Print this Article


මෙලොව දී ම දකින දේවදූතයෝ

මෙලොව දී ම දකින දේවදූතයෝ

අප කුඩා අවදියේ සුරඟනන්, දෙවිවරු ගැන කතාන්දර වශයෙන් අසා තිබෙනවා. වැඩිහිටියන් වන විට බොහෝ අයට ඒ වචන ඇසෙද්දී මතකයට එන්නේ කුඩා අවදියේ ඇසූ, කතාන්දර පොත්වල දුටු ඇසූ දෙවි දේවතාවත් පිළිබඳව යි.

අපගේ ශාස්තෘන් වහන්සේ මිනිස් ඇසට නො පෙනෙන දිව්‍ය ලෝක ගැන අපට දේශනා කොට වදාළා. ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ බඹුන් ගැනත්, නිරයේ සිටින නිරි සතුන් ගැනත් උන්වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර අපට කියා දුන්නා.

අදටත් දෙව්ලොව වැඩසිටින දෙවිවරු අප සමඟ ගනුදෙනු කරනුයේ ගුණධර්ම සමඟ පමණ යි. එහෙත් මෙලොව දී ම දැකිය හැකි අප අතර ම සිටින දේව දූතයන් පස්දෙනෙක් පිළිබඳව. දේවදූත සූත්‍රයේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ හෙළිදරව් කොට වදාළා.

මෙලොව දී ලැබූ මිනිස් ජීවිතය නිසි ප්‍රයෝජනය ලබා නො ගෙන අකුසල් පමණක් කර ගෙන මරණින් පසු නිරයේ උපන් නිරි සත්වයා යමපල්ලන් විසින් යම රජු වෙත ඉදිරිපත් කරනවා. එහිදී යමරජු විසින් නිරයේ උපන් පුද්ගලයාට දේව දූතයන් පස් දෙනෙක් පිළිබඳ සිහිපත් කරවනවා. යමරජු විසින් සිහිපත් කරනතුරු නො සිට මිනිස් ලෝකයේ දී ප්‍රමාද නොවී දේවදූතයන් කලින් ම හඳුනා ගන්නට දක්ෂ වූවා නම් ඔවුන්ට පසුතැවීම ඉතිරි වන්නේ නැහැ. දේවදූතයන් පස්දෙනා මේ ආකාරයටයි දේශනාවේ සඳහන් වන්නේ.

ළදරුවාගේ පණිවිඩය

අප දැක තිබෙනවා අලුත උපන් කිසිවක් කරකියා ගන්නට නොහැකි තමාගේ ම මළමුත්‍රා ගොඩේ ම වැටී කෑ ගසමින් අඬන ළදරුවන්. මේ ළදරුවා නළවන්නට අප උත්සාහ කරනවා. ළදරුවාට කිරි පොවනවා. නැළවිලි ගී කියනවා. මේ ආකාරයේ ළදරුවන් දුටු විට ප්‍රඥාවන්තයා කල්පනා කළයුත්තේ “අනේ මමත් ඉපදුණේ මේ ආකාරයට නේද? ආයේ ආයේත් මනුලොව වේවා, තිරිසන් ලොව වේවා ගර්භාෂයක් තුළ ඉපදුණොත් ඉපදෙන්නේ මේ ආකාරයට නේද? ඉපදෙන ස්වභාවය මා විසින් ඉක්මවා ගොස් නැහැ නේද? කියා සිතන්න උත්සාහ කරන්න ඕන.

