Print this Article


දේශයේ අභිමානය දළදා වහන්සේ

දේශයේ අභිමානය දළදා වහන්සේ

දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලද්දේ සිරි මේඝවණ්ණ රාජ්‍ය කාලයේ දී බව දාඨා වංසයේ සඳහන් වේ.

මහා වංසයේ ද ඒ බව තහවුරු වේ. මේ කාලයේ දඹදිව කළිඟුරට රාජ්‍ය විචාරණ ලද්දේ ගුහසීව නම් රජ කෙනෙකි. ඔහු ඛීරධාර නම් වෙනත් රජකු සමඟ යුද්ධයක පැටලී සිට බව දක්වන දාඨා වංසය, තමා යුද්ධයෙන් පැරදුණොත් දළදා වහන්සේ රැගෙන ලංකාවට යන ලෙස තම දුවගෙන් සහ බෑනාගෙන් ඉල්ලා සිටි බව සඳහන් කරයි.

බුද්ධ දේහය ආදාහනය කළ චිතකයෙන් ඛේම නම් රහතන් වහන්සේ විසින් ගන්නා ලද වම් දළදා වහන්සේ කලිඟුරට දන්තපුරයෙහි බඹදත් නම් රජුට භාර කරන ලදී. ඔහුගේ පරපුරට අයත් රජවරුන් විසින් ගරු බුහුමන් පවත්වමින් උන්වහන්සේ ආරක්ෂා කර ගන්නා ලදී.

තාම්‍රලිප්තියෙන් නැව් නැඟී හේමමාලා සහ දන්ත කුමරු ගොඩබැස්සේ සිංහල ද්වීපයෙහි ලංකාපටුන නම් ස්ථානයකට ය. දාඨා වංසයට අනුව මේ ස්ථානය ලංකාවේ පැරැණි වරායකි. අනුරාධපුරයට පැමිණි දන්ත, හේමමාලා මේඝගිරි විහාරයට පැමිණ තාවකාලික ව දළදා වහන්සේ තැන්පත් කර රජුට දැන්වූහ. එය ඉසුරුමුණි විහාරය බව පරණවිතාන මහතා කියයි. කිත්සිරිමෙවන් රජතුමා මහත් ගෞරවයෙන් දළදා වහන්සේ පිළිගෙන දළදා මැඳුරක් තනවා එහි තැන්පත් කර මහජනයාට දළදා ප්‍රදර්ශනය කරවීය.

වාර්ෂික ව දළදා වහන්සේ අභයුත්තර විහාරයට වැඩමවා පූජා පවත්වන ලෙස ව්‍යවස්ථා කොට චාරිත්‍ර ලේඛනයක් ද ලියවීය. මේ උත්සවය කලක් යන තුරු පැවැති බවට සාධකය නම් පාහියන් හිමි දළදා උත්සවය දුටු බව සිය වාර්තාවේ සටහන් කිරීම ය. දළදා වහන්සේ පිළිගත් රජු එය කරඬුවක තැන්පත් කර දෙවනපෑතිස් රජු විසින් කරවන ලද ධම්මචක්ක ගෘහයෙහි වඩා හිඳුවීය. එතැන් පටන් එය දාඨා ධාතුඝර නම් වී යැයි එම පුවතින් කියැවේ.

ක්‍රි.ව. සිව්වන සියවසේ දී ලංකාවට වැඩමවන ලද දළදා වහන්සේ, එතැන් සිට ජීවමාන බුදුරජාණන් වහන්සේට සිදු කරන වන්දනීය කාර්යයක් ලෙසට ලාංකේය බොදු ජනතාව තුළ ගෞරවනීය හැඟීමක් ජනිත කරන ලදී. එසේම ලාංකීය රාජ්‍යත්වය හා ආගම අතර අතීතයේ සිට ම අඛණ්ඩ ව පැවැත ආ ආන්‍යොන්‍ය සබඳතාව වඩාත් තීව්‍ර කරනු වස් දළදා වහන්සේ හා ඒ ආශි‍්‍රත ව සංස්කෘතිය ලාංකීය සමාජයට සිදු කරන ලද බලපෑම අතිමහත් ය. එම සබඳතාව කොතෙක්දුරට ලාංකේය සමාජයට බලපෑම් කළේ ද යත්, දළදා වහන්සේ අයිති කර ගැනීම, රාජ්‍යයේ අයිතිය සතුවීමට සුදුසුකමක් ය යන අදහස සමාජය තුළ ස්ථානගත වීමට තරම් එම සංකල්පය ප්‍රබල විය. මෙම මහාර්ඝ වස්තුව ලංකාවට ලැබීමෙන් අනතුරුව එය ආරක්ෂා කර ගැනීමට තිබෙන උනන්දුව කොතරම් දැයි දළදා ඉතිහාසය විමර්ශනය කිරීමෙන් අනාවරණය වේ.

