මෛත්‍රී විහරණය උතුම් චර්යාවක අග්‍රඵලය යි
අග්ගමහා පණ්ඩිත,
මහාචාර්ය
අත්තංගනේ රතනපාල නාහිමි
“සියලු සත්වයෝ සුවපත් වෙත්වා.” යන්න බොහෝ දෙනාගේ හදවත්වල හට ගැනෙන, මුවින් පිටවන
මෛත්‍රී සංකල්පනාවකි. මෙය සැබෑ ලෙස ම අර්ථවත් වන්නේ නම්, සියලු ආකාර වර්ග වාදයන්,
වර්ග භේදයන් දුරු වී ලෝකය සමාජය සුවපත් වනු ඇත.
මෛත්‍රීය, මිනිස් සිත දියුණු කරන, වඩන භාවනාවක් ලෙස මිනිසාගේ ප්‍රායෝගික ජීවිතයෙහි
සුවිශේෂී අංගයක් වශයෙන් ක්‍රියාත්මක වේ. අසුරක් ගසන මොහොතක් මෙත් සිත වඩයි නම්, ඒ
භික්ෂුව රට වැසියාගෙන් පිණ්ඩපාතය ලැබීමට සුදුසු යැයි දහමෙහි දැක්වේ.
අනෙකා කෙරෙහි සැලකිලිමත් වීම, අනෙකාගේ යහපත පැතීම, සමාජයට සැනසිලිදායක ජීවිත
භාවිතාවක් ඇති කර ගැනීම, කෙතරම් දියුණු මනසක ස්වභාවයක් දැයි මෙයින් වටහා ගත හැකි ය.
“කිසිවෙක් කිසිවකුට වෛර නොකෙරෙත්වා, හිංසා නොකෙරේවා, පීඩා නොකෙරේවා, අවමන්
නොකෙරේවා, හැම දෙනා, හැම දෙනාගේ ම යහපත කැමැත්තෝ වෙත්වා."
මෙබඳු, සංකල්පනා සමාජයට කෙතරම් සැනසිල්ලක් උදා කරන්නේ දැයි සිතා බැලිය යුතු වන්නේ
ය.
මෛත්‍රිය යනු මිත්‍රත්ත්වයයි. තමා උපමා කොටගෙන අනෙකා කෙරෙහි පිළිපැදීමයි.
සමානාත්මතාවෙන් කටයුතු කිරීමයි. කිසිදු අහිතවත්කමක් ඇති කර නොගැනීමයි. මෛත්‍රී
චින්තාවෙන් ම මෙත් සිත පතුරුවා කටයුතු කිරීමයි. තමාට මෙන්ම තමා ජීවත්වන සමාජයට,
පරිසරයට ද හිතකාමි වීමයි. ලෝකයක් සුවපත් කළ හැක්කේ අනෙකා කෙරෙහි දක්වන ඒ සමානාත්මතා
ආකල්පය දියුණුූ කිරීමෙනි. භාවිතාවෙන් සනාථ කිරීමෙනි.
මෛත්‍රී චින්තා දියුණු කරන්නා, තමා ජීවත්වන පරිසරයේ සියලු සත්ත්වයන් (සබ්බේ සත්තා)
කෙරෙහි මෙත් සිතින් මිත්‍රත්වයෙන් , හිතෛෂී ව කටයුතු කරයි. ඔහුගේ යහපත, සතුට,
සැනසීම අපේක්ෂා කරයි. ඒ සැනසීම, සතුට නැති වන කිසිවක් නො කරන තත්ත්වයට තම සිත පාලනය
කොට මෙහෙයවයි. සමාජයේ සියලු සාමාජිකයන් එබඳු සංකල්පනාවන්ගෙන් යුක්ත වූ කල සමාජයක්
කෙතරම් සුන්දර වන්නේ දැයි සිතාගත හැකි ය. එවිට මිනිසාගේ, සත්වයාගේ ආරක්ෂාව සහතික
වෙයි. භය රහිත ආරක්ෂිත සමාජයක් නිර්මාණය වෙයි.
