මිසදිටු සිතිවිලි රුදු ගුණ දුරු කර
සිරිමත් දළදා හිමි පෑ පෙළහර
බලවත් වූ දුෂ්කරතා මධ්‍යයේ මහසමුදුර තරණය කොට උතුම් වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ
වැඩමවා ගෙන ලක්දිවට පැමිණි හේමමාලා සහ දන්ත කුමරු දෙපළ එවකට ලක්දිව අනුරාධපුරය
අගනුවර කර ගනිමින් රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුට (රාජ්‍ය වර්ෂ 304 - 328) දළදා
වහන්සේ භාර දුන්හ.
දාඨා ධාතූන් වහන්සේ ශ්වේත වර්ණයෙන් බැබළුණු බව අසා දැන තිබූ රජු තරමක් දුඹුරු
පැහැයෙන් යුක්තව පැවතීම නිසා සර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි වූ නියම දංෂ්ට්‍රා
ධාතුව දැයි සැක පහළ කර ගන්නට විය.
රජු එසේ සිතත් ම දළදා වහන්සේ ප්‍රාතිහාර්යය පාමින් අහස ඉහළට ඇදී ගොස් සුදු බුදු
රැස් විහිදුවන්නට විය. එසැනින් සැක දුරු කර ගත් මේඝවර්ණ රජු සිංහාසනය සුවඳ පැණින්
දෝවනය කර මහඟු ඇතිරිලි එළා සුදු නෙළුමින් සරසා ඒ මත දළදා වහන්සේ තැන්පත් කොට ගෞරව
දැක්වීය. පට පිළි සිය ගණනකින් වැසූ කල්හි ඒ සියල්ල තුළින් මතු වූ දළදා වහන්සේ සුදු
බුදු රැස් විහිදුවමින් යළිත් ප්‍රාතිහාර්යය පාන්නට විය.
ඉන් තවත් පැහැදීමට පත් රජු දේවානම් පියතිස්ස රජ දවස කළ ධම්මචක්ක ගෙය නම් මහ
ප්‍රාසාදයෙහි දළදා වහන්සේ තැන්පත් කරවූයේ, දෝතින් වැඩමවා ගෙන පැමිණියහ. ඉනික්බිති ව
රාජ්‍යත්වයේ සංකේතය බවට දළදා වහන්සේ පත් වූහ.
පසුකාලීන ව අනුරාධපුරයෙන් මෙරට රාජධානිය පොළන්නරුවට මාරු වීමත් සමඟ රාජ්‍යයට
උරුමකම් කී රාජකීයයන් අතර අරගල ඇතිවන්නට වූහ. මෙම අවස්ථාවේ මහාභරණ රජුගේ මෑණියන් වූ
සුගලා දේවිය දළදා වහන්සේ දකුණු පළාතට ගෙනගොස් අරක්ෂා කළහ. මහ
පරාක්‍රමබාහු රජු සියලු සතුරු බලමුළු පරාජය කර රට එක්සේසත් කළ කල්හි රාජ්‍යත්වය
සම්පූර්ණ වන්නේ දළදා වහන්සේ ලබාගත හොත් පමණක් යැයි තීරණය කොට සුගලා දේවිය සටනින්
පරදා දළදා වහන්සේ හිමි කර ගත්තේ ය. අනතුරු ව දකුණේ සිට මහ පෙරහරකින් දළදා වහන්සේ
පොළොන්නරුව රාජධානිය වෙත වැඩම කරවීමට රජු කටයුතු කර තිබේ. මෙම ගමන අතරතුර මහා අකාල
මේඝයක් කඩා වැටෙන්නට විය. තමා කරන්නේ මහ පින්කමක් යැයි සිතූ රජු එය මෙනෙහි කරමින්
සත්‍යක්‍රියාවක නිරත වූයේ ය. එකල පෙරහර මඟ හැර සෙසු ප්‍රදේශවලට පමණක් බලපාන අයුරින්
අකාල මේඝය ක්‍රියාත්මක වූයේ ය. අවට ගංගා, ඇල, දොළ ජලයෙන් පිරී ගියේ ය.
