Print this Article


ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය

ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නබ්බින්දතී දුක්ඛෙ
එස මග්ගෝ විසුද්ධියා

සසර සැරිසරන සත්ත්වයකුගේ මුල සොයා ගැනීමට නොහැකි වන අතර, ඒ පිළිබඳ සිතීම පවා නිරර්ථක වන බව අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ සේක. මේ නිසා අපමණ දුක් වේදනා ගෙන දෙන සසරින් මිදෙන්නට හැකි බවත්, ඒ සඳහා සත්ත්වයා සසර බැඳ තබන අවිද්‍යා, තණ්හා ප්‍රධාන හේතුන් මූලෝච්ඡින්න කළ යුතු බවත් මහා කරුණාවෙන් පහදා දුන් සේක.

පුරිමා භික්ඛවේ කෝටි න පඤ්ඤයති - අවිජ්ජාය ඉතො පුබ්බේ අවිජ්ජා නාහෝසි අථ පච්ඡා සම්භවිති

“මහණෙනි සත්ත්වයාගේ පැවැත්මට හේතු වූ අවිද්‍යාව මින් පෙර නොවී ය. එහෙත් පසුව ඇතිවී යැයි තීරණය කිරීමට නොහැකි ය. එහෙත් අවිද්‍යාව පවතී. එසේ නම් එහි ඵලය වශයෙන් සත්ත්වයා ඉපදෙමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී මහත් දුක් වේදනා විඳිමින් සසර ගමන් කරති.

ලෝකයේ පවත්නා පරම සත්‍ය දෙකකි. යම්කිසි න්‍යාය ධර්මයකට අනුව ක්‍රියාත්මක වන විශ්ව බල ශක්තිය හා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය යන සත්‍ය දෙක ම කිසිම බලවේගයකින් වෙනස් කරන්නට නොහැකි ය. විශ්වයේ න්‍යායානුකූල පැවැත්මත්, සත්ත්වයාගේ කර්මානුකූල පැවැත්මත් දෙකම හේතුඵල න්‍යාය ධර්මයකට අනුව පවත්නා වග පෙන්වන බෞද්ධ දර්ශනය ප්‍රඥා ලෝකයට විවෘත වන අතර, සෙසු ආගමික සංකල්පවලින් චින්තනය සංවෘත වේ.

සත්ත්වයාගේ පැවැත්මට හේතු ව වූ කර්ම න්‍යාය ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසා ඇතිවන කුසලාකුසල සංස්කාරයන්ගෙන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ජාති, ජරා, ව්‍යාධි, මරණ ප්‍රධාන මහා දුක් කඳ නැති වීමට නම්, එයට හේතු වූ සංස්කාර ක්‍රමයෙන් නැති කොටස් නිවන් සැනසීම ලබන ආකාරය බෞද්ධ දර්ශනයෙහි විස්තර වෙයි.

සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් බැලීම මෙන් ම දුකෙහි කලකිරීම, විශුද්ධි මාර්ගය හෙවත් සන්තානයෙන් තණ්හාදී කෙලෙස් සමුච්ඡේද කරන මාර්ගය යි.

සත්ත්වයා යනු රූප වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයයි. මේ පසම කර්ම න්‍යායට අනුව එකට ඇතිවී ක්‍රියාත්මක වී එකට ම නැති වී යයි. එය අන්‍යොන්‍ය ප්‍රතිබද්ධ ව ක්‍රියාත්මක වන නිසා ප්‍රධාන වශයෙන් දුක් වේදනා ද, සැප වේදනා ද ජනිත වේ.

