බුද්ධ වචනයේ
සත්‍යය
නිවැරැදි ව තේරුම් ගන්න
උපතින් ම බෞද්ධ පරිසරයන්හි හැදුණු බෞද්ධාගමික පිරිස් පෙර කාලවලට වඩා වැඩියෙන් ආමිස
හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙති.
ගිහි පැවිදි පිරිස් විසින් තමාට ද සමාජයේ අන් අයට ද තම ශක්ති ප්‍රමාණයෙන් සහභාගි
විය හැකි, විවිධ ආකාරයෙහි කුසල් වර්ධනය කර ගැනීමට උපකාර වන පින්කම් සංවිධානය කරති.
මේ ගෙවී යන්නේ බුද්ධ ධර්මයෙහි වේගවත් ප්‍රබෝධයක් සිදුවන කාලවකවානුවකි. අතිධාවනය
හේතුවෙන් ම, ඉක්මනින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ධර්මානුකූල පිළිවෙත්හි
යෙදී, බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල නො ලද විට, එය “ධර්මයේ ගැටලුවක් නිසා
සිදුවූවක් ය” යැයි සිතා, ඉක්මනින් ම ධර්මයෙන් ඈත්වන පිරිස් ද සිටිති. එහෙයින්, ලොව
පවතින අනිකුත් න්‍යායාත්මක ඉගැන්වීම් මෙන් නොවූ, සුවිශේෂී අරමුණක් ඉටු කර ගැනීම
වෙනුවෙන් හඳුන්වාදී ඇති බුද්ධ ධර්මය ඉගෙනීමේ දී ඉක්මන් නොවී, නිශ්චිත වැඩපිළිවෙළක්
සකසා ගෙන, තමාට වැටහෙන මට්ටමක සිට ආරම්භ කර, තමාට පාලනය කර ගත හැකි වේගයකින්,
පුහුණුවීම් කර ගෙන යා යුතු ය. ධර්ම ප්‍රබෝධයෙහි වේගවත් බව නිසා ම, බුදුරජාණන්
වහන්සේ නමක් ධර්මය ලොවට හඳුන්වාදීමේ මූලික අරමුණින් බැහැර විය හැකි බැවින්, ඒ
පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.
ලෝකෝත්තර සුවය
ලෝකෝත්තර වශයෙන් පමණක් නොව, මිනිසාට ලෞකික වශයෙන් ද දියුණුවට පත්වීමට අවශ්‍ය සියලු
ධර්මෝපදේශ, බුද්ධ වචනයට අයත් ය. සියලු සත්ත්වයන් සසර ගමන පුරාවට ම විඳින සියලු
ආකාරයේ දුක් වර්ග හටගැනීමට හේතුවත්, එම දුක් සදහට ම නැති කිරීම සඳහා අනුගමනය කළ
යුතු මාර්ගයත් ඇතුළත් වන චතුරාර්ය සත්‍ය දේශනාව බුද්ධ වචනයෙහි අග්‍රතම මෙන් ම
වටිනාම කොටස වේ. ධර්මයෙහි ඇතුළත් අනෙකුත් ධර්ම කොටස් නොදැන සිටිය ද, චතුරාර්ය සත්‍ය
ධර්මයත්, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය වන්නා වූ මූලික ඉගැන්වීම් කොටසත්
මැනවින් අවබෝධ කර ගත් අයකුට උතුම් නිර්වාණාවබෝධය තුළින් පීඩාකාරි සසර ගමන සදහට ම
නතර කර දැමිය හැකි ය.
බුදුරදුන් කල වැඩ සිටි අස්සජි මහ රහතන් වහන්සේ ද, නිර්වාණාවබෝධය පිණිස භාවනා වඩන
සමයෙහි, බොහෝ ධර්ම කරුණු දැන නොසිටි නමුත්, එක් මූලික ඉගැන්වීමක් හොඳින් වටහා ගෙන
තිබිණි. එනම් “සත්ත්වයා මුහුණදෙන නොයෙක් දුක් පීඩා එකිනෙකට බලපාන හේතුව කුමක්
වුවත්, එම සියල්ලට ම පොදු වනුයේ අවිද්‍යාව මූලික තණ්හාව බවත්, තණ්හාව නැති කර
දමන්නේ නම්, සියලු ආකාරයේ දුක් නැති කළ හැකි බවත්” ය. මෙලෙස, පටිච්චසමුප්පාද ධර්මය
අවබෝධ කර සිටි උන්වහන්සේ ඒ ඔස්සේ සිත මෙහෙයවා භාවනා වඩා රහත් ඵලයට පත්වූහ.