මෙම මෛත්‍රී සංකල්පය පුද්ගල සන්තානය තුළ දියුණුවත්ම අනෙකාගේ දුකෙහි, විපතෙහි
කම්පාවට පත්වන කරුණාව පුද්ගල සන්තානයෙහි දියුණු වෙයි. අනෙකාගේ දුකෙහි දී කම්පාවීම
මෙන් ම සැපතෙහි සතුටු (මුදිතාව) වෙයි. සමාජයෙහි ශ්‍රේෂ්ඨ හැසිරීමක්, උසස් චර්යාවක්
(බ්‍රහ්ම විහරණ) ඇති වන්නේ ඒ ආකාරයෙනි.
ඒ සඳහා සමාරම්භය සිදුවන්නේ පුද්ගල මනස සකස් වන්නේ මිත්‍රශීලීභාවය, හිතෛෂීභාවය පදනම්
කර ගෙන ය. මෛත්‍රිය නමින් දැක්වෙන්නේ ඒ මිත්‍රශීලී භාවයයි. මෛත්‍රී සංකල්පනාවන්ගෙන්
යුක්ත ව සැබෑ මිත්‍රශීලී භාවයක් ඇති කර ගත් පුද්ගලයාට සමාජයේ සතුරන්, විරුද්ධවාදීන්
ඇති විය නොහැකි ය. ඔහු සියල්ලන්ගේ යහපත කැමැත්තෙන්, සියල්ලන් කෙරෙහි කාරුණික වූ
ජීවිත භාවිතාවක් සහිත අයකු හෙයිනි. ඔහුගේ ජීවිතය උසස් තත්ත්වයට පත්වන ආකාරය,
මිත්‍රත්වයේ ආනිශංස වශයෙන් දහමෙහි දක්වා ඇත.
ද්වේෂාදී චේතනා නොමැති හෙයින් ඔහුට හොඳින් නින්ද යයි. (සැප සේ නිදයි) හොඳින් සැප සේ
අවදි වෙයි. භයානක, නපුරු සිහින නොපෙනේ. ඔහු මිනිසුන්ට පි‍්‍රය වෙයි. නොමිනිසුන්ට ද
පි‍්‍රය වෙයි. මෛත්‍රී සහගත ක්‍රියාකාරකම් නිසා සිවුපා ආදී සතුන් ද ඔහුට පි‍්‍රය
කරයි. හිංසා නො කරයි. අවනත වෙයි. ඔහු ස්වභාවික විපත්තීන්ගෙන් ද ආරක්ෂා වෙයි.
අදෘෂ්‍යමාන බලවේගයන්ගෙන් ඔහුට කරදර නොවේ. ජලයෙන්, ගින්නෙන්, අවි ආයුධවලින්, වස විෂ
ආදියෙන් විපත් නොවේ. එසේම චිත්ත වික්ෂේපයට නො පැමිණේ. සිත තැන්පත් වේ. නිවීමට
පත්වේ.
ද්වේෂසහගත නොවන හෙයිනි.
මුහුණේ ස්වභාවය ප්‍රසාද ජනක වේ. සිත සන්සුන් හෙයිනි.
සිවු බඹ විහරණයෙන් යුක්ත හෙයින් සිහි මුළාවක් නැත. එළඹ සිටි සිහියෙන් යුතු ව කටයුතු
කරන්නේ, නොමුළාවම. කලුරිය කරන්නේ ද වේ. මෙලොව දී ම ක්ලේශ නිවාරණයක් නොවන්නේ නම්
බඹලොව උපත ලබන්නේ ය.
බ්‍රහ්ම විහරණ හේතුවෙනි. මෛත්‍රිය පදනම් කොටගත් උසස් ජීවිත භාවිතාව හේතුවෙනි.
ඔබට මව නොවූ අයකු, පියා නොවූ අයකු, සහෝදරයා, සහෝදරිය නොවූ අයකු, පුතා දුව නොවූ අයකු
මේ ජීවිතයේ දී ඔබට හමු නොවිය හැකි ය. ඔබට හමුවන හිතවත්, අහිතවත් සියල්ලන් ඔබේ සසර
ලේ ඥාතීහු ය. එහෙයින් ඔබට හමුවන සියල්ලන් කෙරෙහි ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ
මෛත්‍රීසහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මයන්ගෙනි. භවයෙන් වැසී ඇති හෙයින් ඔබට ඒ
ඤාතිත්වය, සම්බන්ධතා හඳුනාගත නො හැකි ය. සසර එතරම් ම දීර්ඝ ගමනක් වන හෙයිනි.
