Print this Article


බෞද්ධ සරණාගමන ප්‍රතිපදාව

බෞද්ධ සරණාගමන ප්‍රතිපදාව

දෙයාකාර ප්‍රතිපදාවන් බෞද්ධයන් සේ අපට ප්‍රගුණ කළ හැකි ය. එම ප්‍රතිපදාවන් අගාරික හා අනගාරික වශයෙන් දැක්වේ. ආමිස හා ප්‍රතිපත්ති පූජා මෙම ප්‍රතිපදාවන් තූළ ක්‍රියාත්මක වේ.

අනගාරික නොවී ගෘහස්ථ වාසයේ වෙසෙන ප්‍රජාව අනුගත වන්නේ අගාරික ප්‍රතිපදාව තුළ ය. එය ගිහි සාමිචි ප්‍රතිපදාව ලෙසිනුත් ජනගත ව තිබේ. මේ ප්‍රතිපදාවේ මූලාරම්භය හෝ එහි ප්‍රවේශය ආරම්භ කරන්නේ සරණාගමනය සහිත ව පංච ශිල ප්‍රතිපදාවෙන් ය.

මුලින්ම අපට ශාසනයේ දී හමුවන්නේ දේවාචික ව සරණ ගිය තපස්සු භල්ලුක දේබෑයෝ ය. අගාරික ප්‍රතිපදාව හැර ප්‍රවෘජ්ජා භුමියට අනගාරික ප්‍රතිපදාව යටතේ ප්‍රවේශ වන්නේ තිසරණය සහිත සාමණේර දස ශීලය සමාදන් වීමෙනි. පංචවග්ගීය භික්‍ෂූන් වහන්සේ සසුන්ගත වෙන්නට පෙර නාලක හිමියන් කාලදේවල තාපසයන්ගේ ඉල්ලීම අනුව තාපස ප්‍රවෘජ්ජාවෙන් සසුන් ගත වන්නේ මෙම ශාසනික ප්‍රතිපදාව ස්ථාපිත වෙන්නට පෙර ය.

බෞද්ධ ප්‍රතිපදාවේ දැක්වෙන බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන සරණ යන්නේ ඇදහීමක් සේ නොව ඊට එහා ගිය ස්වයං අවබෝධයෙන් හා එම ත්‍රිත්වය තුළ විද්‍යමාන ප්‍රතිපත්ති හා ගුණ ධර්මයන්ට අනුගත වීමෙනි.

වෙසක් සමයේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් කුල්මත් වෙන බෞද්ධයින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් සිය ශක්ති පමණින් පවත්වමින් තෙරුවන් සරණ වඩාත් අර්ථවත් කර ගන්නට මහන්සි ගන්නේ මනා අවබෝධයෙනි. මෙහිදි හැම කෙනෙක් ම බුද්ධ, ධම්ම හා සංඝ ගෞරවයට හානියක් නොවන අයුරින් සිය සරණයාමේ වත් පිළිවෙත් ඉටු කරන්නට වගබලා ගැනීම ඉතා ම වැදගත් වන්නේ ය.

සරණ යනු පිහිට, උපකාරය, සිහි කිරිම ආදි තේරුම් ඇති නාම පදයකි. ‘සරණාගමනය’ අර්ථවත් වන්නේ තුන් සරණය පිහිට සොයා ඒම හෝ තිසරණයට පැමිණීම, සරණ ගැනීම ලෙස ය. තිසරණය අපේ සංස්කෘතියේ මොනතරම් වැදගත් ද යන්න ඒ ගැන ලියවුණු තුන් සරණ කවි හා අනෙකුත් පොතපතින් තහවුරු වේ.

අපේ ජීවිත කාලයේ අව්ව, වැස්ස, විදුලි කෙටීම, වායු සුළි, හෙන පිපිරීම, භය වැනි විවිධ ස්වභාවික හා භෞතික තත්ත්වයන් තුළ අප ද ස්වභාවිකව ම ඉන් ආරක්‍ෂා වීමට පිහිට සරණ අපේක්‍ෂාවෙන් විවිධ ප්‍රවේශ මාර්‍ගවලට යොමු වන්නේ ය. සොහොන් පිට්ටනියක් පසු කරන විට මෙන් ම, භයක් කරදරයක් ඇතිවුණු විට අපි නිතැතින් ම සිහි කරන්නේ ඉති පි සො භගවා යන පාඨයයි. එසේම අපට ඉපිද ඉපිද, මැරි මැරි අනන්ත සසර පුරා යන ගමනේ යම් විරාමයක් සොයා ගන්න, යම් පිහිටක්, උපකාරයක්, ප්‍රවේශයක් හෝ සරණක් හෝ සැබැවින් ම අවශ්‍යයි. එම ප්‍රවේශයේ ආරම්භය තමයි ‘සරණාගමනය’. එනිසා බෞද්ධ නිර්වාණාවබෝධයේ මූලික ම පියවර වන්නේ ‘සරණාගමනය’. එබැවින් තෙරුවන් සරණයාම හුදු වාචික ප්‍රකාශයකට සීමා නොකර අවබෝධයෙන් ම කළ යුතු බව තරයේ ම අවබෝධ කර ගත යුතු ය.