අබුද්ධෝත්පාද කාලයක දී වුව ද, පංචසීල ප්‍රතිපදාව, ධ්‍යානාංග වැඩීමේ ප්‍රතිපත්ති
පැවතිය ද, චතුරාර්ය සත්‍ය ආදී නිර්වාණගාමී ප්‍රතිපදාවට උපකාර වන දේශනාවන් ජීවමාන ව
පවතිනුයේ, ගෙවී යන වර්තමාන කාලය වැනි බුද්ධෝත්පාද කලක දී පමණි. එහෙයින්, අප
විසිනුදු වැඩි කාලයක් සහ උත්සාහයක් චතුරාර්ය සත්‍යය ආදී මූලික ඉගැන්වීම් අවබෝධ කර
ගැනීම පිණිස වැය කළ යුතු ය.
ධර්මයෙහි ඇතුළත් මෙවැනි සියුම් ලෙස තේරුම්ගත යුතු දේශනාවන් මෙන් ම, සරලව තේරුම් ගත
හැකි, ලෞකික ජීවිතයෙහි යහපැවැත්මට උපදෙස් සපයන සිඟාලෝවාද සූත්‍රය ආදී දේශනාවන් ද,
සියල්ලම , බුදුරජාණන් වහන්සේ විසින්, තමන් වහන්සේගේ ඤාණය මඟින් විමසමින් ම දේශනා
කරන බැවින්, එම සියල්ලම, බුදු වදන ම වේ.
අකාලික ශ්‍රී සද්ධර්මයේ සත්‍යය
බුදුරජාණන් වහන්සේ නමක විසින් ලොවට හෙළිදරව් කරනු ලබන ධර්මය ලොව සත්‍ය
ක්‍රියාකාරීත්වය ම පෙන්නුම් කරන ධර්මයකි. ලොව්තුරා බුද්ධත්වයට පත්වීමේ දී උන්වහන්සේ
විසින් සාක්ෂාත් කරනු ලබන ඤාණ ප්‍රභේදයන්, සංඛ්‍යාවන් බොහෝ වන අතර, එම ඤාණ උපයෝගි
කර ගනිමින්, ලොවෙහි ක්‍රියාකාරීත්වය විමසා බලා, ඒවා සිදුවන ආකාරයෙන් ම ලෝකයාට
හෙළිදරව් කරති. එහෙයින්, බුද්ධ වචනය ලොව සත්‍ය ස්වභාවය ම හෙළිදරව් කරන්නකි.
වර්තමානයෙහි වෙසෙන, ත්‍රිවිධ රත්නය පිළිබඳ ගෞරවයක් නොමැති බෞද්ධයන් මෙන් ම, පෙරදිග
ආගමික ඉගැන්වීම් පිළිගැනීමට අකැමැති පිරිස ද, සම්බුද්ධ, දේශිතයෙහි සත්‍ය, අසත්‍ය බව
පරික්ෂා කිරීමට ඵල රහිත උත්සාහයක යෙදෙති. තණ්හාව තුළින් දුක නිර්මාණය වන ආකාරය
සුවිශේෂී මානසික ක්‍රියාවලියක් මඟින් අනාවරණය කළ යුත්තක් මිස, ඇසින් දැකබලා හෝ
විද්‍යාත්මක උපකරණයක් තුළින් හෝ අනාවරණය කර ගත හැකි යමක් නොවන බව වටහා නොගන්නා
ඔවුහු, “යමක් විද්‍යාත්මක නම්, පරීක්ෂණ මෙහෙයවා තහවුරු කළ හැකි විය යුතු ය” යන
න්‍යාය පෙරදැරි කොට ගෙන, බුද්ධ වචනය පරික්ෂා කිරීමට යති.
බුද්ධ දේශනාව විද්‍යාත්මක පරීක්ෂණයක ම ප්‍රතිඵලයකි. අප්‍රමාණ කාලයක් පුරා පාරමී
ධර්ම පුහුණු කර, සම්බුද්ධත්වයට පත්වන බුදුරජාණන් වහන්සේ, “විද්‍යාඥයා” වන සේක.
විද්‍යාගාරය වනුයේ, “සියලු ආකාර කෙලෙස් සම්පූර්ණයෙන් ම ඉවත් කර පිරිසුදු කර ගත්
උන්වහන්සේගේ සිත”යි. නිගමනවලට එළඹීම පිණිස උපයෝගී කර ගනු ලබන්නේ, “බුද්ධ ඤාණ” නම්
වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට සුවිශේෂි වූ ඤාණ සමූහයකි. පරීක්ෂාවට බඳුන් වන
ගැටලුව වන්නේ “අප්‍රමාණ කල්ප ගණනක් පුරාවට සත්ත්වයා, මුහුණපෑ ඕනෑම ආකාරයක දුක්
සියල්ලට ම මූලික හේතුව කුªමක් වූයේ ද?” සහ “එම හේතුව ඉවත් කළ හැක්කේ කෙසේද” යන්නයි.