කප්ප මහරහතන් වහන්සේ මවුකුස ගැන වදාළ කරුණුූ මෙසේ සඳහන් වෙනවා. නොයෙක් අසූචි පිරුණු වැසිකිළි වළක් වගේ, ලොකු තුවාලයක් වගේ විශාල සැරව ගෙඩියක් වගේ ගර්භාෂයක් තුළයි මම වැඩුණේ. ඉපදුනේ. ලේ සැරව පිරුණු, අශූචිවලින් බර වූ හැම තිස්සේ ම අපවිත්‍ර දේ ම වැගිරෙන මේ ශරීරයෙන් නිතර ම කුණු වතුර වැක්කෙරෙනවා. නහරවලින් බැඳිලා. මස්වලින් ඔතලා හම කියන ඇඳුමෙන් වසා තිබෙන මේ ශරීරය නම් වැඩකට නැති එකක්.

මේ ශරීරය කුණුප කොටස් එකතු වෙලයි හැදී තිබෙන්නේ. මෙවැනි උපතක් ගැන බුද්ධිමත් ව සිතන කෙනකුට ළදරුවෙක් දුටු විට තමාගේ ජීවිත කතාව මේ ආකාරයෙන් නේද කියා කල්පනා වෙනවා.

ජරා ජීර්ණ වූ කල

මිනිසුන් අතරේ ස්ත්‍රියක වේවා, පුරුෂයෙක් වේවා අවුරුදු අසූව අනූව හෝ ඊට වැඩි කාලයක් ගෙවයි නම් ඔහු හෝ ඇය හෝ ඉතාම ජරාජීර්ණ ශරීරයක් උරුම කර ගන්නවා. වකුටුව, හැරමිටි ගසමින් වෙව්ලමින් යන ලෙඩ වූ යොවුන් බව ඉක්මවා ගිය දත් කැඩුණු, කෙස් පැසුණු, හම රැලි වැටුණු, ශරීර ඇති වියපත් උදවිය සිටිනවා. ඒ තමා දෙවැනි දේවදූතයා.

අප සිතන්න ඕනෑ මේ වැඩිහිටි, බොහෝ වයසට ගිය පුද්ගලයන් හරියට දේවදූතයෙක් වගේ මට වැදගත් පණිවිඩයක් ගෙනත් තිබෙන්නේ. මටත් වන්නේ මේ දේ මයි. මමත් වයසට යන කෙනෙක්. ජරා ජීර්ණ ස්වභාවය ඇතුවයි ජීවත් වන්නේ. ජරාවට පත්වන ස්වභාවය මම ඉක්මවා නැහැ කියා සිතමින් දෙවැනි දේවදූතයා සිහි කරනවා.

තුන්වැනි දේවදූතයා

සමාජයේ ජීවත්වන ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අපට දකින්නට ලැබෙනවා ලෙඩ වෙලා දුකට පත්වෙලා සිටින ආකාරය. මළමූත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා. ඇස් තිබුණාට රූප නො පෙනෙන, කන තිබුණාට ශබ්ද නො ඇසෙන, නාසය තිබුණාට ගඳ සුවඳ නො දෙනෙන දිව තිබුණාට රස නො තේරෙන, ශරීරය තිබුණාට පහසක් නො ලැබෙන ඉතා අසරණ තත්ත්වයේ සිටින ලෙඩුන් අප දැක තිබෙනවා. ඔවුනට තව කෙනකුගේ උදව් උපකාර නැතිව කිසිවක් කර ගන්න බැහැ. තව කෙනෙක් පැමිණ වාඩි කරවන්න, කවන්න, පොවන්න, පිරිසුදු කරන්න ඕනෑ.

ඇතැම් කෙනෙක් මනුස්ස ලෝකයේ ජීවත් වෙනවා. නමුත් ශරීරයේ ඇතැම් කොටස් මිය ගිහින්. ඇතැම් කොටස් කුණූු වෙනවා. පණුවෝ උතුරනවා. මේ තමා මෙලොව දී දැකිය හැකි තුන්වැනි දේවදූතයා.