වික්‍රමබාහු රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා දඹදෙණිය
අග නගරය කොට රජකමට පත්විය. සිය සහෝදර බුවනෙකබාහු කුමරුන් යුවරජකමට පත් කර,
ද්‍රවිඩයින් සමඟ සටනට යන්නට මත්තෙන් දළදා වහන්සේ උදෙසා පූජාවක් පැවැත් විය යුතු
යැයි තීරණය කළ රජු දළදා වහන්සේත්, පාත්‍රා ධාතූන් වහන්සේත් බෙලිගලින් දඹදෙණියට වැඩම
කරවීය. දළදා වහන්සේ වඩා හිඳුවීම පිණිස රමණීය ආසනයක් කරවා එහි දන්ත ධාතූන් වහන්සේ
තැන්පත් කිරීමට ප්‍රථම මහා සංඝරත්නය ඉදිරියේ සත්‍ය ක්‍රියාවක් කළ රජු දළදා වහන්සේ්
මාහට ප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් මැනවි'යි ආයාචනයක් කළේ ය.
රජු සත්‍ය ක්‍රියාව අවසන් කරත් ම දළදා වහන්සේ රජුගේ අතින් අහසට නැඟී දසත ඒකාලෝක
කරමින් සර්වඥයන් වහන්සේගේ රූපය මවා යළි රජු දෝතට ම වැඩියහ. රැස්ව සිටි ජනතාව
සාධුකාර නගද්දී රජු ඔටුන්න සමඟ සිව්සැට අභරණ හැරපියා දළදා වහන්සේට පූජා කොට ධාතූන්
වහන්සේ කරඬුව තුළ තැන්පත් කළේ ය.
දඹදෙණියේ රජ කළ දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු රජ දවස දීර්ඝ කාලීන නියඟයක් හේතුවෙන් රට
වැසියෝ මහත් සේ පීඩාවට පත්වූහ.බෝග වගාවන් පාළුවට ගොස් ජනතාව දැඩි අසරණ තත්ත්වයට
පත්ව සිටය දී රජු දළදා වහන්සේ පෙරහරින් වැඩමවා වැසී වසීවා'යි සත්‍යක්‍රියා කළේ ය.
එවිට මහ වැසි ඇද වැටී, භව බෝග සරු වී රට සශ්‍රීකත්වයට පත්විය.
සිංහලයේ අවසන් රාජධානිය වූ කන්ද උඩරට රාජධානියේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු
දළදා වහන්සේ කෙරෙහි අපමණ සැදැහෙන් පුද පූජා කළ ශ්‍රද්ධාවෙන් අනූන රජෙකි. දෛනික පුද
පූජාවන් ද නොපිරිහෙළා ඉටු කළේ ය. රජු දළදා වහන්සේගේ කිසියම් ප්‍රාතිහාර්යයක් දකිනු
මනාප විය. දළදා තේවාව බාරව සිටි නාහිමියන්ගේ ද අනුශාසනා ලබා ගනිමින් රජු සුවඳ පැන්
ගල්වා රාජභරණ පැළඳ දළදා සමිඳුන් වැඩ හිඳීනා ගන්ධ කුටියට ඇතුළුවත්දී කුටිය සුදු බුදු
රැසින් ඒකාලෝක ව තිබෙනු දුටුවේ ය. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුණු රජ තමන් පැළඳ
සිටි සියලු රන් රිදී අභරණ ඒ මොහොතෙහි ම දළදා සමිඳුන්ට පූජා කළේ ය.
කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහයන් ඉංග්‍රීසී පාලකයින්ගේ ග්‍රහණයට
ගැනීමත් සමඟ 1815 ඓතිහාසික මහ මළුවේ දී අත්සන් තැබුණු උඩරට ගිවිසුමත් සමඟ නිල
වශයෙන් රට ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. ගිවිසුම් ප්‍රකාර ව ඉංග්‍රීසීන්
කටයුතු නොකිරීම හේතුවෙන් උරණ වූ සිංහල නායකයින් 1818 දී දියත් කළ ඌව වෙල්ලස්ස
කැරැල්ල මැඩපවත්වා මහ ජන සංහාරයක් සිදුකළ ඉංග්‍රීසීහූ එතැන් සිට වසර 10 ක් දළදා
පෙරහර පැවැත්වීමට ඉඩ නොදුන්හ.
