Print this Article


විවිධත්වය තුළ ඒකීයත්වය රැකීම සෑම පුරවැසියකුගේ ම වගකීමක්

විවිධත්වය තුළ ඒකීයත්වය රැකීම සෑම පුරවැසියකුගේ ම වගකීමක්

ස්වාමීන් වහන්ස, ජීවත්වීමට සුදුසු සමාජයක අරුණලු දකින්නට ආගම ජීවිතයට ප්‍රායෝගික කර ගැනීමේ අවශ්‍යතාව ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද?

ගවේෂණාත්මක ව බැලුවාම සෑම සංස්කෘතියක ම මූලාරම්භය ආගමයි. විශේෂයෙන් ලංකාව වගේ ආසියාතික රටවල මිනිසුන්ගේ ජීවිතය ම බැඳී තිබෙන්නේ ආගම සමඟයි. ඒ ඒ ජන කොටස්වලට ඔවුන්ගේ ආගම සුවිශේෂයි.

ඒ අනුව ඕනෑම ආගමකින් ඒ ඒ ආගමිකයන්ට ප්‍රබල බලපෑමක් කළ හැකියි.

ඒ අනුව ජාතීන් අතර එකමුතුකම, අන්‍යොන්‍ය සුහද බව ගොඩනඟන්නට ආගම ශක්තිමත් පාලමක් කර ගන්නට පුළුවන්. විශේෂයෙන් ම සම්බුදු දහම කියන්නේ ජීවන දර්ශනයක්. ඒ අමාදහම තුළ නිර්මාණය කරන්නේ සහකම්පනයෙන්, සහජීවනයෙන්, සමගියෙන් ජීවත් වන හොඳම මිනිසුන්.

ඒ වගේම අනෙක් ආගම්වලිනුත් යහපත් මිනිසුන් වීමට උපදෙස් දෙනවා. ප්‍රශ්නය වී තිබෙන්නේ ආගම හැඟීම තුළ මිස හැසිරීම තුළ ක්‍රියාත්මක නොවීම යි.

මනුෂ්‍යයා විවිධත්වය ප්‍රධාන කොට ගත් ජීවි කොට්ඨාසයක්. එය සංස්කෘතිකමය විය හැකියි. ආගම්, භාෂාව, හැකියාවන් ආදි විවිධ අංශයන්ගෙන් විය හැකියි. සහජීවනයෙන් ජීවත් වීමට නම් මේ විවිධත්වය තුළ ඒකීයත්වයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍යයි. ස්වාමීන් වහන්ස, ඒ සඳහා සම්බුදු දහමේ ආදර්ශය කෙබඳු ද?

එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වන්නේ ලෝකයේ විවිධත්වය වැඩිම රටක, ඉන්දියාව අදටත් වඩා අතීතයේ ආගමික වනාන්තරයක්. එහෙත් තථාගතයන් වහන්සේ ඒ සමාජයේ සිටි දෙසැටක් මිසදිටුවන්ගේ අදහස්වලට සවන් දුන්නා. ගැටුමට ගියේ නෑ. සාමකාමී ව, අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවත්වීමේ වැදගත්කම උන්වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්නා. සම්බුදු දහම තුළින් අගය කිරීම, අනුන්ට සවන්දීම, සමාජභාවය ආරක්ෂා කිරීම, එකිනෙකාට ගරු කිරීම, මැනවින් ප්‍රදර්ශනය කළා.

අපේ රට බහුවිධ සමාජයක්. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ලෙස ප්‍රධාන ආගම් සතරක් සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ප්‍රධාන ජනවර්ග සතරක්. මේ ආගම්, ජාතීන් අනාදිමත් කාලයක් සහජීවනයෙන්, සංහිඳියාවෙන් ජීවත් වුණා. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ අන්‍යෝන්‍ය බැඳීම දිගටම පවත්වා ගෙන යා යුතුයි. ඒ සඳහා අප බුද්ධිමත් ව කටයුතු කළ යුතුයි. එහිදී බෞද්ධ දර්ශනය මඟ පෙන්වන ආකාරයට ගැටුම් ඇතිවීම වැළැක්වීම හා ඇති වූ ගැටුම් බිම්මට්ටමේ දී ම විසඳා ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි.

එවැනි ක්‍රමවේදයක් සඳහා තථාගත ධර්මයේ නිර්දේශය කවරාකාර ද?

අවිහිංසාවාදය සමාජ යථාර්ථයක් බවට පත්කිරීමෙන් හිංසක ක්‍රියා නමැති දුෂ්ට චක්‍රයෙන් මිදීමේ මාර්ගයක් බුදු සමයෙහි පෙන්වා දී තිබෙනවා. චක්කවත්තී සීහනාද සූත්‍රය විමසීමට ගමු. එහි හිංසක ක්‍රියා පැනනැඟීමේ හේතු සාධක විස්තර කොට තිබෙනවා. එහිදී රාජ්‍ය නායකත්වයට පැවරෙන වගකීම විශාලයි. ආරක්ෂාව, රැකවරණය, උවදුරු වැළකීම වගේම සම්පත් සම ව බෙදී යාමට කටයුතු කිරීම ද ඉතා වැදගත්. ජනතාවට ප්‍රමාණවත් ජීවනෝපාය මාර්ගයන් සැලසීම ද අත්‍යවශ්‍යයි.

