Print this Article


දිවමන් බුදුරදුන් සේ පූජෝපහාර ලබන අපේ දළදා හාමුදුරුවෝ

දිවමන් බුදුරදුන් සේ පූජෝපහාර ලබන අපේ දළදා හාමුදුරුවෝ

ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ ඉටුකළා වූ සියලු චිරාගත සාම්ප්‍රදායික බුද්ධෝපස්ථාන, බුදු පුද තේවා කටයුතු අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ එම විහාරවාසී මහා සංඝරත්නය වෙත ය.

වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත් කෙරෙන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනකුගේ ප්‍රධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්ධ කෙරේ.

වාර්ෂික ව ඇසළ මාසයට එළඹෙන පසළොස්වක පෝය දිනයට පසු වස් සමාදන් වන දිනයෙහි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා තේවා මුර මාරුවීම සිදු වේ.

අදාළ පාර්ශ්වය තේවා කටයුතු භාර ගැනීමෙන් පසු දියවඩන නිලමේතුමා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා වස් වැසීම සඳහා ආරාධනා කරනු ලැබේ. අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතු ව පවතින සාම්ප්‍රදායික තේවා භාරකාරීත්වය තමන් වහන්සේ වෙනුවෙන් නියමිත වර්ෂය පුරා ඉටුකිරීම සඳහා එකී පාර්ශ්වයේ ස්වාමීන් වහන්සේ තුන්නමක් යොදවා ගැනීම සිරිතයි. එම තුන් නම පත් කරනුයේ උඩමාලයට දෙනමක් හා පල්ලේ මාලයට එක් නමක් වශයෙනි. එහෙත් මෑතක සිට උඩමාලයට තෙනමක් ද, පල්ලේමාලයට එක් නමක් ද, පත්තිරිප්පුව සඳහා තවත් ස්වාමීන් වහන්සේ නමක් ද වශයෙන් පස් නමක් පත්කිරීම සිදු වේ.

තේවා කටයුතු නියමිත භික්ෂූන් වහන්සේට ගිහිභාරකාර දියවඩන නිලමේතුමා, කාරිය කරවන කෝරාල, වට්ටෝරුරාල, ගෙපරාල, කත්තියන රාලලා දෙදෙනා, හක්ගෙඩි අප්පු, දොරේ ආරච්චි, පෙල්ලේමාල රාල, මුළුතැන් රාලලා, දෙදෙනා ආදී ගිහි සේවා කට්ටලයක සහාය ද ලැබේ.

මීට අමතරව හේවිසි, තම්මැට්ටම්, මඟුල් බෙරය, හොරණෑව ආදී භාණ්ඩ නියමිත තේවාමුර සඳහා වාදනය කිරීමට පනික්කි මුර හතරක සහාය ලැබේ.

අති උත්තම දළදා බුදුපුද තේවාවන් සඳහා භාවිත කෙරෙන විවිධ පූජා උපකරණ වස්තූන් රාශියකි. ඒවා කෞතුක වශයෙන් ද, පූජනීය වශයෙන් ද ඉතා අගනේ ය. මෙම පූජනීය වස්තූන් අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද ඉදිකටු හුලාව, කඩකැතිය (දැලිපිහිය) ආදිය ඇතුළත් අටපිරිකර, රනින් හා මැණිකෙන් නිමවන ලද අවාන, රන්මිටකින් නිර්මිත චාමරය, රන් වටාපත, මහ රන්කෙණ්ඩිය, කුඩා රන්කෙණ්ඩිය, රනින් තැනූ මිනි ගෙඩිය, රනින් නිම වූ සඳුන් හෙප්පුව, කබරෝස මල, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මෑණියන් පූජා කළ අගනා මැණික් ඇල්ලූ දළුමුර තට්ටුව හා ඇහැලේපොළ අධිකාරම පූජා කළ මුදුනට ගලක් බැඳි කෙණ්ඩිය, කැටයම් කළ රන් හෙප්පුව, රනින් කැටයම් කළ හුණු හැඳි, රිදී හුණු කිල්ලෝටය, රන් හඳුන් හෙප්පුව, රන් කපුරු පහන් තිර, රන් පාත්‍ර, ශ්‍රී විජය රාජසිංහ රජුගේ අගමෙහෙසිය පූජා කළ රන් පාත්‍රය, ආදිය අතිශයින් අගනේ ය.

අලුයම 5.15ට පමණ හේවිසිකරුවෝ අලුයම් දුරය අරඹති. ඒ හේවිසි පද ඇසෙත්ම තේවා භාර තෙරුන් වහන්සේ හා ගිහි නිලකරුවෝ තේවා කටයුතු සඳහා සූදානම් වෙති. උඩමාලේ ගිහි සේවක පිරිස ද තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසී නියමිත වේලාවට තේවා භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ලැගුම් ගෙට පැමිණ සිටිය යුතු ය.

ඉන්පසු පට ලේන්සුවකින් එතූ යතුරු මිටිය තේවා භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වට්ටෝරුරාළට භාර දෙනු ලැබේ. ඔහු මහත් ගෞරවයෙන් යතුරු මිටිය උරමත තබා ගෙන වැඩසිටින මාලිගාව කරා යතුරු පයිංඩ කිරීම අරඹයි. උදෑසන තේවා මුරයේ දී පන්දම්කරු අත් පන්දම රැගෙන ඉදිරියෙන් පසෙකින් ගමන් කරයි. ඉන්පසු පළමුව යතුරු පයිංඩ කරන වට්ටෝරුරාළ ද, අනතුරුව පිළිවෙළින් තේවා භාර නාහිමිපාණන් වහන්සේ, දෙවන තේවා භාර හිමිපාණන් වහන්සේ, තෙවන තේවා භාර හිමිපාණන් වහන්සේ, පල්ලේමාලේ තේවා භාර ස්වාමීන් වහන්සේ, පත්තිරිප්පුවේ ස්වාමීන් වහන්සේ හා ගිහි සේවක පිරිස ගමන් කරති.

