Print this Article


හොඳ පුරුදු වෙති සොඳුරු

හොඳ පුරුදු වෙති සොඳුරු

“මානසං උස්සන්නත්තාය මනුස්සා” යන දේශනාවට අනුව මිනිසා අනෙක් සත්ත්වයින්ට වඩා මනසින් උසස් වේ. විධිමත් ජීවන රටාවකට හුරු වී තම කාර්යයන් සිතා විමසා ඉටු කර ගත හැකිවීම තුළින් මිනිසා අනෙක් සත්ත්වයින්ගෙන් වෙනස් වේ.

ඒ අනුව විධිමත් පුරුදු සමුදායකින් මිනිසා පෝෂණය වී සිටීම හඳුනාගත හැකි ය. විවිධ පුද්ගලයන් විවිධ පුරුදුවලට හුරු වී සිටින අතර, ඇතැම් පුද්ගලයන් හොඳ පුරුදුවලටත් ඇතැමුන් නරක පුරුදුවලටත් යොමු වී සිටි. හොඳ හා නරක පුරුදුවලට ඇබ්බැහි වීම හා එම පුරුදුවලින් ඉවත් වීම අනුව පුද්ගල වර්ග හතරක් සමාජයෙහි දැකිය හැකි ය. එනම්,

* තමන් තුළ නො පැවති අයහපත් පුරුදු ජීවිතයට එකතු කර ගන්නා පුද්ගලයා

* තමන් තුළ පවතින අයහපත් පුරුදු වර්ධනය කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා

* තමන් තුළ නො පැවති යහපත් පුරුදු ඇති කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා

* තමන් තුළ තිබෙන හොඳ පුරුදු දියුණු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා

මෙම සිව්දෙනා අතුරින් තමන් තුළ නො පැවති යහපත් පුරුදු ඇති කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා හා තමන් තුළ තිබෙන හොඳ පුරුදු දියුණු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා යන දෙදෙනා හොඳ පුරුදු ඇති කර ගැනීම අතින් ප්‍රසංසනීය වන අතර, අනෙක් දෙදෙනා පරිහානියට පත්වන දෙදෙනකු වශයෙන් පෙන්වා දිය හැක.

ඒ අනුව හොඳ පුරුදු ඇති කරගැනීමට උත්සාහවත් වන අයකු වශයෙන් ඔබටත් අලුත් දෑ කියවීම තම ජීවිතයට හොඳ පුරුදු එකතු කර ගැනීම සඳහා උපකාරයක් වේ.

මෙහි දී ප්‍රථමයෙන් හොඳ පුරුදු යනු මොනවාද යන්න පැහැදිලි කර ගැනීම වැදගත් වේ.

දෙමාපියන්ට කීකරු වීම, වැඩිහිටියන්ට ගරු කිරීම, කලණ මිතුරන් ඇසුරු කිරීම, අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කිරීම, උදෑසන අවදි වීම, නියමිත වේලාවට නියමිත වැඩ කිරීම, ශරීරය පවිත්‍ර ව තබා ගැනීම, නිවැරැදි ව තමාට අයත් වගකීම් ඉටු කිරීම, රාජකාරීමය කටයුතු මැනවින් ඉටු කිරීම, අවංක වීම, වංචා නො කිරීම, අන්‍යයන්ට ගරු කිරීම, අන්‍ය මත ඉවසීම, හොඳ වචන කතා කිරීම, පිරිසිදු වස්ත්‍ර දැරීම යන කරුණු යහපත් ක්‍රියාවන් වන අතර, එම ක්‍රියාවන් දිගින් දිගට ම පවත්වා ගෙන යාම “හොඳ පුරුදු” ලෙස පෙන්වා දිය හැක.

යම් පුරුද්දක් හොඳ පුරුද්දක් හෝ නරක පුරුද්දක් ලෙස හෝ වෙන් කර හඳුනා ගැනීමට බුදු දහම තුළ දක්වා ඇති විවිධ ක්‍රමෝපායයන් භාවිත කළ හැක. ඒ අනුව යම් පුරුද්දක් පුද්ගලයාට බලපාන ස්වභාවය අනුව හොඳ හෝ නරක හෝ පුරුද්දක් වශයෙන් වෙන් කර හඳුනාගත හැකි වේ. එනම්,

* අත්තහිතාය පටිපන්නෝ න පරහිතාය - තමාට පිහිට ඇති, අනුන්ට පිහිටක් නැති පුරුදු.

* පරහිතාය පටිපන්නෝ න අත්තහිතාය- අනුන්ට පිහිට ඇති, තමාට පිහිටක් නැති පුරුදු.

