මානව උත්සව ඉතිහාසය හා
බුදු දහමින් පෝෂණය වූ
ශිෂ්ට සම්පන්න බව
උත්සව පැවැත්වීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. එහි ඉතිහාසය මානව සංහතියේ ආරම්භය තෙක්
දුරාන්තයට ගමන් කරයි. ප්‍රාථමික මනුෂ්‍යයන් දඩයමකින් පැවැත් වූ සාමූහික භෝජනයකින්
උත්සව පැවැත්වීමේ සිරිත ආරම්භ වන්නට ඇතැයි මානව විද්‍යාඥයෝ උපකල්පනය කරති.
ඍග් වේදයේ දසවන මණ්ඩලයට අයත් වාත සුත්තයේ සඳහන් “සමනං” යන වචනයේ ද්විතීයික අර්ථය
“උත්සව“ යනුවෙන් අර්ථ දක්වන හෙයින් “උත්සව“ යන ව්‍යවහාරය ඉපැරැණි ය. ඍග්වේද පාඨයේ
පරිසරය අනුව උත්සව යන ශබ්දයේ අර්ථය “සමාජය” හෙවත් “එක්රැස්වීම යි.” එහි පරිණාමීය
සාධක එසේ වුවත් උත්සවශ්‍රීයේ ක්‍රියාකාරී අවස්ථා හෙළි වෙන්නේ පාලි සාහිත්‍යයෙනි. ඊට
කදිම නිදසුනක් වශයෙන් මගධ රටේ රජගහනුවර වාර්ෂික ව පැවැත්වූ “ගිරග්ග සමජ්ජය” පෙන්වා
දිය හැකි ය. ගිරග්ග සමජ්ජය යන පාලි වචනය විමසීමේ දී එළඹිය හැකි නිගමනය වන්නේ මුදුනක
හෝ කඳු පාමුලක නැටුම්, ගැයුම්, මල්ලව පොර, සරඹ, භෝජන, නාට්‍ය, නාටක, ඉන්ද්‍රජාලා,
බිලිපූජා, සල්පිලි, මධුපාන, රති ක්‍රීඩා ආදී අංගෝපාංගයන්ගෙන් සමලංකෘත ව පවත්වනු ලබන
මහා සංදර්ශනයක් නොහොත් සැණකෙළියක් බවයි.
වසරක් පාසා දින ගණනාවක් පැවැත්වෙන මෙම උත්සවය සඳහා ධනවත් ප්‍රභූවරුන්, තරුණ
තරුණියන් සහභාගී ව කම්සුව විඳිමින් පී‍්‍රති ඝෝෂා පවත්වමින් විනෝදාස්වාදයෙන් ගතකොට
ඇත. වරක් බ්‍රාහ්මණවංශික ධනවත් නව යොවුන් වියේ පසුවූ උපතිස්ස කෝලිත දෙදෙනා මෙම
උත්සවය නැරඹීමට ගොස් කලකිරීමට පත්ව පැවිදි වූහ. පසුව සම්බුදු සසුනේ අගතනතුරු ලබමින්
සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ යනුවෙන් ප්‍රකට වූවෝ උපතිස්ස කෝලිත
දෙදෙනා ය.
ලක්දිව ඉතිහාසය විපරම් කිරීමේ දී මුල්ම උත්සවය හැටියට මහා වංශයේ 7 වන පරිච්ඡේදයේ
සඳහන් වන්නේ ලංකාපුර යක්ෂයන්ගේ විවාහ මංගල උලෙළකි. එහිදී තූර්යවාදන ගීත ආදිය පැවැත්
වූ බවත් සඳහන් ය. ඉන් අනතුරුව පණ්ඩුකාභය යුගයේ පැවැති උත්සවයක් ගැන එහි දස වන
පරිච්ඡේදයේ අන්තර්ගතය යි.