විශේෂයෙන් සමාජ ඒකත්වය තහවුරු කිරීමට ඇවැසි ඉතා වැදගත් කාරණා රැසක් බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ හා භාරද්වාජ යන තරුණයන් දෙදෙනාට පැහැදිලි කොට තිබෙනවා. එහිදී උන්වහන්සේ අවධාරණය කොට වදාළේ මිනිසුන් එකිනෙකාගෙන් වෙන් කොට දැක්විය හැකි කායික හෝ මානසික හෝ ලක්ෂණ නැති බවයි. එයින් පැහැදිලි වන්නේ මිනිසුන් තුළ එකිනෙකා අතර කිසිදු වෙනසක් නැති ව එකම ජන සමූහයක් ලෙස සලකා ක්‍රියා කළ යුතු බවයි.

මෙහිදී වැදගත් නිර්දේශයක් තිබෙනවා. ඒ, තමන් උපමා කර ගෙන අනුන්ට වරදක් නොකිරීමයි. අත්තුත්කංසන පරවම්භන තමන් උසස් කොට සලකා අනුන් පහත් කොට සැලකීම බුදු දහම ප්‍රතික්ෂේප කරනනවා.

කිසියම් ජන කොටසක් තමන්ගේ සංස්කෘතිය කෙරෙහි කැමැත්තක් දැක්වීම, එයට ඇලුම් කිරීම, අතිශයින් ම ස්වභාවිකයි. එහි අනන්‍යතාවට, වටිනාකම්වලට ගරු කිරීමට සෑම පුරවැසියෙක් ම බැඳී සිටිය යුතුයි. ආගමික, වාර්ගික ගැටුම් ඇති නොවන්නේ එවැනි වාතාවරණයක යි.

ඒ තැනට එන්නට නම් අපේ සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි නේද ?

එය අවශ්‍යයෙන් ම කළ යුත්තක්. කෙනෙක් උසස් හෝ පහත් හෝ වන්නේ තමන්ගේ හැසිරීමෙන් විනා අනෙකකින් නොවන බව බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ දී අවධාරණය කළා. මෙවැනි අදහස් කුඩා වයසේ දී ම මිනිස් සිතට කාවද්දන්ට ඕනෑ.

රටක ජීවත්වන සියලු ම දෙනා ඒ රටේ ජාතියයි. ඉන්දයාවේ ජීවත් වන්නේ ඉන්දියානුවන්. අමෙරිකාවේ ජීවත් වන්නේ අමෙරිකානුවන්. ඒ වගේම අපේ රටේත් විවිධ ජනවර්ග ජීවත් වෙනවා. ඒ සියලු දෙනා ම පොදුවේ හැඳින්විය යුතු වන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි. සම්බුදු දහම වැනි ශ්‍රේෂ්ඨ ධර්මයක් ජීවමාන වන මෙවැනි කාලයකත් ලාංකේය සමාජයේ තවමත් ඉවසීම, අවිහිංසාව සහ බහුත්වවාදය වැනි විශ්ව සාධාරණ ගුණාංගවලින් යුතු ලෞකික සමාජයක් බිහි කිරීමට නොහැකි වීම ගැටලුවක්. එවැනි ප්‍රායෝගික ක්‍රමවේදයකට අපේ මිනිසුන් හුරු කරන්නට ක්‍රමවත් වැඩපිළිවෙළක් යුහුසුළුව ආරම්භ කළ යුතුයි.

ත්‍රිපිටක සූත්‍ර දේශනා පරිශීලනය කරන විට හිංසනය , පළිගැනීම, ක්‍රෝධය හා වෛරය, මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇති ආකාරය පැහැදිලි වනවා.

වාචසික ව, කායික ව, මානසික ව යන කවරාකාර වූ හෝ හිංසනයක් බෞද්ධ රටක සාධාරණීකරණය කිරීමට කිසිදු ආකාරයකින් කළ නොහැකියි.

වෛරයෙන් වෛරය නොසංසිඳේ අවෛරයෙන් වෛරය සංසිඳේ. තමන් තුළ වගේ ම අන්‍යයන් තුළ ද වේදනාවක් ඇති කිරීම බුදු දහමේ මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධයි. බෞද්ධ සමාජයක ජීවත් වෙමින් කවුරු හෝ හිංසනයට යෙදෙනවා නම් එය දහමෙන් පිට පැනීමක්.

බුදු දහම ප්‍රමුඛ සෙසු ආගම්වල ඇති හරයන් සහ වටිනාකම් සමාජග කිරීම මඟින් භේදවලින්, ගැටුම්වලින් තොර ශ්‍රී ලාංකේය සමාජයක්, සියලු දෙනාට පතිරූපදේශ වාසයක් නිර්මාණය කළ හැකියි. අවශ්‍ය වන්නේ ඒ තැනට මිනිසුන් හසුරුවන්නට ඵලදායි ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමයි. මව්කුසයේ සිට ම අවිහිංසා සංකල්ප දරුවා තුළ රෝපණය කිරීමේ වැඩපිළිවෙළෙහි දැඩි අවශ්‍යතාව ඉදිරියේ වගකිවයුතු සමාජ කණ්ඩායම් අප්‍රමාදි විය යුතුයි.

එවිට ජීවත්වීමට වඩාත් සුදුසු පරිසරයක් රට තුළ ගොඩනැඟෙනවා. ජීවත්වීමට සුදුසු පරිසරය මිනිසුන් කායික ව මානසික ව සුවපත් කරනවා. ඒ සුවපත් බව රට ඉහළට ඔසවා තබනවා.