* න පරහිතාය න අත්තහිතාය - තමාට හා අනුන්ට යන දෙපිරිසට ම පිහිටක් නැති පුරුදු.

* අත්තහිතාය ච පරහිතාය ච - තමාට හා අනුන්ට යන දේපාර්ශවයට ම පිහිට ඇති පුරුදු.

මෙම කරුණු දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ තමාටත්, අන්‍යයන්ටත් යන දෙපාර්ශවයට ම යහපතක් වන පුරුදු ඇති පුද්ගලයා සමාජයට වැඩදායක වන බවයි. නරක පුරුදු ඇති පුද්ගලයා තමාට පමණක් නොව අන්‍යයන්ට ද හානිදායක වන බව මෙයන් පැහැදිලි වේ.

ගෙදරක සිටින දෙමාපියන් යම් නරක පුරුද්දකට යොමු වී සිටීනම් එහි බලපෑම දරුන්ට ඍජුව ම එල්ල වේ. සමාජයෙහි අන්‍යෝන්‍ය සබඳතාවල ස්වරූපය අනුව යම් පුරුද්දක බලපෑම ලොකු කුඩා භේදයකින් තොරව සියලු දෙනාට එල්ල වේ. නූතනයෙහි ඇතැම් වැඩිහිටියන්ගේ අදහස වන්නේ කුඩා දරුවන් පමණක් යහපත් පුරුදු පුහුණු විය යුතු බවයි. එය සාවද්‍ය මතයකි.

හොඳ පුරුදු වලංගු වන්නේ දරුවන්ට පමණක් ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීම ඉතා වැදගත් වේ. යම් වැඩිහිටියකු ප්‍රාණඝාත කිරීම, අන්සතු දෑ සොර සිතින් ගැනීම, කාමය වරදවා හැසිරීම, බොරු, කේළම්, හිස්වචන, පරුස වචන කීම හා මත්පැන් පානය කිරීම වැනි නරක පුරුදුවලට යොමු වී සිටී නම්, ඔහු නරක පුරුදුවලින් යුතු නරක පුද්ගලයෙකි. නූතන සමාජයේ දී එවැනි ඇතැම් වැඩිහිටියන් තම වාසිය වෙනුවෙන් නරක පුරුදු සාධාරණීකරණය කිරීමට උත්සාහ දරණු ලබයි. එවැනි වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා යම් යම් පෙළඹවීම් සිදු කරන දෙමාපියන්, වැඩිහිටියන් හා වවිධ සමාජ ක්‍රියාකාරකයින් උත්සාහ දරන බව වත්මන් සමාජයෙන් අපට දැක ගත හැක. මෙහි බරපතළ ඛේදවාචකය වනුයේ වැඩිහිටියන්ගේ එම අයහපත් පුරුදුවලට දරුවන් ද කුඩා කල සිට ම අනුගත වීමයි.

ඒ අනුව වැඩිහිටියන් ද තමන්ගේ නරක පුරුදු තමාටත් අන්‍යයන්ටත් හානිදායක වන බව අවබෝධ කොට ගෙන එම නරක පුරුදුවලින් ඉවත් වී වාසය කිරීමට උත්සාහ කළ යුතු ය. එලෙස නරක පුරුදුවලින් ඉවත්වීමට භය හෝ ලජ්ජා හෝ විය යුතු නැත.

තමාගේ තත්ත්වයට හෝ තමා ජීවත් වූ ස්වභාවයට හෝ එයින් හානියක් හෝ මදි පුංචිකමක් හෝ සිදු වේ යැයි ඇතැම් විට හැඟී ගියහොත් ඒ මොහොතේ ම තමන්ගේ නරක පුරුදු නිසා බිරිඳ/ස්වාමියා, දරුවන්, දෙමාපියන් හා හිතවතුන් සමාජයේ දී කෙ තරම් අපහසුතාවට පත්වන්නේ ද යන වග තම සිතට නංවා ගෙන මෙනෙහි කර බැලීම හරහා නරක පුරුදු අත්හැරීමට ඇති මන්දෝත්සාහි බව පරාජය කළ හැක. එමෙන් ම දරුවන්ටත් වඩා හොඳ පුරුදු වර්ධනය කර ගත යුත්තේ වැඩිහිටියන් ය. මන්ද යත් වැඩිහිටියන්ගේ නරක පුරුදු හරහා ධනය, බලය, කාලය, තමා ඇති කර ගත් ගෞරවය වැනි සියලු දෑ එක් ක්ෂණයකින් අහිමි විය හැකි බැවිනි. හොඳ පුරුදු කුඩා දරුවන්ට පමණක් ආවේනික වූවක් නො වන අතර, තම නිවැසියන්ට හා සමාජයට වගකියන වැඩිහිටියකු වශයෙන් හොඳ පුරුදු පුහුණු කිරීම සියලු දෙනාගේ ම වගකීමක් වන බව මෙම කරුණු තුළින් අවධාරණය කර ගත යුතු ය.

