පුණ්‍යානුභාවය සමඟ මුසු වූ
මහා වීරත්වයේ අසිරිය
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
අසංඛ්‍යෙය කල්ප විස්සකට පෙර මහසයුර මැද මුහුදුබත් වූ නෞකාවකින් සයුරු දියට වට මවු
කර තබා ගෙන - පරක්තෙරක් නොපෙනෙන සයුරේ රළපෙළ හා පොර බදමින් මවගේ දිවි රකින්නට
පිහිනා ගිය ඒ තරුණ පුතුගේ වීරත්වය, නොපසුබස්නා බව, ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙනා
උත්සාහවන්ත බව එක් අයෙක් දුටුවා.
බුද්ධත්වයෙහි ඇති අතිශය දුර්ලභ බව එවෙලෙහි සිතමින් සිටි ඔහු අනාගාමී
බ්‍රහ්මරාජයෙක්. මේ සා පරාක්‍රමයෙන් යුතු උතුම් මිනිසා ලෝ සත දුක්ඛිත සසර සයුරින්
එතෙරට පමුණුවන සම්මා සම්බුද්ධත්වය පිණිස අත්‍යන්තයෙන් ම සුදුසු බව බ්‍රහ්මරාජයා දැන
ගත්තා. දියෙහි ගිලෙමින් සිටි ඒ පුතු ‘මා කෙසේ හෝ මවු රැකගෙන ගොඩබිමට යා යුත්තේ ම ය’
යි දැඩි වීර්යයෙන් දිය බිඳගෙන උඩට මතු වූ මොහොතේ දීමයි ඒ අනාගාමී බ්‍රහ්මරාජයා
‘මම සම්බුදු බව ලබා සසර සයුරෙන් එතෙරට පිහිනා අන් අය ද එතෙර කරවමි.’
යන ශ්‍රේෂ්ඨ අදහස තරුණ පුතුගේ සිතෙහි ඉපැදවූයේ.
සත් දිනක් මවු කර තබා පිහිනූ ඒ පුතු මවත් සමඟ ම ගොඩබිමට පැමිණුනා.
“අදරැති පුත, මා බේරා ගත් සෙයින් තෙපි අන් ලෝසත ද මේ සසර දුකින් මුදවාලවයි“ කියා
මවට ද කියවුණා. ඒ තමයි බුද්ධාංකුරයන් වහන්සේගේ පහළ වීම.
මෙයින් සාරසංඛ්‍යෙය කල්පයකුත් ලක්ෂයකට පෙර දීපංකර සම්මා සම්බුදු රජුන්ගේ සිරිපා කමල
අබියස දී මතු “ගෞතම” නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයෙහි අභිෂේක ලබන්නට නියත විවරණ
ලැබීමෙන් පසුවයි ඒ බෝසතාණන් වහන්සේ බුද්ධකාරක ධර්මයන් පූරණය කරන්නට වූයේ, අහසේ තරු
පරයා ඇස් දන් දුන්, සයුරු දිය පරයා ලේ දන් දුන්, රට රාජ්‍යයන් එමතුදු නොව අඹු
දරුවන් පවා දන් දුන්, දන් දීමට අන් යමක් නැත්තේ නම්, දානය පිණිස තම මාංශය ඉල්ලන්නේ
නම්, සම්මා සම්බුද්ධත්වය පළමුකොට දිවි දෙවැනි කොට ඒ උදාර අදිටන වෙනුවෙන් හිස්, මස්,
ලේ දන් දුන්, ඒ බෝසතාණන් වහන්සේ ගුණයෙන්, නුවණින් වැඩෙමින් පිනෙන් මෝරා යමින්
දුක්ඛිත සසරේ සැරිසරා ආ අයුරු ජාතක පාලිය තුළ අපට යම් තරමකින් හෝ ස්පර්ශ වෙනවා.
එකම එක බණ පදයක් අසනු රිසියෙන් බිහිසුණුූ යකකුගේ කටට පැන, මියයන්නට වුව ද නොපැකිළුණ
ඒ බෝසතාණන් වහන්සේ ධර්ම රාජ්‍යය බිහි කරලන පුණ්‍යානුභාවයෙන් යුතු ව අවසන් සිරුර දරා
ගනිමින් මවුකුස පිළිසිඳ ගත්තේත්, දෙවියන්ගේ ඇරයුමෙන්, බෝසත් මාතාවක වන්නට පුරන ලද
පින් තිබූ පින්වත් මහාමායා දේවියගේ කුස ඔත් ඒ බෝසතාණන් වහන්සේගේ රැකවලට සිටියේ
දෙව්බඹුන් ය. ලොවට සියලු අර්ථය උපදවන හෙයින් ‘සිද්ධාර්ථ’ නම් ලද ඒ බෝසත් කුමරු
වෙසක් පුන්පොහෝ දිනයක දී මෙලොව උපන්නා. දිව්‍ය බ්‍රහ්මතලයන්හි පවා මහා පී‍්‍රති
සැණකෙළිවලට නිමිති වූ ඒ බෝසත් උපත සිදුවූ ලුම්බිණි සල්වනයේ උත්තම ජාතචේතියට අපගේ
නමස්කාරය වේවා!
