාෂාවකින් පරම සත්‍යය, අවබෝධය වැනි අත්දැකීමක් විස්තර කිරීම දුෂ්කර ය.

අප නිවන ගැන කරන විවරණ සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම් නොව නිර්වාණය සාක්ෂාත් කළ උතුමන් විසින් කරනු ලබන විග්‍රහයන් ය. නිවන හැඳින්වීම සඳහා බෞද්ධ සාහිත්‍යය බොහෝ පර්යාය පද භාවිත කොට තිබේ. නිර්වාණය අර්ථවත් කිරීම සඳහා යොදන ලද පද තිස්තුනක් සංයුක්ත නිකායේ අසංඛත සංයුක්තයේ සඳහන් වේ. එවැනි පද කිහිපයක් පහත පරිදි වේ. අසංඛතය, පාරං, නිප්පඤ්ච, අමත, සිව, ඛෙම, තණ්හක්ඛය, මුත්ති, අනාලය මෙසේ කුමන නාමයෙන් හැඳින්වුවත් ජනපි‍්‍රය වචනය ‘නිබ්බාන’ යන්න යි. නිබ්බාන යන්නෙහි සිංහල වචනය නිවන යන්න යි. නිවන කුමක් ද යන්න බෞද්ධ සාහිත්‍යයේ විවිධ අයුරින් දේශනා කර ඇත. එයට උදාහරණ කිහිපයක් විමසා බලමු.

වරක් ඡන්න නම් පිරිවැජියා සැරියුත් තෙරුන් වෙත පැමිණ "ඇවැත්නී සාරිපුත්‍රයෙනි, කුමක් නම් නිවන වේදැ"යි ඇසීය. ඒ අවස්ථාවේ දී සැරියුත් මහ රහතන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ක්ෂය කිරීම නිවන යනුවෙන් පිළිතුරු දුන්හ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර රම්මක බමුණාගේ අසපුවේ දී භික්ෂූන් අමතා අරියපරියේෂණ සූත්‍රය දේශනා කරමින් උන්වහන්සේ අවබෝධ කර ගන්නා ලද්දේ ඉපදීමෙන්, වයසට යෑමෙන්, ලෙඩවීමෙන්, මරණයෙන් මෙන් ම ශෝකාදියෙන් තොර වූ, නිරුත්තර වූ, යෝගාක්ෂම වූ නිර්වාණය බව වදාළ සේක.

ථෙර ගාථා පාලියෙහි නිවන යන්න මෙසේ අර්ථ ගන්වා ඇත. නිවන් සුවයට වඩා සුවයක් නොමැත.

අග්ගික වජ්ජගොත්ත පිරිවැජියාට බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳ ව දේශනා කළේ මෙසේ ය. නිවනෙහි පෘථිවි ධාතුව නැත්තේ ය. ආපෝ ධාතුව නැත, තේජෝ ධාතුව නැත, වායෝ ධාතුව නැත. ආකාසානඤ්ඤායතනය, විඤ්ඤාණඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසංඥා නාසඤ්ඤායතනය, විඤ්ඤාණඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසංඥා නාසඤ්ඤායතනය නැත්තේ ය. මෙලොව, පරලොව නැත්තේ ය. සඳ, හිරු නැත, මහණෙනි, ඒ නිවනට පැමිණීමක් ද නැත, යාමක් ද නැත, පැවැත්මක් ද, චුතියක් ද නැත්තේ ය. උපතක් ද නැත්තේ ය. නිවන නො පවත්නේ ය. අරමුණු රහිත ය. නිවන සියලු දුක්ඛයන්ගේ නිමාවයි.

අංගුත්තර නිකායේ අග්ගප්පසාද සූත්‍රයේ නිවන පිළිබඳ මෙසේ සඳහන් ව ඇත.

ආලය හා තෘෂ්ණාව නසන, නිරන්තරයෙන් පැමිණෙන දුක් සංසිඳුවන, රාගය නැති තැන නිවන යි.

තවදුරටත් නිවන යනු පංච උපාදානස්ඛන්ධයෙන් නිදහස්වීම නම් වූ, ප්‍රඥාවට පමණක් ගෝචරවන්නා වූ සදාතනික ව නූපන්නා වූ, ප්‍රත්‍යයෙන් හට නො ගන්නා වූ, ශෝක නැතත්තා වූ, සියලු දුක්ඛ ධර්මයන්ගෙන් සදාතනික සංසිඳීම නිවන් සැපය යි.

මේ අයුරින් නිවන පිළිබඳ මූලාශ්‍රවල සඳහන් ව ඇති ආකාරය පෙන්වා දිය හැකි ය.