මෙසේ ලෙඩ වෙලා, බොහෝ සේ දුක්විඳින අය දුටුවා ම අපට සිතෙනවා " අනේ අපේ හතුරකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා" කියලා. නමුත් සතුරු මිතුරු කවුරුත් ඉපදීම නිසා ලෙඩවීම උරුම කර ගෙන ජීවත් වෙන්නේ. එනිසා බුද්ධිමත් කෙනා සිතනවා “මම රෝගි වෙන ස්වභාවය උරුම කොටගෙනයි ඉන්නේ. රෝගි ස්වභාවය ඉක්මවා ගොස් නැහැ. මේ ජීවත්වන කාලය තුළදී කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න, කුසල් වඩන්න ඕනෑ. ලෙඩ වන ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕනෑ කියලා කල්පනා කරනවා.

අපරාධ කළ සොරෙක්

දරුණු අපරාධ කළ සොරුන්ට රජවරුන් විවිධාකාරයේ බරපතළ දුක් සහිත, ඉවසිය නොහැකි දරුණු දඬුවම් කරනවා. කසයෙන් තළනවා. වේවැලෙන් තළනවා. දඬුමුගුරුවලින් තළනවා. අත් පා කපා දමනවා. උල තබනවා. යකඩ අඬුවකින් කට පළල් කර ගිනි පන්දම් ඔබනවා. ශරීරයේ තෙල් පාන්කඩ ඔතා ගිනි තබනවා. බෙල්ලේ සිට පහළට හම ගසනවා. කකුලේ සිට උඩට හම ගලවා එකට ගැට ගසනවා. උල ගසා ගින්නෙන් රත් කරනවා. කොකුවලින් ඇණූ ගසා මස් ලේ විසුරුවනවා. ශරීරයේ තැනින් තැන සිදුරු කර ලෝදිය වත් කරනවා. ශරීරය බිම දමා පැත්තකට ඇලකර කනේ උලක් ගසා ඒ උලෙන් හිටුවා කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගින්නෙන් කකාරවා ගත් තෙල්වලින් නහවනවා. සුනඛයන්ට කෑමට දමනවා. හිස ගසා දමනවා.

මෙසේ දරුණු වධ දෙනවා. මෙය දුටු හෝ ඇසූ හෝ ප්‍රඥාවන්ත පුද්ගලයා සිතනවා, අහෝ යමෙක් පව් කරනවා නම් ඔවුන්ට මෙලොව දී ම දරුණු විපාකවලට මුහුණ දෙන්න වෙනවා. පරලොව දී ලැබෙන විපාක ගැන කවර කතා ද? එනිසා මම වහ වහා අප්‍රමාද වෙන්න ඕනෑ කියා සිතා කුසල් කරනවා.

මළ සිරුරේ කතාව

භාග්‍යවතුන් වහන්සේ වදාළා ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා මියගොස් එක් දිනක්, දෙකක්, තුනක් ගතවෙලා තිබෙන ඉදිමී ගිය, නිල්වෙලා සැරව පිරී තිබෙන මළ සිරුරක් දකින්නට ලැබෙනවා. අද සමාජයේ නම් මෙසේ මෘත දේහයක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් බුද්ධිමත් කෙනා සිතන්න ඕනෑ තමා මරණයට පත් වූ පසු ශරීරයට සිදුවන දේ ගැන. මමත් මරණය ඉක්මවා ගිය කෙනෙක් නොවේ. මම මැරෙන කෙනෙක්. මරණයට පත්වීම ස්වභාවය කොට ඇති කෙනෙක්. එනිසා මම සිතින්, කයින්, වචනයෙන් පින් කුසල් පමණක් කරනවා. කිසිවිටෙකත් අකුසල් කරන්නේ නැහැ කියා සිතනවා.

දූතයා කියන්නේ පණිවුඩයක් ගෙන එන පුද්ගලයා යි. ඒ පණිවිඩය තමයි ඔබටත් මේ ඉරණම උරුම වෙනවා කියන එක. එනිසා එම පණිවිඩය මනාව හඳුනාගෙන සතර අපායේ නො වැටී යහපත සලසා ගනිමු.