අප බුදුරජාණන් වහන්සේ මෙම පංචස්කන්ධයේ පැවැත්මට හේතු වන කුසලාකුසල සංස්කාර තමන් වහන්සේ සම්පූර්ණයෙන් නැති කළ වග විසංඛාර ගතං චිත්තං තණ්හාණං ඛය මජ්ඣගා’ යන ගාථා ධර්මයෙන් ලොවට හෙළි කළ සේක. අවිද්‍යාවෙන් පව් කිරීමත් තණ්හාවෙන් පින් කිරීමත් සංසාර පැවැත්මට හේතුපකාර වන බව පටිච්චසමුප්පාද ධර්මයෙහි විස්තර වේ. මේ නිසා කර්ම රැස් කිරීම් සංඛ්‍යාත සංඛාර සම්පූර්ණයෙන් නැති කළ යුතු වන්නේ ය. නිර්වාණ මාර්ගයේ දැක්වෙන ත්‍රිවිධ ශික්ෂාවට අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සප්ත විශුද්ධි හා නව මහා විදර්ශනා ඤාණ වශයෙන් වැඩීම සංස්කාර ධර්ම නැති කිරීම සඳහා කළ යුතු අතර, ක්‍රමයෙන් සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන මුලින් ම සිඳ බිඳ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අවබෝධ කර ගැනීමෙන් නිවන් සුවයෙන් සැනසීමට හැකි ය.

කෙනකුගේ සියලු ගුණාංග පෝෂණය වන්නේ සීලය ද පදනම් කර ගෙන ය. එය ආධාරයකි. තෝතැන්නකි. ගිහි පැවිදි සෑම දෙනාගේ ම නිරවද්‍ය ජීවන පැවැත්මට ආර්ය මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ත්‍රිවිධංග ක්‍රියාත්මක වශයෙන් ජීවිතයට සම්බන්ධ වන්නේ ශීල විශුද්ධියෙනි. ‘පංචශීලයේ පටන් උපසපන් ශීලය දක්වා අප්‍රමාද ව සමාදන් වීම, ආරක්ෂා කිරිම, පිළිපැදීම, සමාධියට උපකාරී කර ගැනීම, නොකඩවා ශික්ෂණය, ලෝභාදී කෙලෙස්වලින් සන්තානය පවිත්‍ර කර ගැනීම ශීල විශුද්ධි නම් වේ.

චිත්තේකග්ගතා සමාධි ආදී නයින් දක්වා ඇති පරිදි සමථ විදර්ශනා භාවනාවෙන් හිත එක්තැන් කර ගැනීම සමාධිය යි. එකී සමාධියෙන් ලෝභාදී කිළිටි ධර්ම සන්තානය තුළින් විෂ්කම්භන වශයෙන් පිරිසුදු කිරීම චිත්ත විශුද්ධිය යි. සමසතළිස් කර්මස්ථානයක් ලබා ගෙන සමථ භාවන කොට ප්‍රථම ධ්‍යානාදී ආධ්‍යාත්මික චිත්ත ශක්තීන් ඇති කර ගෙන කෙලෙස් යටපත් කළ හැකි ය. ඒ චිත්ත විශුද්ධිය බලසම්පන්න ව සන්තානය යම් ප්‍රමාණයකින් පවිත්‍ර කිරීමට මතු මත්තෙහි දිට්ඨි විශුද්ධි ආදී ප්‍රඥාවන්ට ද උපකාරී වන බැවින් චිත්ත විශුද්ධි නම් වන්නේ ය.

නාමරූප ධර්මයන් වෙන්කොට නාම ධර්මයන් අන්තර්ගත වී ඇති ආත්මය පිළිබඳ දෙසැට මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් සිත පිරිසුදු කරන බැවින් දිට්ඨි ශුද්ධිය නම් වේ. යම් පුද්ගලයෙක් ඉතා නපුරු සර්පයකු දැක ලුහුබැඳ යන විට සර්පයාගේ වාසස්ථානය දකින්නා සේ නිර්වාණ ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා නුවණින් නාම ධර්ම ස්කන්ධ, ආයතන ධාතු වශයෙන් අටසැටක් මනෝ විඤ්ඤාණ ධාතු වශයෙන් ද ඒකාසූසිත් අනුව වේදනා හා සඤ්ඤා වශයෙන් ද විවිධාකාරයෙන් බලන විට ශාස්වත උච්ඡේදාදී දෙසැටක් දෘෂ්ටි පිළිබඳ මෝහය චිත්ත සන්තානයෙන් බැහැර වන නිසා දිට්ඨි විශුද්ධි නම් වේ. එය ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨියට ඇතුළත් වේ.

