නිවීමේ සතුටට වදාළ උදාන
මම ගයා තීර්ථයට ආවේ නැකත් කෙළියක් බලන්න යි. ඇත්තෙන් ම මම ඇවිත් තියෙන්නේ නියම
තැනට. එදා උතුම් වූ සදහම් දෙසමින් වැඩ සිටින සම්බුදු රජාණන් වහන්සේ දැක ගන්නට
ලැබුණා.
උන්වහන්සේ මහා ප්‍රඥා ලෝකයෙන් යුක්ත යි. ශ්‍රාවක ජනයාට සැබෑම ආචාර්යවරයෙක්. තුන්
ලොවට ම අග්‍රයි. තුන් ලෝකයට නායකයාණන් උන්වහන්සේ තමයි. දෙව් මිනිසුන්ගේ මුනිවරයා. ඒ
දර්ශනය පවා අසහාය දෙයක්. මහා හස්තිරාජයෙක් වගෙයි. මහා වීරියකින් යුක්ත යි. මහා
තේජසකින් යුක්ත යි. කෙලෙස් රහිත යි. කෙලෙස් ඇත්තේ ම නෑ. කිසිම ආකාරයකින් බියක් නැති
මාගේ ශාස්තෘන් වහන්සේ දැක බලා ගන්නට ලැබුණා. එහෙත් ඉස්සර නොයෙක් මතවාදවලින් කිලිටි
වෙලා, දූෂණය වෙලා හිටිය මේ සේනක, ඒ සියලු කෙලෙස් ගැටවලින් නිදහස් කර ගත්තේ
භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි.
සේනක මහරහතන් වහන්සේ
ඒ කෙකිණියගේ අත්තටු සුදු නෙළුමේ පාටින් යුක්ත යි. කළු වලාකුළට බිය වෙලා ඇය තැති
ගත්තා. ඉන්න තැනක් සොයා ගෙන ඈ ඉගිළී යන වෙලාවට මේ “අජකරණී” නදිය මගේ සිත ඇද ගන්නවා.
කෙකිණියගේ අත්තටු සුදු නෙළුමේ පාටින් යුක්ත යි. කළු වළාකුලට බිය වෙලා ඇය තැති
ගත්තා. ඇයට සැඟවෙන්න තැනක් නෑ. සැඟවෙන්න තැනක් සොයමින් ඇය පලායන කලට “අජකරණී” නදිය
මගේ සිත් ඇද ගන්නවා.
ගං තෙර දෙපැත්තේ ජම්බු ගස් තියෙනවා. ඒවා සතුටු නො කරන්නේ කාවද? මගේ ලෙන පිටිපස්සෙ
තියෙන ඒ ජම්බු ගස් පළාත ම ලස්සන කරනවා. ගෙම්බන් නාද කරන්නේ ගාම්භීර විදියට. ඒ අය
සර්පයන්ගෙන් බේරිලා ඉන්න නිසා වෙන්න ඇති. මේ කාලයේ කඳු ගංගා වෙන්වෙලා තියෙන කාලයක්
නොවේ. “අජකරණී” නදිය කියන්නේ කෙම්බිමක්. හැම අතින් ම ලස්සනයි. රමණීය යි.
සප්පක මහරහතන් වහන්සේ
ඊතණ, කුස තණ, වැලුක්, සැවැන්දරා, මුදු තණ, බබුස් තණවලින් මට වැඩක් නැහැ. මා ඒවා
වීසි කරල දානව. මම විවේකය ම සොයා ගෙන යනවා.
ලෝමසකංගිය මහරහතන් වහන්සේ
මේ භික්ෂුව ඉන්නේ ප්‍රඥාවෙන් ආලෝකවත් වූ සිතින්. අරහත්වය නම් වූ අග්‍රඵලයට පැමිණි
සිතින්. මාරය, ඔබ ඔය හදන්නේ එවැනි භික්ෂුවකට හිරිහැර කොට දුකට පත් වෙන්නට ද?
නන්දිය
මහරහතන් වහන්සේ
මම පැවිදි බව ලබා ගෙන තවම අවුරුද්ද යි. මේ සද්ධර්මයේ ආශ්චර්යය බලන්න. මටත් පුළුවන්
වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මා මේ සම්පූර්ණ කර ගත්තේ බුද්ධ ශාසනය යි.
සුගන්ධ
මහරහතන් වහන්සේ
ඇත්තෙන් ම මම මහණ වුණේ නැති බැරිකම නිසා. ඒ වුණාට උපසම්පදාව ලැබුණාට පස්සේ මගේ හිතේ
ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. ගොඩාක් වීරිය අරගෙන උත්සාහ කළා.
ඒකාන්තයෙන් ම මේ ශරීරය බිඳී යේවා. මේ මස් ගොබ විසිරීයේවා. මගේ දණහිස් දෙකෙන් මේ
කෙණ්ඩා දෙක ගිලිහීයේවා.
මේ සිතේ තිබෙන තණ්හාව නමැති හුල උදුරා දමන තාක් මම කිසිදෙයක් වළඳන්නේ නැහැ.
කිසිදෙයක් පානය කරන්නේ නැහැ. මේ කුටියෙන් එළියට යන්නෙත් නැහැ.
මම වාසය කළේ ඒ විදියට. මගේ වීර්ය පරාක්‍රමය දෙස බලන්න. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.
බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.
මුදිත මහරහතන් වහන්සේ
සූරිය වංශයේ උපන් බුදු රජාණන් වහන්සේ සුන්දර ලෙස වදාරන ලද දහම් පදයි මා අසාගත්තේ.
මටත් ඒ සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට පුළුවන් වුණා. ඒක හරියට ම
දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ම ඊයෙන් විදින්නාක් වැනි වැඩක්.
උභය
මහරහතන් වහන්සේ
ඔබ සිව්රුවලට රෙදි සොය සොයා කල් ගෙවන්නේ නැහැ නේද? ඇඟපත සරසන්නට කැමැති කෙනෙක් නොවේ
නේද? ඔබෙන් ඔය හමන්නේ සිල් සුවඳනේ? අනෙක් උදවියගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නැහැ.
ජම්බුගාමික පුත්ත මහරහතන් වහන්සේ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
|