‘බුද්ධං සරණං ගච්ඡාමි’, ‘ධම්මං සරණං ගච්ඡාමි’, ‘සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් පාලියෙන් හෝ ‘මනසා පි ච සරණං යාමි’, ‘කායෙන ච සරණං යාමි’, ‘වාචා පි ච සරණං යාමි’ යනුවෙන් කාව්‍යමය ආකාරයෙන් හෝ ‘හිතෙනුත් මම සරණයමි’, ‘කයෙනුත් මම සරණයමි’, ‘වචනෙනුත් මම සරණයමි’යනුවෙන් සම්ප්‍රදායික ව අපි වාචික ව සරණ ගියත් එය අර්‍ථවත් වන්නේ තුණුරුවන්හි අන්තර්ගත ගුණ ධර්ම හා පිළිවෙත් හෙවත් අන්තර්ගතයන් ප්‍රායෝගික ව තම ජීවිත තුළ ක්‍රියාත්මක කිරීම තුළ ය.

මා දිවි හිමියෙන් ම තෙරුවන් සරණ යනවා යැයි සමහරු ප්‍රකාශ කරන අයුරු අපට ඇහෙනවා. ඔබ එලෙස සරණ ගියහොත් ඔබ ඔබේ ජීවිතය පරදුවට තබා එය රැකීමට බැඳී තිබෙන බව ඔබ වටහා ගතයුතු ය. නමුත් මේවා හුදු ප්‍රකාශනයන් බවට පත්වෙමින් තිබෙන බවක් අද සමාජයේ ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් තුළ මනාව පැහැදිලි වේ.

චතුරාර්‍ය සත්‍යාවබෝධයෙන් නිවන් අවබෝධ කර ගැනීමේ මං පෙත් විවර කර ගැනීමේ ප්‍රවේශයක් වෙන මෙම සරණාගමනය බුද්ධිමත් ලෙස පුහුණු කිරීමෙන් බෞද්ධ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ආගමික පිළිවෙත වන සරණ යාම යල් පැන යාමෙන් හා අකාර්‍යක්‍ෂ ම වීමෙන් ආරක්‍ෂා කර ගත හැකි ය.

අවබෝධයෙන් යුත්තව සරණයාමෙන් අපට එය ශක්තිමත් හා ජීවය දෙන භක්ති දහරාවක් බවට පත් කළ හැකි ය. එවිට එක් දිනෙක අපට සරණාගතයා හා සරණ එකට එක්කොට අවසානයේ නිවනේ ක්‍ෂේම භුමිය කරා ඔබව යොමු කළ හැකි වන්නේ ය.

බියෙන් තැතිගත්, අසරණ වූ, පූර්ව බුදුසමයේ මිනිසා ඉන් මිඳෙන්න සරණ ගොස් ඇත්තේ ගස්, ගල් , පර්වත ආරාම දේවත්වයෙන් සලකමිනි.

බහුං වෙ සරණං යන්ති - පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චෙතියානි - මනුස්සා භය තජ්ජිතා

එහෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ එය සුරක්‍ෂිත හෝ යහපත් හෝ සරණයාමක් නොවන බවත්, ඉන් සියලු දුක් කරදරවලින් නිදහස් විය නොහැකි බවත් ය.

නෙතං ඛො සරණං ඛෙමං - නෙතං සරණමුත්තමං
නෙතං සරණමාගම්ම - සබ්බදුක්ඛ පමුච්චති

මෙසේ අන්ධ භක්තියෙන් හා අනවබෝධයෙන් ගස්, ගල් , පර්වත ආරාම දේවත්වයෙන් සලකමින් සරණයාම අර්‍ථවත් නොවන බවත්, ඒ වෙනුවට බුද්ධ, ධම්ම, සංඝ, තෙරුවන් සරණයාම තුළින් චතුරාර්‍ය සත්‍යය නිවැරැදි ව අවබෝධ කොට ගෙන සසර දුකෙන් නිදහස් විය හැකි බවත් අග්ගිදත්ත බ්‍රාහ්මණයාට දේශනා කළහ.