මෙම කාලය තුළ වැසි නොමැති ව මහා දුර්භික්ෂයක් ඇති විය. ජනතාව ඉන් අපමණ පීඩාවට
පත්වූහ. දළදා පෙරහර නොපැවැත්වීම මෙම ව්‍යසනයන්ට හේතු බව පෙන්වා දුන් රට වැසියෝ දළදා
ප්‍රදර්ශනයක් හෝ දළදා පෙරහරක් පවත්වා මිස මෙම ව්‍යසනයෙන් ගැලවී යා නොහැකි බව
ඉංග්‍රීසීන්ට පෙන්වා දුන්හ. අවසානයේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කරකියා ගත දෙයක්
නොමැති ව 1828 මැයි මස 29 දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දින දළදා
ප්‍රදර්ශනයක් සමඟ පෙරහරක් පැවැත්වීමට අවසර දුන්නේ ය. මෙය ඉංග්‍රීසී පාලනයට රට නතු
වීමෙන් අනතුරුව පැවැත්වූ ප්‍රථම දළදා ප්‍රදර්ශනය විය. දළදා වහන්සේ ශ්‍රී දළදා
මාලිගාවේ වැඩසිටින මාලිගයෙන් මහමළුවට වැඩමවා පෙරහර පැවැත්වීමත් සමඟ ධාරානිපාත වැසි
ඇද වැටී මුළු නුවර ම ජලයෙන් යට වූ බව ඉතිහාසයේ දැක්වෙයි. සි¼දී ගොස් තිබූ ගංගා, ඇල,
දොළ, වැව්, අමුණු සියල්ල ජලයෙන් පිරී ගොස් මහ ජල කඳක් බෝගම්බර වැවට පැමිණීමෙන් වැව
පිටාර ගැලූ අතර, එය දළදා වතුර නමින් ඉතිහාසයේ සඳහන් ව ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා 2017 මැයි මස 12 දින මහනුවරට පැමිණියේ දළදා
සමිඳුන් වැඳ පුදා ගන්නට ය. ඉන්දීය අගමැතිවරයා රට තුළ සංචාරය කළේ එරටින් ගෙන එන ලද
විශේෂ හෙළිකොප්ටර් යානාවකිනි. ඒ මහතාගේ ආරක්ෂාව සඳහා අමතර හෙළිකොප්ටර් යානයක් ද
රැගෙන ඒමට ඉන්දීය ගුවන් හමුදාව කටයුතු කැර තිබිණි. හැටන් නගරයේ පැවැති උත්සවයකට
සහභාගී වීමෙන් අනතුරුව මෝදී මහතා මහනුවරට පැමිණියේ ය. ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන්
විශේෂ දළදා ප්‍රදර්ශනයක් ද පැවැති අතර ඉන්දීය ආරක්ෂක භටයින් ගමන් ගත් හෙලිකොප්ටර්
යානය වරක් ශ්‍රී දළදා මැඳුරට ඉහළින් පියාසර කර තිබිණි. එසේ ගමන්ගත් හෙළිකොප්ටරය
මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ නවතා තබා යළි කොළඹ බලා යෑමට සූදානම් වත්දී එය
අඩි තුනකට වඩා ඉහළට එසවීමට එහි නියමුවාට නොහැකි විණි. ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන්
හෙළිකොප්ටරය ගුවන් ගත කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. දින තුනකට පසු
ඉන්දීය ගුවන් ඉංජිනේරුවන් පිරිසක් පැමිණ හෙළිකොප්ටර් යානය පණ ගැන්වීමට ගත් උත්සාහය
ද ව්‍යර්ථ වීමෙන් පසු සංචාරක මඟ පෙන්වන්නකු පැමිණ දළදා වහන්සේට පුෂ්පෝපහාර පවත්වා
සිදු වූ වරද සම්බන්ධයෙන් සමාව අයදින ලෙස උපදෙස් දුන්නේ ය. එය පිළිගෙන දළදා මැදුරට
ගිය ඉන්දීය ගුවන් භටයින් දළදා වහන්සේ උදෙසා පුෂ්පෝපහාර පවත්වා යළි පැමිණ ගුවන්
යානය පණගැන්වූ අවස්ථාවේ කිසිදු දෝෂයක් නොතිබූ පරිද්දෙන් එය පණ ගැන්විණි. මෙය දළදා
වහන්සේගේ ප්‍රාතිහාර්යය අද ද පවතින බවට කදිම නිදසුනකි.
- අසේල කුරුළුවංශ |