මංගල සම්මත උතුරු දෙසට සත් පියවරක් තබා, සුරත ඔසවා බෝසත් කුමරුන් සිංහනාද කරනු
ලැබුවේ ‘මේ වනාහි අවසන් උපතයි’ යනුවෙන්. පුරන ලද පින්වල මහිමයෙන් දෙතිසක් වූ මහා
පුරිස් ලකුණින් ශෝභිත, හිරු සඳු පවා පරදවනා රූ සිරියෙන් යුතු වූ ඒ බෝසත් කුමරුන්
නිසි කල දී සම්බුදුවරයකුගේ පහළවීමට උපකාරක වෙමින් බෝසත් පතිව්‍රතාව වගට පත් වූ
යශෝධරා කුමරිය හා සරණ බන්ධනයට පැමිණුණා. ඔවුනගේ සහ ලේ පුත්‍ර වූ රාහුල කුමරුන් උපන්
ඇසළ පුන් පොහෝ දිනයේ දීමයි අප මහ බෝසතාණන් වහන්සේ අභිනික්මන් කළේ.
ජාති, ජරා, මරණ ඉක්මවාලන විමුක්තිය සොයා යමින් ශ්‍රමණ වෙස්ගෙන එසේ අභිනික්මන් කළ දා
පටන් ආලාරකාලාම, උද්දකරාමපුත්ත යන ගුරුවරුන් සමීපයේ ගෙවූ කෙටි කාලය තුළ ම බෝසතාණන්
වහන්සේ ලෞකික සමාධීන්ගේ පරතෙරට පැමිණියා. එය පවා ජාති, ජරා, මරණයෙන් නිදහස් නොවූ බව
නුවණින් විමසා, සිරුරට දුක් දීම විමුක්තියේ මාවත ලෙස ගෙන සය වසරකට ආසන්න කාලයක්
පුරා උන්වහන්සේ පධන් වෙර වැඩූ අයුරු මහා පධාන සූත්‍රයේ දැක්වෙනවා. ලෝ සත සසර කතරින්
එතෙර කරන්නට සිතින්, සිතා ගන්නටවත් නොහැකි තරමේ කටුක දුක් වැළඳූ ඒ මහා වීරයාණන්
වහන්සේ එය ද අවබෝධය නූපදවන වග දැන වදාළා.
ආහාරපානාදියෙන් කය පිරියම් කරවා උන්වහන්සේ මැදුම් පිළිවෙතට එළඹෙද්දී ඒ තාක් උපකාරයට
හුන් පස්වග ශ්‍රමණයන් ද උන්වහන්සේගෙන් බැහැර වුණේ විමුක්තියේ මාවත උන්වහන්සේට වැසී
ගියා යැයි සිතමින්.
එහෙත්, උදා වූ වෙසක් පුන් පොහෝ දිනයක සවස් කාලයේ සියලු බුදුවරුන්ගේ අවිජහිත
බෝධිචේතිය වූ ගයාවේ ගං තෙර සුපිහිටි වජිරාසනය මත පෙරදිගට මුහුණලා බෝසතාණන් වහන්සේ
අසුන් ගත්තේ ‘ මේ කයෙහි ලේ, මස් වියළී යන්නෛ් නම්, එසේ වේවා! සම්, නහර, ඇට ඉතිරි
වන්නේ නම්, එසේ වේවා! පුරුෂ පරාක්‍රමයෙන්, පුරුෂ වීර්යයෙන් ලැබිය යුතු යම්
සත්‍යාවබෝධයක් වේ ද එය නොලබා මම මේ පළඟින් නොනැඟිටිමි.’ යන වජ්‍රමය අදිටන හදමඬලෙහි
දරාගෙනයි.
දෙවියන් මරුන්, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ කිසිවකුට ඒ අදිටන
බිඳලන්නට බැහැ. අනන්ත සසරේ පිරූ පාරමී බෙලෙන් නිපන් බෝසතාණන් වහන්සේගේ සිත එතරම්
බලවත්.
