Print this Article


සසර දුකෙන් එතෙරවීම පිණිස චාගානුස්සති භාවනාව වඩමු

සසර දුකෙන් එතෙරවීම පිණිස චාගානුස්සති භාවනාව වඩමු

මම අවබෝධයෙන් යුතුව ම බුදුරජාණන් වහහන්සේ සරණ ගියෙමි. උතුම් ශ්‍රී සද්ධර්මය සරණ ගියෙමි. ආර්ය මහා සංඝරත්නය සරණ ගියෙමි. අවබෝධයෙන් යුතුවම තෙරුවන් සරණ ගිය මම සංසාර දුකින් මිදීම පිණිසම අත්හැරීම (ත්‍යාගය) පුරුදු කරමි. මම දුක් මහන්සියෙන්, උත්සාහයෙන්, වීරියයෙන් ධාර්මික ව උපයා ගත් ධනයෙන් සිල්වතුන්ට, ගුණවතුන්ට නිතර දන් පැන් පුදමි.

දුක් මහන්සියෙන් මා උපයා ගත් ධනය අන් අය ප්‍රයෝජනයට ගැනීම දැක සතුටුවීම ඉතා අපහසු දෙයකි. මම ඉතා සතුටින් මගේ ධනය වියදම් කර සිල්වත්, ගුණවත් උතුමන්ට දන් පැන් පුදමි. ඒ දැක මම ඉතා සතුටට පත්වෙමි.

සංසාර දුකින් මිදීමට වෙර දරනා සිල්වත්, ගුණවත් උතුමෝ මගේ දන් පැන් වළඳා කාය ශක්තිය ඇති කර ගෙන, චිත්ත ශක්තිය ඇති කරගෙන සුව සේ සිත දියුණුූ කරනු දැක මම සතුටු වෙමි. ඒ උතුමන් වහන්සේ යම් දිනයක උතුම් මාර්ග ඵලයන්ට පත් වේ ද, ඒ පිණිස මමත් උපකාර කළ අයෙක් කියා සිතමින් මම සතුටු වෙමි.

බුදුරජාණන් වහන්සේගේ උතුම් පින්කෙත වශයෙන් හඳුන්වා ඇති සිල්වත්, ගුණවත් උතුමන්ට මම නිතර දන් පැන් පුදා පින් රැස්කරමි. සතුටට පත්වෙමි. මම මසුරුමල දුරුකොට දන් පැන් පූජා කරන කෙනෙක් වෙමි. තුන් සිත පහදවාගෙන දන් පැන් පූජා කර මම සතුටක් ලබමි. මා සතු ඉතා වටිනා අගනා ම දේ පූජා කර මම ඉතා සතුටට පත්වෙමි.

මම නිතර දන් දීම පිණිස ම සූදානම් වු කෙනෙක් වෙමි. මම නිතර දන් පැන් පූජා කිරීමෙහි ඇලුණු කෙනෙක් වශයෙන් කටයුතු කරමි. මම පිරිසුදුවට පිළිවෙළට සකස් කර දන් පැන් පූජා කරමින් සතුටු වෙමි. මම දැන් පැන් ලබා ගන්නා උතුමන්ට ගැළපෙන ආකාරයට හොඳින් විමසා බලා දන් පැන් පූජා කර සතුටු වෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් මෙලොව සැප සම්පත් බලාපොරොත්තු නොවෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් ශරීර වර්ණය ඇති කර ගැනීම බලාපොරොත්තු නොවෙමි. ආයුෂ වැඩිකර ගැනීමට බලාපොරොත්තු නො වෙමි. අන් අයගේ කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තු නො වෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් සමාජයේ උසස් තනතුරු බලාපොරොත්තු නො වෙමි. පරලොව දිව්‍ය සම්පත් ද බලාපොරොත්තු නොවෙමි. මම චිත්තාලංකාරය පිණිසම දන් පැන් පූජා කරමි. මම සංසාර දුකින් නිදහස්වීම පිණිස ම, ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස ම දන් පැන් පූජා කරමි.

ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමීදය නිසා මගේ සිත, කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත්, උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපාකරි වේ. ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වෙන කෙනා (සේඛ) අත්හැරීම බලයක් වශයෙන් දියුණු කළ යුතු බව මම දනිමි. මම ද සංසාර දුකින් නිදහස් වන උතුම් ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වන කෙනෙකි. මම අත්හැරීම බලයක් වශයෙන් දියුණූු කරමි. එය මට ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස ම උපකාර වේවා.

මම රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් අත්හැරීම දියුණුූ කර ගනිමි. ත්‍යාගය නම් වූ සේඛ බලය දියුණු කොට අසේඛ නම් වූ උතුම් තත්ත්වයට පත්වෙමි. එය මට සතුටකි. ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමෝදය නිසා මගේ සිත, කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත්, උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

ආර්ය ශ්‍රාවකයාට ත්‍යාගය ධනයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මම මේ පුරුදු පුහුණුූ කරන අත්හැරීම (ත්‍යාගය) මට ආර්ය ධනයකි. මම ආර්ය ධනයකට හිමිකම් කියන ආර්ය ශ්‍රාවකයකු බව සිතමින් සතුටු වෙමි. ආර්ය ධනයට හිමිකම් කියන කෙනා දිළින්දෙක් නොවන බව මම දනිමි. එබැවින් මා සතු කොපමණ හෝ ධනය වියදම් කර මම ත්‍යාගය පුරුදු පුහුණු කරමි. ඒ නිසා මම දිළින්දෙක් නොවෙමි. මම ආර්ය ධනයෙන් යුතු ආර්ය ශ්‍රාවකයෙක් වෙමි. මම ශ්‍රේෂ්ඨ ආර්යභාවය වන උතුම් අරහත්වය දක්වා ම ත්‍යාගය පුරුදු කරමි. මම ආර්ය ධනය දියුණු කරමි.

එය මට සතුටකි. ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමෝදය නිසා මගේ සිත, කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත්, උතුම් ඥාන දර්ශනය පිණිසත් උපකාරී වේ.

අත්හැරීම, (ත්‍යාගය) සම්පත්තියක් වශයෙන් මම දනිමි. ත්‍යාග සම්පත්තිය මම නිරතුරුව ම පුරුදු කරමි. ත්‍යාග සම්පත්තිය මාගේ ජීවිතයට රැකවරණය සලසා දෙයි. ත්‍යාග සම්පත්තිය ජීවිතයට ආරක්ෂාව ලබා දෙයි. ත්‍යාගය විපත්තියක් නොව සම්පත්තියක් ම ලෙස සලකා මම දියුණු කරමි.

ආරක්ෂාව, රැකවරණය ලබා දෙන ත්‍යාගය මට මහා සම්පත්තියකි. මම විවිධ අයුරින් අත්හැරීම දියුණු කර ත්‍යාග සම්පත්තිය දියුණු කරමි. මාගේ අත්හැරීම සම්පත්තියක් වශයෙන් සිහිකරන මා හට සතුටක් ඇති වේ. ඒ සතුට මාගේ ප්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප්‍රමෝදය නිසා මගේ සිත, කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපාකාරී වේ.