Print this Article


ශ්‍රී දළදා මාළිගයේ පත්තිරිප්පුව

ශ්‍රී දළදා මාළිගයේ පත්තිරිප්පුව

ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුව නිර්මාණය කර තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සමයේ දී යි. ඉතා දර්ශනීය නිර්මාණයකි. පත්තිරිප්පුව දළදා මාලිගය හඳුන්වන සංකේතය ලෙස ද යොදාගනු ලබනවා.

රාජසිංහ රජතුමා පත්තිරිප්පුව නිර්මාණය කිරීමට කලින් එහි ආකෘති කැඳවා තිබුණා. බොහෝ ශිල්පීන් ඒ සඳහා ආකෘති ඉදිරිපත් කර තිබුණ ද රජුගේ සිත ගියේ දේවේන්ද්‍ර මූලාචාරි ශිල්පියා විසින් කෙසෙල් කඳන් සහ කෙසෙල් පතුරුවලින් සාදා තිබූ පත්තිරිප්පුවට යි. රජුගේ අනුමැතිය ඊට ලැබුණු අතර ඒ අනුව පත්තිරිප්පුව ඉදි වූ බව සඳහන්.

දළදා මාලිගාවේ මුලින්ම නෙත ගැටෙන මේ අසහාය නිර්මාණය ඉදි කොට වැඩ නිමවා ඇත්තේ 1812 වසරේ දී යි. රජතුමා එය ඉදි කළේ දළදා මන්දිරයේ කොටසක් ලෙස නොවෙයි. රජතුමා හා රටවැසියා මුණ ගැසීමේ ස්ථානයක් ලෙසයි.

රටවැසියාගේ ප්‍රශ්න විසඳීමටත්, දළදා පෙරහර නැරඹීමටත්, රජතුමාගේ විවේකාගාරය ලෙසත්, මහමළුවේ පැවැත්වෙන මල්ලව පොර හා කඩු සටන් ආදී තරග නැරඹීමටත් ආදී නොයෙක් කරුණුවලට රජතුමා පත්තිරිප්පුව උපයෝගී කොටගෙන තිබෙනවා.

ඒ වගේම රජ මැඳුරේ සිට රහස් උමඟකින් රජතුමා පත්තිරිප්පුවට ආ බව සඳහන්. රට වැසියන් යම් හදිසි ආපදාවක දී, හදිසියක දී ඝණ්ටාරය නාද කළවිට ඒ ශබ්දය ඇසූ රජු වහා පත්තිරිප්පුවට පැමිණ හේතු කාරණා විමසා කළ යුතු දේ කළ බව ද සඳහන් වෙනවා.

පත්තිරිප්පුව ඉදි කිරීමේ දී දේවේන්ද්‍ර මූලාචාරී නම් ගෘහ නිර්මාණ ශිල්පියා ඉමහත් කාර්යයක් සිදුකර ඇති අතර, එතුමා පත්තිරිප්පුව සඳහා “නා” ලී දඬු ලබා ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බව ද කියැවෙනවා. මෙතුමා කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජ දරුවන් යටතේ සේවය කළ අයෙක් වන අතර එතුමා විසින් තවත් බොහෝ දක්ෂ නිර්මාණ කරනු ලැබ තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙම ශිල්පියාට ගෞරවයක් ලෙස රජුගේ නළල් පටිය තෑගි කර තිබෙනවා.

ඉංගී‍්‍රසි සමයේ දී මෙම පත්තිරිප්පුව මහනුවර කච්චේරිය ලෙස භාවිත කොට තිබෙනවා. පත්තිරිප්පුව ඉදිරියේ ඇති වලාකුළු බැම්ම ඉදිකිරීමට හේතු වී ඇත්තේ රජු දෙවියකුට සමාන කරලයි. දෙවියෙක් අහසේ පෙනී සිටිනවා වගේ රජතුමා පත්තිරිප්පුවේ සිට මහජනතාව අමතා තිබෙන බව ජනප්‍රවාදයේ එනවා.