Print this Article


ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරි කට්ටලය

ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරි කට්ටලය

දියවඩන නිලමේතුමා

එදා රජමාළිගයත්, ශ්‍රී දළදා මාලිගාවත් දෙකක් ලෙස නොව එකක් ලෙස ම සැලකිණ. එකම ගොඩනැඟිලි සංකීර්ණයක් සේ පිහිටියේ ය. එලෙස ම රාජකාරි නිලයන් හඳුන්වා දීම ද එක හා සමාන වූ බව පෙනේ.

පල්ලේමාලේ රාළ

පල්ලේමාලේ තේවා කටයුතුවලට, එහි තේවාභාර ස්වාමීන් වහන්සේට සහාය වන මොහු යතුරු පයිණ්ඩ කරන විට සඳගල අසල දී පල්ලේමාලයේ යතුරු භාරගෙන එතැන්සිට පල්ලේමාලය දක්වා යතුරු පයිණ්ඩ කරයි. පල්ලේමාලයේ බුද්ධ පූජා පැවැත්වීම සඳහා හේමකද පයිංඩ කිරීම, දානපාත්‍ර සූදානම් කොට තේවාභාර ස්වාමීන් වහන්සේට භාරදීම පල්ලේමාලේ විහාර ගෙය සහ කත්තියන බරාඳය පිරිසුදු ව තබා ගැනීම යන කටයුතු මොහුට භාර ය.

දොරකඩ ආරච්චි

වැඩසිටින මාලිගාවේ දොරවල් මුරකිරීම භාරව සිටින මොහු පාතමාලයේ රිදී දොර ළඟ සිට අරමුදලේ ඇති වටිනා භාණ්ඩ ආරක්ෂා කරන අතර උඩමාලයට වන්දනාව පිණිස යන අය ගැන විමසිල්ලෙන් සොයා බලා යැවීම ද ඉටුකරයි. දොරවල් මුරකිරීමට අමතරව දොරවල් වසා තිබෙන අවස්ථාවල දී අවට මිදුල හා මණ්ඩපය ද, දවසට දෙවරක් පිරිසුදු කිරීම ද මොහුට භාර ය.

මුළුතැන් රාළලා දෙදෙනා

අලුයම මුළුතැන, දහවල් මුළුතැන හා සවස ගිලන්පස සූදානම් කොට පිළියෙල කරදීම මොවුන්ට අයත් ප්‍රධාන කටයුත්තයි. එසේම මුළුතැන් උයමනට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය කලට වේලාවට කාරියකරවන කෝරළ මඟින් ලබාගත යුතු ය. දිනපතා බුද්ධ පූජාවට අවශ්‍ය කැවිලි සාදා ගැනීම ද සිදු කළ යුතු වේ.

නැකත් මොහොට්ටාල

මංගල්‍යයන් දිනවල හා පෙරහර දින සඳහා සුබ නැකත් කල්වේලා ඇති ව යොදාගෙන වට්ටෝරුවල ලියා භාරදීම මොහුගෙන් ඉටුවිය. මීට අමතර ව අවශ්‍ය වෙනත් නැකත් සදාදීම ද කළ යුතු වේ. මේ සඳහා මොහුට වාර්ෂිකව වී බුසල් 24ක් වෙන්කර තිබිණ.

උඩමාලේ මොහොට්ටාල (ලේකම්)

ශ්‍රී දළදා මාලිගාවේ වට්ටෝරු පොත් නඩත්තුව මොහුට භාර ය. තේවා මාරුවීම්වල දී භාණ්ඩ ලේඛන කියවීම මෙම ලේකම්වරයාට පැවරී ඇති වැදගත් කාරියකි. මීට අමතරව අලුත් සහල් වට්ටෝරුව කියවීම ද මොහුට භාරව ඇත්තේ ය. ශ්‍රී දළදා මාලිගාවේ මොහොට්ටාල තනතුරු කිහිපයක් තිබුණ බව පෙනේ.

මහනුවර රාජ්‍යයේ නිල නාමයන් හා ශ්‍රී දළදා මාලිගාවේ නිල නාමයන් ගැන විමසා බලන විට ඒ බව මනාව පසක් වේ. අද ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරුවා පමණක් නොව එහි කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ද දියවඩන නිලමේතුමා ය. පැරැණි රජවාසලෙහි දියවඩන නිලමේ තනතුරු කිහිපයක් විය. වර්තමානයෙහි දියවඩන නිලමේතුමා විසින් පත්කරනු ලබන නිලපංගු කට්ටල දෙකකි. ඉන් එකක් ඇතුළු කට්ටලය හා පිට කට්ටලය වශයෙනි. වැඩසිටින මාලිගාවේ නිල කාර්යයන්හි නියුක්ත සේවක පිරිස ඇතුළු කට්ටලය වශයෙන් සැලකේ. ඔවුන් තෝරා ගැනෙනුයේ ගොවි කුලයෙනි. බොහෝ විට මෙම නිලකරුවන් පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නන් ය. සෙසු නිලයන්ගේ ප්‍රධානියා කාරිය කරවන කෝරාළ ය.