ක්‍රි.පූ. 377 දී පමණ පණ්ඩුකාභය රජු විසින් කළ යුද්ධවලින් පසු රාජාභිෂේක කිරීමේ
උත්සවය හෙවත් උලෙළ සඳහන් වන්නේ මෙසේ ය. එනම් පිහිටි විලකින් ජලය ගෙන ඡත්‍රය දොවා ඒ
විලේ ජලයෙන් ම අභිෂේක කළ බවයි. බුදු සමය අප රටට ගෙන ඒමට පෙර පැවැති විවිධ සැණකෙළි
පිළිබඳ තොරතුරු අටුවා දීපවංශය, මහාවංශය ආදී ග්‍රන්ථවලින් හෙළි වේ. කෙසේ වුවත්
උත්සවයන්හි ප්‍රභවය හා විකාශය පිළිබඳ විධිමත් විවරණයක් කෙටියෙන් දැක්වීම අපහසු ය.
එම නිසා ජන ජීවිතය හා සම්බන්ධ උත්සවයන්ගේ ආගමික මුහුණුවර සාමාජික ජීවිතයේ
අභිවෘද්ධිය පිණිස ඉවහල් වන ආකාරය විමසා බැලීම මෙහිදී වැදගත් වේ. සැණකෙළිවලින්
මිනිස් සිත සොයන්නේ විනෝදාස්වාදය යි. එහෙත් ප්‍රාග් බෞද්ධ යුගයේ දී මිනිස්සු ස්වකීය
තෘප්තිය පිණිස හිංසන ක්‍රියාවන්හි නිරත වූහ. බුදුසමය උදාවත්ම භෞතික මෙන්ම
ආධ්‍යාත්මික ජීවිතයේ පෝෂණය පිණිස උත්සවයන්ගේ ස්වරූපය වෙනස් වන්නට විය. දුරාචාරය
වෙනුවට සදාචාරයත්, හිංසාව වෙනුවට දයානුකම්පාව, මෛත්‍රිය පදනම් වූ අර්ථපූර්ණ
පුදසත්කාර විධි හෙවත් උත්සව සංවිධානය වන්නට විය. විශේෂයෙන් ලක්දිවට එදා මිහිඳු
මහරහතන් වහන්සේ වඩින විට තිස්ස රජතුමා පිරිවර සමග දඬ කෙළියේ යමින් සිටියේ ය.
පොසොන් මාසයේ ජල ක්‍රීඩා හා දඩ කෙළිය උත්සවාකාරයෙන් එදා හෙළදිව වාර්ෂික ව සිදු විය.
බුදුදහම පැතිරීම නිසා එවැනි ක්‍රියා වෙනුවට මිනිස් සිත්සතන්, මිනිස් ගතියත් සනසන,
උත්සව පුද සිරිත් ක්‍රමයෙන් සුපතළ විය. ඒ අනුව ධර්ම දේශනා, අරියවංස, වෙසක්,
ගිරිභණ්ඩ, ගංගාරෝහණ පූජා, පිරිත් ආදී වශයෙන් ආගමික උත්සව බිහි විය. අවුරුදු සිරිත්
විරිත්, විවාහ මංගල උත්සව, ඥාති සංග්‍රහය ආදී වශයෙන් ජාතික වශයෙනුත්, සාමාජික
වශයෙනුත් උත්සව බෞද්ධ මුහුණුවරක් ගත්තේ ය.
නිසරු දේ සරු ය, සරු දේ නිසරු ය යන වැරැදි අදහස්වලට ගොදුරු වූවෝ සරු දෙයක් නොලබන්නේ
යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
පි‍්‍රය සම්භාෂණ, උත්සව පවත්වමින්, කම්සැප විඳිමින් ඉතා සතුටින් ජීවත්වීමට
බුදුදහමින් කිසිදු අවහිරයක් නැත. ඒ අයුරින් ජීවත්වීමට අවශ්‍ය දහම් කරුණු බුදුරජාණන්
වහන්සේ වදාළ සේක. මෙලොව නිවැරැදි සේ, සැපවත් සේ ජීවත් වූ තරමටයි පරලොව සැප ලැබිය
හැක්කේ. එසේ නොමැති ව මෙලොව පලදී මතු සැප විඳිය නොහැකි ය. ඉතා මහන්සියෙන් දැහැමි සේ
ධනය, වස්තුව, උපයා සපයාගත යුත්තේ ය. එසේ මහන්සියෙන් ඉපැයූ දේ නිසි කළමනාකාරීත්වයක්
නැති ව අනිසි ලෙස විනාශ කරනවා නම්, එය අකුසලයකි. පවකි.
