Print this Article


පංච බලි

පංච බලි

ධාර්මික පුද්ගලයකු දෑත දෙපය වෙහෙසා දහඩිය හෙළා දැහැමි ව උපයන යම් ධනයක් වේ ද, එම ධනය පරිභෝජනයට ගැනීමේ දී උපරිම ඵල සහිත වීමට අනුදැන වදාළ එක් ක්‍රමයකට මේ පංච බලි විස්තර ඇතුළත් වේ. දැහැමින් උපයන ධනය පරිභෝජනය කරන තවත් උපාය මාර්ග කීපයක් ම වෙනත් දේශනාවල ද තිබේ. බුද්ධ දේශනා අදාළ පුද්ගලයින් ඉලක්ක කොට කරන දේශනා හෙයින් අනුශාසනා වුව ද එකම කරුණක් වෙනුවෙන් වෙනස්වීමට ඉඩ ඇත. නමුත් සියලු උපාය මාර්ග යහපත් සිතින් ම කළ ඒවා ම ය.

යමෙක් ධාර්මික ව උපයන ධනය ප්‍රථමයෙන් දෙකට බෙදිය යුතු ය. එක් කොටසක් තමන්, තම අඹු දරුවන් හා සේවක සේවකාදීන් පෝෂණය සඳහා වෙන් කර ගත යුතු අතර දෙවෙනි කොටස තමා හා සබැඳි අන්‍යයන් වෙනුවෙන් වෙන් කළ යුතු ය. මෙසේ කළහු හට සතුටත් සමඟ ජීවත්විය හැකි ය. ඒ අනුව මේ දෙවන කොටස පංච බලි වශයෙන් හඳුන්වා ඇත. මෙහි “බලි“ යනු පූජා කිරීම යි.

ඤාති බලි

(නෑයන්ට සංග්‍රහය සඳහා) තමාගේ අසරණ ඥාතීන්ට හැකි අයුරින් උදව් කිරීමට ම එක් කොටසක් වෙන් කළ යුතු ය.

අතිථි බලි

(ඇතිථි යනු ආගන්තුකයා - අමුත්තා යන තේරුමයි) මොවුනට සංග්‍රහ කිරීම සඳහා ද කොටසක් වෙන් කිරීම මෙයින් අදහස් කෙරේ.

රාජ බලි

(රජයට ගෙවිය යුතු බදු) ආදායම් බදු, වරිපනම්, ජලය, විදුලියාදි ඒ ඒ වර්ෂයට මාසයට නියමිත ගෙවීමක් වේ ද ඒවා ගෙවා නිදහස් වීම තුළ ඇත්තේ ණය නැති සැපයකි. මෙය අනණ සුඛයකි.

දේවතා බලි

( පූජා කටයුතු) ශ්‍රමණයන් වහන්සේට දන්දීමට, දෙවියන්, බඹුන් පිදීමට හෙවත් පින්කම් කිරීමට වෙන් කළ යුතු කොටස (මෙයින් මෙලොව - පරලොව දෙකට ම සැනසීම ලැබේ.

පුබ්බපේත බලි

(මළවුන් සිහිකොට කරන පූජා) මේවා ආචාරධර්ම සිරිත්දම්වලට අයත් ක්‍රියාකාරකම් ය. මේ සඳහා ද කොටසක් ලබන ආදායමෙන් වෙන් කළ යුතු ය.