කාරියකරවන කෝරාළ

දියවඩන නිලමේතුමා ළඟට සිටින ඉහළ නිලධාරියා කාරියකරවන කෝරාළ ය. ඔහු කාරියකෝරාළ වශයෙන් ද හඳුන්වයි. ඇතුල් කට්ටලයේ හා පිට කට්ටලයේ අනිකුත් මුලාදෑනීන් ලවා කාරිය කරවීම ඔහු සතු වගකීමකි. මුළුතැන් බෑවීම ආදිය නිසි ආකාරයට ඉෂ්ට සිද්ධ කිරීම ඔහු සතු වැදගත් ම කාර්යයි. ශ්‍රී දළදා මාලිගාවට ඕනෑ කරන සියලු ම දේ සපයා දීමත්, ගබඩාවල හා තේවාවේ බඩුබාහිරාදිය පරිස්සම් කරවීමත්, පෙරහර මංගල්‍යයට අදාළ ගම්වලින් නිල කාරයන් ගෙන්වා ගෙන ඔවුන්ගේ සේවය සිරිත් පරිදි ඉටුකරවා ගැනීමත්, මාස්පතා මුරට යෙදවීමත් මොහුට අයත් රාජකාරි සමහරකි.

වට්ටෝරු රාළ

වට්ටෝරු රාළ ගන්ධකුටියේ තේවාවට ගන්නා වටිනා රන් භාණ්ඩ ඇතුළු උපකරණවල සුරක්ෂිත භාවය රැක ගැනීමටත්, ගන්ධ කුටිය පවිත්‍ර ව තබා ගැනීමටත්, තේවාකරන අවස්ථාවල දී තේවාභාර හිමිවරුනට සහාය වීමටත් වගකීමෙන් බැඳී සිටින්නෙකි. මොහුගේ වැදගත්ම කාර්යය වන්නේ නියමිත තේවා වේලාවන්හි දී තේවාභාර නායක ස්වාමීන් වහන්සේ භාරයේ තිබෙන වැඩසිටින මාලිගාවේ හා පල්ලේ මාලයේ යතුරු උරහිස මත තබාගෙන පයිණ්ඩ කිරීම හා තේවා අවසන් වූ පසු සියලු දොරවල් නිසි ලෙස වැසීමට සහාය වී ආපසු පයිණ්ඩ කිරීම ය.

ගෙපරාළ

ගෙපරාළ ගෙපලූම් බරාඳය හා හඳුන්කුඩම භාරව සිටී. වැඩ සිටින මාලිගාවේ හඳුන්කුඩමේ හා ගෙපලූම් බරාඳවල පිරිසුදුභාවය රැක ගැනීම හා බොලපැන පයිණ්ඩ කිරීම සිදුවන්නේ ද මොහු අතිනි. ගෙපරාළ වූ කලි වට්ටෝරුරාළගේ සහකරුවා බඳු ය. ඔහුට ගන්ධකුටියට ඇතුළුවීමට නොහැකි ය. කත්තියන බරාඳයේ දී බුද්ධ පූජාව පාත්‍රවලට බෙදූ පසු පූජා පිණිස භාරදීම ද ඔහුගෙන් ඉටුවේ. කවිකාර මඩුවේ භාණ්ඩ ගැන වගකීම ද මොහු සතු ය. තුන් මස ඉක්මවූ ළදරුවන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජා කිරීම ද මොහු අතින් සිදුවේ. පූජාවන් සඳහා ගන්ධ කුටියට පිවිසෙන බැතිමතුන් හැසිරවීම ද ඔහු සතු කාර්යයකි.

කත්තියන රාළ

මුළුතැන්ගේ පිළියෙල කරනු ලැබූ දානය පාත්‍රවල තැන්පත් කර ගෙන හේම කදෙහි තබා උඩමාලයේ කත්තියන බරාදයට පයිණ්ඩ කරන්නේ මොහු විසිනි. දානයට පූජා කරන භාණ්ඩ පිරිසුදු කිරීම, ඒවා යුතු පරිදි තැන්පත් කිරීම ආදී කටයුතු සඳහා කත්තියන රාළලා දෙදෙනකු සේවයේ යොදවා සිටිති. තේවා අවසන් වී දොර වැසූ පසු හේවිසිකරුවන්ගෙන් මුර ඇසීම ද මොහුට අයත් කටයුත්තකි. වැඩසිටින මාලිගාවේ දොර විවෘත කළ බව, බුද්ධ පූජාව ආරම්භ කළ බව, බුද්ධ පූජාව අවසන් වූ බව හා වැඩිසිටින මාලිගාවේ දොර වැසූ බව සතර දේවාලයට දැන ගැනීම සඳහා ඝණ්ටාරය (ගෙඩිය) නියමිත වේලාවන්හිදී නාද කිරීම ද මොහුට අයත් රාජකාරියකි.