පූජාවලියේ සඳහන් වන පරිදි දළදා වහන්සේට ලංකා රාජ්‍ය පවා පුද කළ බව වාර්තා වේ.

දොළොස්වැනි ශත වර්ෂයේ දී පමණ රචිත දාඨා වංසය පෙන්වා දෙන පරිදි බුදුරජාණන් වහන්සේගේ ආදාහනයේ දී උන්වහන්සේගේ දන්ත ධාතු සතර නමකුත්, අකුධාතුන් වහන්සේ දෙනමකුත්, ලළාට ධාතූන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ කළ අධිෂ්ඨාන බලයෙන් නොදැවී ඉතිරි විය. සෙසු ධාතු මුං පියළි, අබ ඇට, කඩ සහල් ආදී කුඩා ප්‍රමාණයන්ට කැඩීගිය බව ද සඳහන් වේ. ධාතු බෙදා දීමේ අවස්ථාවේ දී සතර දළදා වහන්සේ බෙදා දෙන ලද ආකාරය ප්‍රකට ය.

එකා දාඨා තිදසපුරෙ - එකා නාගපුරෙ අහු - එකා ගන්ධාරවිසයෙ - එකාසි පුන සීහලෙ යන පාඨය පෙන්වන ආකාරයට එකී දළදා වහන්සේගෙන් එක නමක් තවුතිසා දෙව්ලොවටත්, එක් නමක් නාග ලෝකයටත්, එක් නමක් ගන්ධාර දේශයටත් (උතුරු ඉන්දියාවේ) එක් නමක් සීහල දීපයට හෙවත් ලංකා ද්වීපයටත් හිමි විය.

ගන්ධාර දේශයට හිමි ව තිබුණු දළදා වහන්සේ ගුහසීව රජු සමයේ දී එහි ඇතිවුණු යුද්ධ තත්ත්වය නිසා හේමමාලා හා දන්තකුමරු මඟින් ලංකා ද්වීපයට එවන ලද බවත්, මහසෙන් රජතුමාගේ පුත් කිත්සිරිමෙවන් රජ ඒ වන විට රාජ්‍යත්වය ලබා සිටි බැවින් එතුමාට භාරදුන් බවත් දළදා සිරිත පෙන්වා දෙයි.

මේ අනුව ඒ අවධිය වන විට ශ්‍රී ලංකා ද්වීපයට සතර දළදා වහන්සේගෙන් දෙනමක් ම හිමි වී තිබුණි. මීට අමතර ව මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලංකාවේ දී මුලින් ම පැවිදි බිමට පත් අරිට්ඨ මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ ලංකා ද්වීපයට වැඩම කරවූ බව කියැවේ. ඒ පිළිබඳ ව සැළලිහිණි සන්දේශයේ ද සඳහන් වේ. කාලයාගේ ඇවෑමෙන් මෙම දළදා වහන්සේ ගිරි අභා රජතුමාට හා එතුමාගේ අගබිසව වූ සෝමවතී දේවියට එනම් කාවන්තිස්ස රජතුමාගේ නැඟණියට හිමි විය. ඒ ධාතූන් වහන්සේ තැන්පත් කර සෝමවතී චෛත්‍යය ඉදිකෙරුණු බව ද සඳහන් වේ.

එහෙත් කිත්සිරිමෙවන් රජතුමාට හිමිවුණු වම් දළදා වහන්සේ රාජධානියේ වෙනම දළදා කුටියක තැන්පත් කර ආරක්ෂා කිරීම හා වැඳුම් පිදුම් කිරීම එතැන් පටන් සෑම රජ කෙනකුගේ ම යුතුකම හා වගකීම බවට පත්විය.