තඤ්ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනෝ
විපාකං පටිසේවතී
සිහිවන සැම විට සතුටට හේතුවන සැපයට හේතුවන, දියුණුවට හේතුවන, ඉතා යහපත් දෙයක් ම කළ
යුතුයි.
බුදු දහමින් පෝෂණය වූ අපේ පැරැන්නන් තුළ පැවැති ශිෂ්ට සම්පන්න බව 1870 දී
අනුරාධපුරයේ ආණ්ඩුවේ ඒජන්ත ධුරය ඉසිලූ ලෂිංටන් මහතාගේ වාර්තාවක මෙසේ සඳහන් කර ඇත.
“දිවයිනේ හැම පළාත්වල සිටම සිද්ධස්ථාන වැඳීම සඳහා අවුරුදු පතා අනුරාධපුරයට මහජනයා
රැස්වෙයි. විසිදහසක් දෙනා මෙහි රැස්ව දවස් කිහිපයක් සිට විසිරී යන බව සිතමි.”
“මේ වන්දනාකාරයන්ට ලැගුම් ගැනීමට ගෙවල් නැත. ඔවුහු අප අවට ඇත්තාවූ උයන්බිම් වැනි
පිට්ටනිවල මහගස් සෙවනේ එළිමහනේ දවස් යවති. ඉතින් ගස් මුල් ඉදි වූ විට පසුව එන්නෝ
ආණ්ඩුවේ ගොඩනැඟිලිවල ආලින්දවල නවාතැන් ගනිති.”
“ඉතින් මේ වන්දනාකාරයන්ගේ හැසිරීම කොතරම් ශාන්ත දාන්ත ද කීවොත් ඔවුන් ආණ්ඩුවේ
ගොඩනැඟිලිවලින් බැහැර කරන්නට සිතන කෙනෙක් නැත.”
“උප ඒජන්තගේ නිවසේ සිට හැතැප්මකින් අටෙන් එකක් පමණ දුරින් කච්චේරිය පිහිටා තිබේ.
මෑතක් දක්වා ම ආණ්ඩුවේ මුදල් පෙට්ටිය ලාංකේය මුරකරුවන් තුන්දෙනෙක් භාරයේ මේ
කච්චේරියේ තිබුණේ ය. මිනිසුන් හයදෙනකුට එය රැගෙන යා හැකි ය.
අසල මහ කැලෑවට වැදුණු පසු ඔවුන් අල්ලා ගන්නටත් බැරිය. එහෙත් මුදල් පෙට්ටිය හොරකම්
කරගෙන යාවිය කියා කිසිවෙක් නොසිතුවේ ය. අවුරුදු පතා විසිදහසක් වන්දනාකාරයෝ ලක්දිව
හැමතැන සිටම ඇවිත් පෙරළා යති. ඔවුන් හික්මවීමට මෙහි එකම පොලිස් භටයෙක් වත් නැත.
ඉතින් දිස්ත්‍රික්කයේ නඩුකාරයා වශයෙන් මේ වන්දනාකාරයන් ගැන මට කියන්නට තිබෙන්නේ
හොඳක් ම ය. මීට වඩා ශාන්තදාන්ත වූ ද මීට වඩා ශිෂ්ට වූ ද මීට වඩා විනීත වූ ද පිරිසක්
මුළු ලෝකයේ ම නැත. සණ්ඩුවක් දබරයක් අසන්නට කවදාවත් නොලැබුණේ ය.”
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
- හේමමාලා රන්දුනු |