හක්ගෙඩිරාළ (හක්ගෙඩි අප්පු)

තේවාවේ දී ඒ ඒ පූජා අවස්ථාවන් හි දී ද නානුමුර මංගල්‍යය, පෙරහර මංගල්‍යය, කරඬුව වැඩම වීම යන විශේෂ අවස්ථාවන්හි දී ද නිසි වේලාවට හක්ගෙඩිය පූගෑම මොහුට භාර ය. අවශ්‍ය වූ විට තේවාවේ ආහාර පාත්‍රා උඩමාලයට ගෙනගොස් කත්තියන රාළට භාරදීම, තේවාව අවසන් වූ පසු මුළුතැන්ගෙයි භාජන ආදිය නැවත මුළුතැන්ගෙට ගෙනගොස් භාරදීම, උඩමාලයේ පරමල් ඉවත් කළවිට ඒවා ගෙනයෑම, වට බරාඳ පිරිසුදු ව තබා ගැනීමට සහාය වීම, දුම්මල කබල ගෙනයෑම හා දුම්මල ඇල්ලීමට උඩමාලයට අඟුරු ගෙනගොස් දීම යන කටයුතු ද මොහු විසින් ඉටු කළ යුතු වේ.

සඳුන් කපුරාළ

සඳුන් ගලගා සූදානම් කර දීම මොහුට භාර ය.

ආලත්ති අම්මාවරු

ශ්‍රී දළදා මාලිගාවේ ඇතුළු කට්ටලයේ නිලධාරීන් අතර සිටින එකම කාන්තා නිලධාරිනියන් වන්නේ ආලත්ති අම්මාවරු දෙදෙනා පමණි. නානුමුර මංගල්‍යය දිනයන්හිදී හා පසළොස්වක පොහොය දිනයන්හිදීත්, පෙරහර මංගල්‍යය දිනවලදීත් ශ්‍රී දළදා ප්‍රදර්ශන හා වෙනත් විශේෂ උත්සව අවස්ථාවලදීත් ආලත්තිබෑම ඔවුන්ගේ කාර්යයයි. ආලත්තිබෑම යනු ගන්ධකුටිය ඉදිරිපිට රිදී පඩිකදෙන් බැහැර ව සිට අතින් ගත් රිදී පහන් දෙකක් දෝලනය කරමින් කෙරෙන ශාන්තිකර්මයකි. පැරැණියේ එන ජනප්‍රවාදයකට අනුව රහස් දැන ගැනීමේ උපායයක් වශයෙන් කාන්තා ආලත්ති අම්මාවරුන්ගේ සේවය ලබා ගන්නට ඇතැයි යන විශ්වාසයක් ද පවතී. එය ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රහස් තොරතුරු දැන ගැනීමට යොදාගත් උපායක් වශයෙන් ද සැලකේ.

කවිකාර මඩුව

ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදු කෙරෙන පූජා චාරිත්‍රයන් අතර, කවිකාර මඩුව, උඩැක්කි, පන්තේරු, තාලම්පට වාදනය කෙරෙමින් සිදු කෙරෙන බෝසත් සිරිත, බුදු ගුණ, දළදා විස්තර මුල්කොට කවි සින්දු අෂ්ටක ගායනා කිරීමේ චාරිත්‍රය දළදා පූජා චාරිත්‍ර ආරම්භයේ පටන් පැවතිනැයි සැලකිය හැකි ය. මෙම පූජා චාරිත්‍රය දඹදෙණි කුරුණෑගල යුගයන්හි විජ්ජතුන් නමින් සංගීත කණ්ඩායමක් ලෙස ප්‍රකට ව මහනුවර යුගයේ දී කවිකාර මඩුව ලෙස ස්ථාපනය වූවා යැයි සැලකිය හැකි ය. මහනුවර යුගයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707 - 1739) රජතුමා විසින් රාජකීය ස්වභාවයේ කවි ගායනා කළ කවිකාර මඩුවෙන් ම දළදා වහන්සේ විෂයයෙහි ද කවිකාර මඩුවක් පත්කළැයි සැලකේ. එසේ පත්කරන ලද පරපුරෙන් පරපුරට පැවත එන කැලෑ කෝරළේ ගෙදර කීරාළ, කේ.ජී. ලොකුබණ්ඩා, කේ.ජී. අප්පුහාමි, කේ.ජී.උක්කුබණ්ඩා, කේ.ජී. විජේරත්න යන පස්දෙනා වර්තමාන කවිකාර මඩුවේ සේවය කරති. කේ. ජී. කීරාළ කලක් කවිකාර මඩුවේ සේවය කළ කේ.ජී. මැණික්රාළගේ පුත්‍රයා ය ඔහුගේ ලොකු අත්තා වූ කිරිහාමි ද, ලොකු අයියා වූ පින්හාමි ද ශ්‍රී දළදා මාලිගාවේ කවිකාර මඩුවේ සේවය කළ අය වෙති. කේ.ජී. ලොකු බණ්ඩාගේ පියා කේ.ජි. මුදලිහාමි ය. ඔහුද කලක් කවිකාර මඩුවේ සේවය කළ අයෙකි.