කුඩා කල සිට ම දරුවන්ට හොඳ පුරුදු පුහුණු කළ යුත්තේ ඇයි?

මෝරන ලද කෝටුවක් අපට අවශ්‍ය පරිදි නැවීමට හෝ කැරකවීමට අපහසු ය. නමුත් ලපටි කෝටුවක් ඒ මේ අත හසුරුවා අපට අවශ්‍ය ලෙස සකස් කරගත හැක. දරුවකු වුව ද කුඩාකල සිට හොඳ පුරුදු පුහුණු වීම වැදගත් වනුයේ කුඩා අවදියේ දී හිතට කා වදින දෑ තදින් මනසේ තැන්පත් වන නිසාවෙනි. දරුවන් අනුකරණය හා අනුගමනය යක මූලික සිද්ධාන්ත ඔස්සේ තමා විසින් සිදු කරන, තමාට ඇසෙන හා තමන් දකින දේ ඉගෙනගෙන පුරුදු එම කරන, අසන හා දකින් දේ පුහුණු වෙයි. එය දිගට ම හෝ කඩින් කඩ සිදු කරන්නේ නම් යම් කාලයකින් පසුව එය පුරුද්දක් ලෙස පවත්වාගෙන යනු ලබයි. හොඳ පුරුදුවලින් පෝෂණය වූ මිනිසුන් සිටින

නිවසක දරුවන් ද කාලයත් සමඟ එම හොඳ පුරුදුවලට අනුගත වෙමින් පුහුණු කරනු ලබයි. හොඳ පුරුදු නොමැති එනම් අයහපත් පුරුදු වලින් යුතු නිවැසියන් සිටින නිවසක දරුවන් තම දෙමාපියන්ට අනුව යමින් නරක පුරුදු දිගට ම පවත්වාගෙන යනු ලබයි.

එබැවින් දරුවන්ට කුඩා කල සිට ම යහපත් පුරුදු කියා දීමෙන් හා ආදර්ශවත්ව පෙන්වා දීමෙන් ඔවුන්ගේ ජීවිතය හොඳ පරුදු තුළින් පෝෂණය කර රට, දැය සමය වෙනුවෙන් වැඩදායී පුරවැසියන් බවට පත් කිරීමට හැක. එය දරුවන්ට කුඩා කල සිට ම හොඳ පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම වශයෙන් පෙන්වා දිය හැකිය.

හොඳ ලෙස හැදීමට - හොඳ සිත ඕනැ හැම විට
නරක සිත් ඇති විට - නරකමයි සිදුවන්නේ අපහට
(සිරිත් මල්දම)

අප විසින් කරනු ලබන සෑම හොඳ පුරුද්ද කම අගය හා වටිනාකම දැන දැක අවබෝධ කොටගෙන සිදු කරන්නේ නම් එහි වටිනාකම වැඩි ය. යමකුගේ බලකිරීම හෝ බලපෑම මත හෝ අතෘප්තිකර සිතින් යම් හොඳ පුරුද්දක් සිදු කරන්නේ නම්, එහි අගය හා වටිනාකම අඩු වේ. මන්ද යත්, තමන් විසින් සිදු කරනු ලබන යහපත් පුරුදුවල වටිනාකම තමන් විසින් අවබෝධ කොට ගෙන සිදු කළ යුතු ය.

කුඩා දරුවන් හැරුණු කොට පාසල් යන වයසේ සිට මහලු විය දක්වා සිටින සියලු පිරිසට හොඳ පුරුදු, නරක පුරුදු මනාව අවබෝධ කර ගැනීමට හැකියාව ඇත. නරක සිතින් හොඳ ක්‍රියාවක් සිදු කළත් එයින් තමන් ම අපහසුතාවයට පත්වීම මිස යහපතක් සිදු නොවේ.