හේවිසි මණ්ඩපය අසලට ළඟා වී පැන් බඳුනෙන් පා දෝවනය කර ගෙන ඇත් දත් වාහල්කඩ ඉදිරියේ සඳගල අසල දී යතුරු මිටිය ලිහා පල්ලේමාලේ යතුර පල්ලේමාලේ රාළට භාරදෙයි. අනතුරුව වැඩසිටින මාලිගාවේ දොරවල් එකිනෙක විවෘත කර ගන්ධ කුටියේ දොර විවෘත කර අවසන් වූ පසු ගෙඩිය නාද කරයි. තේවා භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දොහොත් මුදුන් දී නමස්කාර කරමින් ධාතු මන්දිරයට ඇතුළු වේ. පත් කඩය එලා පසඟ පිහිටුවා වැඳ පහන් දල්වයි. දූවිලි පිස දමයි. නැවත දෑත් දෝවනය කර ගෙන, බොල පැන පයිංඩ කරන තුරු තේවා උපකරණ සූදානම් කර ගනී. මේ අතර ගෙපරාල බොලපැන පයිංඩ කරගෙන උඩමාලයට පැමිණෙත් ම හේවිසි පූජාව නැවත ඇරඹේ.

බොලපැන පයිංඩ කළ පසු රන් කෙණ්ඩි පුරවා තබයි. මල් ආසනයෙහි පරමල් ඉවත ලා, අලුත් මල් තබා, තිර මෑත් කොට සුළු වේලාවක් වන්දනාකරුවන් සඳහා ඉඩ සලසා දෙයි. මේ අතර වාරයේ කත්තියනරාල හේමකද පයිංඩ කරයි. මල්පූජා කිරීම අවසානයේ දොරවල් වසා පූජා කටයුතු අරඹති. තේවාභාර හිමිවරු ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටු කරනු ලැබුවා වූ මුව දෝවනය සංකේතවත් කිරීම සඳහා උණු පැන් කෙණ්ඩිය උඩට ඔසවා යළිත් පහත් කොට පූජා කරයි. අනතුරුව රන්මිට යෙදූ දැහැටි පූජා කරයි. පූජාවෙන් පසු දැහැටිය ඉවත් කර රන්මිට ආසනය මත තැන්පත් කරනු ලැබේ. ඉන්පසු තුන්වරක් කාලංසියට පැන් වත් කරයි. මින් ශ්‍රී මුඛය දෝවනය කිරීම සංකේතවත් කෙරේ. සේදීම සංකේතවත් කිරීමෙන් අනතුරුව තෙත මාත්තුව සිදු වේ. මෙම පූජා අවස්ථාවේ දී ගාථා සජ්ඣායන කිරීම සිරිත ය. තුන් සිවුරු පූජාවෙන් පසු, පා දෝවනය කිරීම සංකේතවත් කරමින් කාලංසියට ජලය ඉවත් කිරීම සිදුවේ. ඉක්බිති ආසන පූජාව ද චාමරයෙන් පවන් සැලීම ද නිම කර මිණිගෙඩි නාද කර මිණි පූජාව පැවැත්වේ. කපුරු පහන් පූජාව සිදු කොට පසඟ පිහිටුවා වැඳ අවසන් වෙත් ම, ගෙඩිය තුන්වරක් නාද වේ. තේවාභාර හිමිවරු නැවත දෑත් දෝවනය කර ගෙන මල් පූජාව සිදු කරති. ඉක්බිති සුළු වේලාවක් වන්දනාකරුවන්ට මල් පිදීමට ඉඩ සලසා දීමෙන් පසු නියමිත වේලාවට මල් ආසනය පිරුවටයකින් වසා ඒ මත බුද්ධ පූජාව තැන්පත් කිරීම අරඹති.

දිනයේ පෙරවරු 9.30ට ආරම්භ වන දහවල් නවපෑ බුද්ධ පූජාවේ මුල්ම පූජාව වෙන්වන්නේ රජතුමා වෙනුවෙන් ය. ඒ අනුව පළමු මහරන් පාත්‍රය රජතුමාට වෙන් වේ. කුඩා රන් පාත්‍රවලින් එක් පාත්‍රයක් කාරිය කරවන කෝරාලට ද, වට්ටෝරුරාලට තවත් කුඩා රන් පාත්‍රයක් ද, තවත් රන් පාත්‍රයක් ගෙපරාලට ද, කත්තියනරාලට රිදී පාත්‍රයක් ද, තවත් රිදී පාත්‍රයක් දොරේ ආරච්චිට, පිත්තල පාත්‍රයක් හක්ගෙඩි අප්පුට ද වෙන් වේ. පූජා පිළිවෙත් උදෑසන පූජා සිදු කළ ආකාරයට ම ඉෂ්ට සිද්ධ වේ.

සවස ප්‍රධාන වශයෙන් ගිලන්පස පූජා දෙකක් පැවැත්වේ. දෙවන ගිලන්පස කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ඉල්ලීමක් අනුව ඇරඹිණ.

සවස ගිලන්පස පූජාවට සීනි, සූකිරි, අඹ, ඉඟුරු, මී පැණි, දොඩම්, අන්නාසි, උක්පැණි, හකුරු, මුද්‍රප්පලම්, ඇල්තෙලිජ්ජ, ඉඟුරු දෝසි ආදී ද්‍රව්‍ය යොදා ගනී.