බුදු ගුණ, දළදා ගුණ, දළදා විස්තර ඇතුළත් කවි සින්දු අෂ්ටක දහස් ගණනක් පාරම්පරික ව ඔවුන් සතු ව තිබූ බව පැවසෙතත් අද ඉන් ශේෂ ව ඇත්තේ කවි සින්දු අෂ්ටක සිය ගණනකි. පරපුරෙන් පරපුරට කටවහරින් පවත්වා ගෙන ආ මෙම පූජාමය දළදා වර්ණනා කවි ගායනා විලාසය උඩැක්කි, පන්තේරු, තාලම්පට වාදනය කෙරෙමින් සිදු කෙරෙන සුවිශේෂී ගායන විලාසයක් වන අතර, අරුත් තේරුම් ගැනීමට දුෂ්කර වන ආකාරයෙන් එම ගායනා විලාසය සැකසී ඇත. සතියේ බදාදා දිනයන්හි නානුමුර මංගල්‍යයේදීත්, පසළොස්වක පොහොය දිනයන්හි පෝය දින පූජාවන්හිදීත්, වාර්ෂික සතර මංගල්‍යයන්හි හා උත්සව අවස්ථාවන්හිදීත්, දළදා ප්‍රදර්ශන අවස්ථාවන්හිදීත්, කවිකාර මඩුවේ ගායනා පැවැත්වීම චිරාගත සාම්ප්‍රදායානුකූල ව ඉටු කෙරේ. පෙරහර කරඬුව වැඩමවන අවස්ථාවන්හි දී හා දළදා ප්‍රදර්ශන අවස්ථාවන්හි දී ඔවුන්ගේ වාදන හා ගායනා ඔබට නරඹන්නට අසන්නට ලැබුණා විය යුතු ය. මෙපමණ දිගු කලක් කටවහරින් පවත්වාගෙන විත් මෙම කවිවල රහස්‍යතාව රැක ගැනීමට ඉදිරියටත් ඔවුන් සමත් වෙතොත් එය එම චිරාගත සාම්ප්‍රදායික පූජා චාරිත්‍රයේ පූජනීයත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට හේතුවනු නියත ය.

විදානේවරු

හාරසියපත්තුවේ මැදසිය පත්තුවේ අලදෙණිය ගබඩාගම විදානේ

උඩදුම්බර ගම්පහ බටහිර කෝරළේ බඹරබැද්ද පිටිගොඩ ගබඩාගම විදානේ.

උඩපළාත ගඟපහල කෝරළේ කළුගමුව ගබඩාගම විදානේ

යටිනුවර ගඟපළාත කෝරළේ දන්තුරේ මුන්වතුගොඩ ගබඩාගම විදානේ

උඩදුම්බර ගම්පහ බටහිර කෝරළේ දොරලියද්ද ගබඩාගම විදානේ

උඩුනුවර ගඟපළාත කෝරළේ පිලිගල්ල ගබඩාගම විදානේ

උඩුනුවර ගඟපළාත කෝරළේ රදාගොඩ ගබඩාගම විදානේ

ගඟපළාත කෝරළේ ඒදඬුවාව ගබඩාගම විදානේ

උඩුනුවර ගඟපළාත කෝරළේ අලපලාවල මාම්පිටිය විදානේ

හාරසියපත්තුවේ මැදසියපත්තුවේ අංගොඩ ගබඩාගම විදානේ

නුවරඑළිය ගන්නෑව කෝරළේ කිතුල්පේ ගබඩාගම විදානේ

වර්තමානයේ ඉඩම් පරිපාලන පහසුව සලකා ඉහත කී අයුරින් ගබඩාගම් දොළහක් වශයෙන් සැලකුව ද අතීතයේ දී ගම් දහයක් වශයෙන් පැවතිණ. එයට ගුරුදෙණිය විදානේ ද අයත් වූයේ යැයි සැලකේ.

ශ්‍රී දළදා මාලිගාවේ ඇතුළු හා පිට කට්ටල සඳහා භාවිත කළ සමහර නිලනාම දැනට ක්‍රියාත්මක නොවන බව පෙනේ.