නාම රූපයන්ගෙන් ම ප්‍රත්‍ය හේතු නිධාන උපකාරක ධර්ම ප්‍රත්‍යක්ෂ පරිඤ්ඤානයෙන් සන්තානය පිරිසිදු වීම කංඛා විතරණ විශුද්ධි නම් වන්නේ ය. වෛද්‍ය විශේෂඥයකු ලෙඩකු පරීක්ෂා කොට රෝගයක්, රෝග නිධානයක් සොයා ගන්නා සේ නිර්වානගාමී ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා නාම රූපවල යථා ස්වභාවයත්, ඇතිවීමේ හේතුවත් දැනගන්නේ ය.

අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම යන හේතුන්ගෙන් උපදින ආහාර උපස්ථම්භක යන ප්‍රත්‍යයන්ගෙන් පෝෂණය වන සිය දහස් ගණන් රූප කලාප නිසා ශරීරය පවතින වග මෙම ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වේ.

‘චක්ඛංච පටිච්ච රූපේච උප්පච්ඡති චක්ඛු විඤ්ඤාණං’ යනුවෙන් දක්වා ඇති පරිදි චක්ෂු ප්‍රසාදයත්, රූපාලම්භනයත් නිසා චක්ඛු විඥානය උපදී. එකී ත්‍රිවිධ ධර්මයන්ගේ සමවායෙන්, ස්පර්ශයත්, මතුවට වේදනාව, තණ්හාව ආදී නාම ධර්මත් ඇති වේ.

මෙසේ නාමරූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය අතීත වර්තමාන හා අනාගත වශයෙන් නිරීක්ෂණය කරන විට නිර්මාණවාදය, උච්ඡේදවාදය වැනි වැරැදි සංකල්පනා පහව යන්නේ ය. මම අතීතයෙහි සිටියෙන් ද, නොසිටියෙන් ද ආදී නයින් නාමරූපයන් නිරීක්ෂණයෙන් තම ආත්මය කොට ගත් දෘෂ්ටිය ප්‍රහාන විචිකිච්ඡාවෙන් මිදී සොළසාකාර තීරණය බැහැර කොට මතු නිරෝග සත්‍යයට මාර්ගය පෙන්වන්නේ කංකාවිතරණ විශුද්ධියෙනි. ඤාතපරිඤ, තීරණ පරිඤ, පාහාන පරිඤ යන ත්‍රිවිධ පරිඤාවෙන් නාමරූප ධර්මයන්ගෙන් ස්වලක්ෂණය හඳුනා ගැනීම අනිත්‍යාදි වශයෙන් යථා ස්වභාවය දැන ගැනීම හා නිත්‍ය සුඛ, ආත්ම, සංඥා දුරු කිරීමේ පරිඥානය මෙකී ඤාණ ක්‍රමයෙන් දියුණු කොට නිර්වාණගාමී මඟ නොමඟ දැනීමේ ආර්ය ඥානය මග්ග මග්ග ඤාණ දස්සන විශුද්ධිය නම් වන්නේ ය. දිට්ඨි විශුද්ධිය නිසා දුක්ඛ සත්‍යය ද, කංඛා විතරණ විශුද්ධියෙන් සමුදය සත්‍යය ද මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධියෙන් මාර්ග සත්‍යය ද අවබෝධ කෙරේ.