ලෝකපාලක පාපී බලවේගය දස බිම්බරක් සේනා සහිත ව එතැනට පැමිණියා. ධර්මයේ අභිෂේකයට
එරෙහි ව ස්වකීය බලපරාක්‍රමය පතුරවමින් ඔහු සේනා සහිත ව සටනට වූවා. ලෝ සත සසර දුකින්
නිදහස් කරවන සම්මා සම්බුද්ධත්වය ලබනු පිණිස මවුකුස පිළිසිඳ ගන්න යැයි බෝසත්
දෙව්පුතුට ඇරයුම් කළ දෙවියන්, බඹුන්වත් බෝසතාණන් වහන්සේගේ උපකාරයට, තනියට එහි
රැඳුණේ නැහැ. සමතිස්පාරමී ධර්මයන් මනා කොට පූරණය කිරීමෙන් රැස් කරන ලද
පුණ්‍යානුභාවයයි උන්වහන්සේ පසුපස නොසැළී සිටිමින් උපකාරක වූයේ.
පිනෙහි අසිරිය බලන්න. ලෝකපාලක බලවේගයටවත් ඒ පුණ්‍යානුභාවය ඉක්මවාලිය හැකි වූයේ
නැහැ. අවිදු අඳුර බිඳහැර අප මහ බෝසතාණන් වහන්සේ ඒ උතුම් වෙසක් පුන්සඳ පහන යට සම්මා
සම්බුද්ධ වගට පැමිණ වදාළා. මේ මහා භද්‍රකල්පයේ සිවුවැනි වරටත් සම්මා සම්බුදු රජාණන්
වහන්සේ නමකගේ ආනුභාවයෙන් සියලු ලෝකධාතුන් ආලෝකවත් වූවා. ගෞතම සම්බුදුරජුන් ලොව පහළ
වී වදහළ ඒ උත්තම බෝධිචේතියට අපගේ නමස්කාරය වේවා!
ඉනික්බිති ව එළඹි ඇසළ පුන් පොහෝ දිනයේ බරණැස ඉසිපතන නම් වූ මිගදායේ දී ලෝසත අමා
නිවනට පමුණුවන උත්තම සදහම් සන්දේශය දෙව් මිනිස් ලෝකයට අසන්නට ලැබුණා. දසබලයාණන්
වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව සිහනද පතුරුවමින් විහිද පැතිර යද්දී ලෝසතගේ සසර
දුක් කඳුළැලි වියළී ගියා. සතළිස් පස් වසරක් පුරා සම්බුදු රජාණන් වහන්සේත්, බුදු
සසුනේ පිළිවෙත් පුරන මඟට පිළිපන් ගිහි පැවිදි ශ්‍රාවක පිරිසත්, බුද්ධ රාජ්‍යයේ
ඔදතෙද පතුරුවාලූවා.
සිවුවනක් පිරිස ධර්මයේ විශාරදත්වයට එළඹෙමින්, ධර්මය තුළින් අධර්මය බිඳලන ගුණ
ශෝභාවෙන් පිරිපුන් වගට පැමිණීම නම් වූ බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කළ ඒ බුද්ධ වීරයාණන්
වහන්සේ වෙසක් සඳ පහන යට දී ම කුසිනාරා නුවර උපවත්තන නම් වූ සාල වනෝද්‍යානයේ යමක
සල්රුක් අතර පැනවුණූු පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින්, අප්‍රමාදය පිණිසම අවවාද
අනුශාසනා කොට පිරිනිවන් වැඩියා.
දැනුදු දෙව් මිනිස් ලෝකයා සසර දුකින් නිදහස් වන්නට වෙරවීරිය වඩන්නේ ඒ සම්බුදුරදුන්
වදහළ, උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු ශාස්තෘත්වයෙහි තබා පිහිටුවන ලද උතුම් ශ්‍රී
සද්ධර්මයේ පිළිසරණ ලැබීමෙන් පමණ ම යි. බෝසතාණන් වහන්සේගේ අවසන් උපත, සම්මා සම්බුදු
රජාණන් වහන්සේගේ පහළ වීම සහ පිරිනිවීම සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය පිළිවෙතින් ඒ
මහා මුනිරඳුන්ව පුද දෙන්නට සාකල්‍යයෙන් ම සුදුසු යි.
සියලු දුක් අවබෝධ කොට ගෙන දුකෙහි සියලු හේතු නැසූ අප මුනිරඳුන් නිදුකින්, සුව සේ
ලෝකයේ වැඩවෙසෙමින් සියලු ලොවට, සියලු යහපත සලසා පිරිනිවන්පෑවා. ඒ නිදුකාණන් වහන්සේ
විසින් පසසනා ගුණ දරාගෙන පිනෙන්, නුවණින් වැඩී යමින් සුගතිය ද, නිවන ද දිනන්නට අපට
ද සම්මා සම්බුදු පිහිට ලැබේවා! |