බොරු කීම කැතමය - ගැරඬි කුණටත් නො සමය
ඇත්ත නම් කදිමය - මෙලොව රජ සැපතටත් උතුමය
(සිරිත් මල්දම)

හොඳ පුරුදු ලෙස ගත් විට තම සිත, කය හා වචනය යන තිදොරින් ම පුහුණු කරනු ලබන පුරුදු වැදගත් වේ. ඉහත කවියෙන් දක්වන්නේ වචනයෙන් සිදුවිය හැකි නරක පුරුද්දකි. එනම් බොරු කීමයි. බොරු කීම තමාටත් තම සමීපතමයන්ටත් අනර්ථය සිදු කරන්නකි. තමා සමාජය තුළ අප්‍රසාදයට හා අපකීර්තියට පත්වීමට එය හේතුවක් වේ. බොරු කීම ගැරඬි කුණකටවත් සමාන කළ නොහැකි තරමේ ජුගුප්සා ජනක දෙයක් වශයෙන් පෙන්වා දී තිබේ. එමෙන්ම බොරු, කේලාම්, හිස් වචන හා පරුස වචන කීමෙන් තමා ද අන්‍යයන් ද අපහසුතාවට පත්වේ. සමාජය

තුළ අසත්‍ය තොරතුරු පතුරුවමින් සමාජය කැළඹීමට පුවත් මැවීමට ඇතැමුන් කටයුතු කරනුයේ කුණු මසට ලොල් වූ සිවලුන් ලෙස ය. එහි ආදිනව හෝ එම අසත්‍ය ප්‍රචාර තුළින් අනෙකාට වන අපහසය හා වේදනාව තමාට නො දැනෙන තාක්, මස් කටුව රස කරමින් සපන සුනඛයකු සේ ඔවුන් ප්‍රීතිමත් වන අතර, ඉන්පසුව සුනඛයාට දිව තුවාල වීමේ වේදනාව දැනෙන්නා සේ ම අසත්‍ය පුවත්, කේළම්, හිස් වචන, පරුස වචන කීම වැනි නරක පුරුදු සිදු කරන පුද්ගලයාට කල්යත්ම එහි ආදීනව කර්මානුරූපී ව විඳීමට සිදු වේ.

දිග නියපොතු වැඩුණු - තිබුම හොද නෑ කප්පනූ
දත්පෙළ කුණු බැඳුනු - පෙනෙයි කැත ලෙස හොඳීන් සෝදනු
සෙම් සොටු පෙරාගෙන - කුණු කෙළ වයිරිලා ගෙන
දැලිකුණු තවරාගෙන - ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු තැන
(සිරිත් මල්දම)

ඉහත කවි දෙක නූතන සමාජයට සුවිසල් පණිවිඩයක් ලබා දීමට තරම් ශක්‍යතාවකින් හෙබි කවි දෙකකි. නූතන විලාසිතා හා රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයෙහි ඇති වී තිබෙණ දියුණුව සමගින් මිනිසුන් එම සේවාවන් ලබා ගැනීම සඳහා නව නැඹුරුතාවක් දක්වයි. එහි කිසිත් ගැටලුවක් නැත. ගැහැණියක හෝ පිරිමියකු මානසික පවිත්‍රතාවයෙන් මෙන් ම ශාරීරික පවිත්‍රතාවයෙන් ද යුක්ත විය යුතු ය. තම රූසපුව හා කඩවසම් බව පවත්වා ගෙන යාමට නූතන නවීන නිශ්පාදන භාවිත කිරීම ද ගැටලුවක් නැත. එම කරුණු එසේ වුවත් අප ඒ සියලු නිපැයුම් භාවිත කළ යුත්තේ තම ගෞරවය රැකෙන පිරිදි හා අනෙකාටත් ආදර්ශයක් වන අයුරිනි.

තමා කුඩා කල සිට ඇති කරගත් ගෞරවය හා විශ්වාසය බාහිර අරමුණු වෙනුවෙන් කැප නො කළ යුතු ය. එබැවින් පහසුවෙන් හා කාර්යක්‍ෂමව පිරිසිදුව හා පිළිවෙලට ජීවත්වීමට අවශ්‍ය කරුණු රාශියක් ඉහත කවි දෙකෙන් දක්වා තිබේ. එනම් නියපොතු වැවීම, දත් මැද පිරිසදුව තබා ගැනීම, සෙම් සොටු කෙළ ආදිය පිරිසිදු කර ගැනීම, පිරිසිදු ඇඳුම් ඇඳීම වැනි කරුණු එහි දක්වා ඇත. එහි දක්වා ඇති කරුණු අනුගමනය කරන්නේ නම්, ඒ තුළින් ඉතාමත් හොඳ ශාරීරික පවිත්‍රතාවක් පවත්වා ගෙන යා හැක. එම කරුණු ලොකු කුඩා සියලු දෙනාට ම එක ලෙසම අනුගමනය කළ හැකි සරල හොඳ පුරුදු වේ.

එලෙස හොඳ පුරුදු තම ජීවිතයට එකතු කර ගැනීම හරහා තමා ජීවිතයේ අත්විඳි සතුටට වඩා උසස් වූ සතුටක් හා මේ තාක් සමාජයෙන් ලැබුණු ගෞරවයට වඩා ගෞරවයක් ඇති කර ගැනීමට අවස්ථාව නිර්මාණය වෙනු ඇත.