ආර්ය ඤාණ අතරින් මෙතෙක් ඇති වූ අවබෝධයට වඩා තහවුරු වූ එමෙන් ම ඒකාන්තයෙන් නිවන් මඟ තීරණය කරන්නේ පටිපදා ඤාණදස්සන විශුද්ධියෙනි. මෙම ඤාණ පිළිවෙළින් නිපදවා ගත යුතු බැවින් අනුපූර්ව ඤාන වශයෙන් ද පිළිපැදීමෙන් ලබාගත යුතු බැවින් පටිපදා ඤාණ වශයෙන් ද ධර්මානුකූල ව අර්ථාන්විත වේ. එමෙන්ම හේතු ඵල වශයෙන් ද එකිනෙකට සංයුක්ත වේ. උදයබ්බය ඤාණය , ආදීනවානුදර්ශන ඤාණය, නිබ්බිදානු දර්ශන ඤාණය, මුංචිතු කම්‍යතා ඤාණය, ප්‍රතිසංඛානු දර්ශන ඤාණය, සංකාර උපේක්ෂා ඤාණය, සත්‍යානුලෝමික ඤාණය යන නවමහ විදර්ශනා ඤාණ විදර්ශනා චිත්ත වීථියේ පහළ වන්නේ නිරෝධාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීමට ය. සෝවාන් ආදී මාර්ග ආවර්ජනා කරන ස්ථානයේ පහළ වන ඤාණ දර්ශන විශුද්ධියෙන් සෝවාන් මාර්ග හා ඵල චිත්තය පහළ වේ. සතර මාර්ග හා ඵල චිත්තවිවර්ථ ඇති වන්නේ එම ඤාණ දර්ශන විශුද්ධියෙනි. මාර්ග පිළිවෙළින් සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන ප්‍රහීණ කොට පරම ශාන්ත වූ නිවන පසක් කර ගැනීමේ වාසනාව උදාවේ.

තෙවැදෑරුම් හා දොළොස් අයුරකින්

අවබෝධ කළ යුතු සිවුසස් දහම

යතෝච ඛෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවං තිපරිවට්ටා ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි, අථහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේච මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං, ඤාණංච පනමේ දස්සනං උදපාදී අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝති.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදු බව ලබා අනුක්‍රමයෙන් සත්සති යවා අටවන සතියේ අජපාල නුගරුක මුල දී බ්‍රහ්මාරාධනාවේ ප්‍රථම ධර්ම දේශනාව කවුරුන් උදෙසා දෙසන්නෙමි දැයි බලා වරදාරණ සේක. තවුස් දම් පිළිබඳ ප්‍රථමයෙන් ගුරු වූ අලාරකාලාම මිය ගොස් අරූප තලයෙහි උපන් බව දැන යළි දුෂ්කර ක්‍රියා කරන සමයෙහි අතිශයෝපකාරී වූ පස්වග තවුසන් හට දහම් දෙසීමට බරණැස ඉසිපතනාරාමය බලා වැඩි සේක.

දුරදීම හුදකලාව වඩින බුදුරදුන් දුටු පස්වග තවුසෝ හුදෙක් තමන් සමඟ උරුවේලාවේ දී තවුස් දම් පිරූ සිද්ධාර්ථ ගෞතම තාපසයන් යන හැඟීමෙන් කිසිම ගරුසාර බවක් දැක්වීමට පසුබට වුවත් තමන් සමීපයට බුදුන් වහන්සේ වඩිත්ම මුලින් තීරණය කර ගත් කථිකාවන් සිටින නොහී බුදුරදුන් සිරිපතුල් වැදීමාදී වතාවත් සිදු කළහ. එසේ වුව ද බුදු බව නොදත් පස්වග තවුසෝ බුදුරදුන්ට ‘ආවුසෝ’ වාදයෙන් සතුටු සාමීචි ව කතා කරන බැවින් “මහණෙනි ලොව්තුරා බුදු කෙනකුට ආවුසෝ වාදයෙන් ඇමතීම ආයෝග්‍ය වන්නේ ය. බෝ මැඬ දී පස්මරුන් පරදවා ලොව්තුරා බුදු බව ලබා ගත් මම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළෙමි. අද රාත්‍රී දම්සක් දෙසුම් අසවයි වදාළ සේක.

අප බුදුරජාණන් වහන්සේ ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දින පුන් සඳින් අහස් තලය බබළද්දී ඉසිපතන වන උයන් තුරුලිය සඳ රැසින් නැහැවෙද්දී පස්වග තවුසන් ඇතුළු දසදහසක් සක්වළ දෙවියන් බ්‍රහ්මයන් දෙසවන් යොමා අමන්දානන්දයෙන් ඉපිලයද්දී ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේ විතබ්බා යනාදි වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් දහම් අමා ජලයෙන් සත්ත්වයන්ගේ රාගාදී කෙලෙස් ගිනි නිවමින් නිවන් පුරයට දොර විවර කරන්නට වූ සේක.

බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රථම ධර්ම දේශනාවෙන් බුදු කෙනෙකුන් ලොව පහළ වීමේ උතුම් පරමාර්ථය ප්‍රකට වෙයි. විශේෂයෙන් එකී දේශනාවේ ප්‍රධාන කරුණු හයක් දක්නට පුළුවන.

අන්ත දෙක, මධ්‍යම ප්‍රතිපදාව, චතුරාර්ය සත්‍යය, තිපරිවට්ට ද්වාදසාකාර ඤාණය යන දහම් කරුණු ද, ප්‍රථමයෙන් ශ්‍රාවකයකු ඒ ධර්මය අවබෝධ කිරීම හා ඒ උතුම් ධර්මය ඇසීමෙන් අකනිටා බඹලොව දක්වා දෙවියන් බඹුන් සාධුකාර දීමෙන් ධර්මයට අනුගත වීම ද එහිදී දක්නට ලැබිණි.

අන්ත දෙක - සසර දුකින් මිදීමට පැවිදි වන්නවුන් විසින් අත්හළ යුතු අන්ත දෙක මේ සූත්‍රය ආරම්භයේ දී ම දක්නට පුළුවන.

ළාමක වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන්, අනාර්ය, අනර්ථකාරී වූ කාමසුඛල්ලිකානුයෝගය, නම් වූ පසිඳුරන් පිනවීමේ අන්තයට යෑම ද දුක් වූ අනාර්ය වූ, අනර්ථ කර වූ අත්තකිලමථානුයෝගය නම් වූ ශරීරයට දුක් දීමේ අන්තය ද යන අන්ත දෙක, පැවිද්දා විසින් අත්හළ යුතු වෙයි.

උපන්දා පටන් සත්ත්වයකුගේ ප්‍රධාන අපේක්ෂාව කෙසේ හෝ තමා වශයෙන් ආත්ම දෘෂ්ටියෙන් ගෝචර කර ගන්නා රූපාදී පංචාරම්මණයන්ගෙන් ඇස්, කන්, නාසාදී ඉඳුරන් පිනවීමයි.

කාමසුඛල්ලිකානුයෝග අන්තයෙන් පුද්ගලයාට මෙන්ම සමාජයට ද, අනර්ථයක් ම වන්නේ ය. ඉන්ද්‍රියන් තමා සතු වුව ද රූපාදී අරමුණු ගත යුත්තේ බාහිර ලෝකයෙන් බැවින් අන්තගාමී සුඛ විහරණයේ දී පොදු සමාජ අයිතියක් බලෙන් සතු කර ගැනීමට යෑම නිසා විශාල සමාජ පීඩනයක් ඇති වන අතර, අප බුදුරදුන් මහා නිදාන සූත්‍රයන් පෙන්වා වදාළ පරිදි තණ්හාව නිසා ක්‍රමයෙන් කෝලාහල දුක් දොම්නස් පාප කර්ම සිදු වේ.

කාම තණ්හාවේ ආදීනව දැනගෙන කාමසුඛල්ලිකානුයෝගාන්තය අත්හළ යුතු ය. සසර උපදින මැරෙන ගණන අනන්ත වන සේ ම එකී ආත්මයන්ගේ කාම තණ්හාවේද සීමාවක් නොමැත. කාමසුඛල්ලිකානුයෝග අන්තයේ ආදීනව

තමාගේ ජීවිතය අනාරක්ෂිත වීම, දුක් දොම්නස් සුලබ වීම, සසර දිගු වීම, නීතිරීති උල්ලංඝනය වීමෙන් රාජ දඬුවම් ලැබීම, පින් පව් අමතක වීම, මිථ්‍යාදෘෂ්ටි අදහස් ඇතිවීම අත්තකිලමථානුයෝගය නම් විමුක්තිය ලබා ගැනීම සඳහා දැඩි දුෂ්කර ප්‍රතිපත්තිවල නිරත වීමයි.