යො ච බුද්ධං ච ධම්මං ච - සංඝං ච සරණං ගතො
චත්තාරි අරිය සච්චානි - සම්මප්පඤ්ඤාය පස්සති
දුක්ඛං දුක්ඛසමුප්පාදං - දුක්ඛස්ස ච අතික්කමං
අරියං චට්ඨංගිකං මග්ගං - දුක්ඛූපසමගාමිනං

බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ එය සුරක්‍ෂිත හා යහපත් සරණයාමක් බවත්, සැබැවින් ම ඉන් සියලු දුක් කරදරවලින් නිදහස් විය හැකි බවත් ය.

එතං ඛො සරණං ඛෙමං - එතං සරණමුත්තමං

එතං සරණමාගම්ම - සබ්බදුක්ඛ පමුච්චති (ධම්මපද 188-192) බෞද්ධ ප්‍රතිපදාවේ සරණ යනුවෙන් අදහස් කරන්නේ බුදුන් වහන්සේට උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී නෛර්‍ය්‍යානික සද්ධර්මයට හා උන්වහන්සේගේ ඖරස පුත්‍ර ආර්‍ය මහා සංඝයා වහන්සේට (ආධ්‍යාත්මික ප්‍රජාව) පක්‍ෂපාතිත්වය විධිමත් අයුරින් ප්‍රකාශ කිරීමකි.

එය ස්ථාවර අදෘශ්‍යමාන බලවේගයකට හෝ ආත්මයකට හෝ බාහිර ආකස්මික තත්ත්වයකට හෝ ප්‍රතිපක්‍ෂවීමක් වෙනුවට විමුක්තිය හා නිදහසට මඟ පෙන්වීම හා ආරක්‍ෂාව පිණිස තෙරුවන කෙරෙහි විශ්වාසය තැබීමේ පුරුද්දකි. එය බෞද්ධ වත් පිළිවෙත් මාර්ගයට කැපවීමක් සහ ප්‍රඥාව හා අනුකම්පාව වර්ධනය කිරීම සඳහා පියවරකි.

බෞද්ධයින් වශයෙන් අප ත්‍රිවිධ සරණාගමනය නිවැරැදි ව තේරුම් ගැනීම ඉතා වැදගත් ය. මෙම ත්‍රිත්වයේ බුදුරජාණන් වහන්සේ පරම සත්‍යාවබෝධයේ ප්‍රතිමූර්තිය වශයෙන් අපට ආදර්ශයක් සේ අනුගමනය කළ හැකි ය.

‘අවවාදයට වඩා ආදර්ශය උතුම් ය, යන්න අප ජනවහරේ එන ප්‍රචලිත ප්‍රකාශනයකි. එහි මෙම සරණාගමනය හා බද්ධවීමක් ඇති බව පෙනේ. උන්වහන්සේ තම ආර්‍යපර්යේෂණය තුළින් අවබෝධ කර ගත් තුන් කල්වර්ති අවබෝධාත්මක දැනුම හෙවත් ඉගැන්වීමේ ධර්මතාවන් අපේ විමුක්තියට මාර්ගය වන අතර, සංඝ රත්නය එය ඉදිරියට පවත්වා ගෙන යාමේ නියෝජනය යි. මේ අවබෝධය තුළ අප සරණාගමනය තහවුරු කර ගත යුතු ය.

මෙම ආත්මීය තහවුරුව මත ඔබට ඉතා විධිමත් ව තෙරුවන කෙරෙහි අවෙචනප්ප්‍රසාදය හෙවත් අචල ශ්‍රද්ධාව ඇතිවෙන පරිදි

‘මම බුදුන් සරණ යමි, ‘මම ධර්මය සරණ යමි,‘මම සංඝයා සරණ යමි, යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් තෙරුවන් සරණ යා හැකි ය. මේ සඳහා ඔබේ අවංක කැපවීම මෙන්ම අවබෝධය ඉතා ම වැදගත් වන්නේ ය. ඔබ තෙරුවන් සරණ යනවිට ඇයි මං තෙරුවන් සරණ යන්නේ කියා මෙනෙහි කිරීම ද ඉතා වැදගත් වන්නේ ය.