එහෙයින් ඔබට හමුවන සියල්ලන් සමඟ ගනුදෙනු කිරීමේ දී, ඔවුනට ප්‍රතිචාර දැක්වීමේ දී ඒ
මෛත්‍රී සහගත සිතින් ම ක්‍රියා කළ යුතු බව, මාතු, පිතු, භාතු, භගිනි, ප්‍රතා, සිතු
ආදී සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ.
මව පියා වශයෙන් ශරීර ලක්ෂණ වශයෙන් රූපයෙන් හඳුනාගත නොහැක්කේ භව ගමනේ දී පුද්ගල
කර්මානුරූප ව සිදුවන රූප විපර්යාසයන් නිසා ය. ඒ නිසා ම කිසිවකුටත් වෛර නොකළ යුතු
බව, හිංසා පීඩා නොකළ යුතු බව, තම සංසාරගත ඥාතිත්වයන් පිළිබඳ දේශනා සිහියට ගෙන ඒ
අනුසාරයෙන් මෙත් සිත වැඩිය යුතු බව දක්වා ඇත. මනුෂ්‍යත්වය අර්ථවත් වෙමින් ලෝකයට
සැනසිල්ල උදාවන්නේ මනුෂ්‍ය සමානත්වය, ඒකසත්මිකභාවය පිළිබඳ ව මේ ඉගැන්වීම් සමාජ
ගතවීමෙනි.
කරණීය මෙත්ත සූත්‍රයේ දී මවක් යම් සේ තම එකම පුතණුවන් කෙරෙහි දිවි හිමියෙන් මෙත්
සිතින් කටයුතු කරයි ද, එසේ පුද්ගලයා සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු
යැයි දක්වා ඇත. ඒ මෙත් සිත සියලු සත්වයන් කෙරෙහි ය.
“සබ්බෙ සත්තා, සබ්බේ පාණ, සබ්බේ භූතා ච කේවලා - සබ්බේ භද්‍රානි පස්සන්තු, මා කඤ්චි
පාපමාගමා” යනුවෙන් ඛන්ධ පිරිතෙහි දක්වා ඇත්තේ. සියලු සත්වයන්, ප්‍රාණීන්, භූතයන් යන
සියල්ලෝ යහපත දකිත්වා, කිසිදු අයහපතකට, අගතියකට, විපතකට පත් නොවේවා, යන අදහස
චේතනාව, ප්‍රාර්ථනය සියල්ලන් තුළ පැවතිය යුතු බව ය.
මිත්තානිසංස සූත්‍රයෙහි දැක්වෙන අදහස ද මෙහිදී විශේෂ අවධානයට යොමුවිය යුතු ය.
මිත්‍ර ද්‍රෝහී නොවීම, පුද්ගල සම්බන්ධතාවන් හි සාර්ථකත්වයට, පරිපූර්ණත්වයට හා
පෝෂණයට එම ඉගැන්වීම් විශේෂයෙන් අදාළ වන හෙයිනි.
මිත්‍රත්ත්ව පෝෂණයට, හිතෛෂීභාව වර්ධනයට කටයුතු කරන්නා සිය නිවසින් බැහැර වූයේ
ආරක්ෂිත වේ. නිසි සැලකුම් ලබන්නේ වේ. යම් ප්‍රදේශයකට, දුරු රටකට යන්නේ ද ඒ හැම
තන්හි දී ම ගරු සත්කාරයට, පූජා සැලකුම් ආදියට භාජනය වේ. කීර්තියට පත් වේ. හැම තන්හි
සම්මානිත වේ. මිතුරන්ට කරන ලද සංග්‍රහ සත්කාර, ගරුකාර හේතුවෙනි. මෙය මිත්‍රත්වයේ,
මෛත්‍රී සංකල්පනාවේ උත්කෘෂ්ඨ ඵලයයි. මෙය ඕනෑම, අයකුට ප්‍රායෝගික ව අත්හදා බැලිය
හැකි ප්‍රතිඵල ලැබිය හැකි උත්තරීතර ප්‍රතිපදාවකි. විශේෂ චර්යාවකි. |