මෙසේ, ක්‍රමානුකූල පිළිවෙතක් අනුගමනය කරමින්, තම ඤාණයෙන් අවබෝධ කරගත් සත්‍ය කරුණු
කිසිදු හේතුවක් නිසා හෝ වෙනස් නොකොට, ඒවා සිදුවන්නේ කෙසේද? එලෙසින් ම ලොවට අනාවරණය
කළ සේක. එහෙයින් ම, බුද්ධ වචනය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වනවා සේ ම, ලොව සත්‍ය
ක්‍රියාකාරීත්වය මත පදනම්වූවක් ද වේ.
බුද්ධ වචනයේ සත්‍යය අත්විඳින්න
පළමුව, ධර්මය ලොවට හෙළිකළ බුදුරජාණන් වහන්සේගේ චරිත ස්වභාවය ත්‍රිපිටකය ආශ්‍රයෙන්
විමසා දැන ගෙන උන්වහන්සේගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් ඇති කර ගන්න.
උන්වහන්සේගේ ධර්මෝපදේශ අනුව තමාට වඩාත් ගැළපෙන ධර්මානුකූල ප්‍රතිපත්ති නිසි ලෙස
සම්පූර්ණ කර ගන්න.
කායික රෝගයකට වෛද්‍යවරයකු විසින් ඖෂධයක් නියම කරන කල්හි, ඔහුගේ සුදුසුකම් පිළිබඳ
සොයා බලා, ඔහු ගැන විශ්වාසය තබා ඖෂධය ගෙන රෝගය සුව කර ගන්නා සේ, දුක නමැති රෝගයට
බුදුරජාණන් වහන්සේ නමැති වෛද්‍යවරයා විසින් ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාව නමැති ඖෂධයක්
නියම කරන කල්හි, ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාවෙහි කරුණු අනුගමනය කර, දුක නමැති රෝගය
සුව කර ගත යුතු ය. ඖෂධය නොගෙන එහි ගුණ අගුණ පිළිබඳ විවේචනය කරමින් සිටින්නකුගේ රෝගය
සුව නොවන්නාක් මෙන්, ධර්මානුකූල ප්‍රතිපත්ති තමන් විසින් සිදු නොකර එහි ගුණ අගුණ
බලමින් සිටින්නකුට කිසිකලෙකත් ධර්මයෙන් ලැබිය හැකි උතුම් ප්‍රයෝජනය නොලැබේ.
අවම වශයෙන්, ධර්මයෙහි සත්‍යතාව, වටහා ගැනීමට ආරම්භයක් ලෙස, සුළු හෝ ප්‍රතිපත්තියක්
අනුගමනය කර බැලිය යුතු ය. නිදසුනක් ලෙස, කෝපවීමට කරුණක් පැමිණි කල්හි බුදුවදන සිහි
කර, කෝපය වර්ධනය වන අයුරින් සිත් මෙහෙයවීමෙන් වැළකී සිත පාලනය කරගත් විට, “කෝපය
ගින්නකි”යි යන බුදුවදන සත්‍ය බව ඔබ තුළින් ම, ඔබේ අත්දැකීම තුළින් ම වටහා ගත හැකි
වනු ඇත. එබැවින්, ධර්මයෙහි ඇති වටිනාකම අවබෝධ කර ගැනීමටත්, ධර්මයෙහි සත්‍යවාදී බව
වටහා ගැනීමටත්, ධර්මානුකූල ප්‍රතිපදාවන් තමා විසින් ම අනුගමනය කිරීම කළ යුතු ය.
ආර්ය ශ්‍රාවකයාගේ වගකීම
බුද්ධ ශ්‍රාවකයකු හෙවත් ශ්‍රාවක සම්බෝධිය පුරන අයකු යනු, බුදුරජාණන් වහන්සේ නමක්
විසින් දේශනා කරනු ලබන ධර්මය අවබෝධ කර, පිළිවෙත් පූරණය කර, නිවන් අවබෝධ කිරීමට
උත්සාහවන්ත වන අයෙකි. බුද්ධ ශ්‍රාවක වූ අපට කළ හැකි දෙය නම්, බුදුරජාණන් වහන්සේ
දේශනා කළ ධර්මය ගෞරවයෙන් සහ කෘතවේදී ව පිළිගෙන, නිවැරැදි ව අවබෝධ කර, තමාට සුදුසු
පිළිවෙත් තෝරා ගෙන, ඒ ඔස්සේ ධර්මය පුරුදු පුහුණු කර, තණ්හාව සම්පූර්ණයෙන් ම අහෝසි
කර දැමීම තුළින් නිවන් අවබෝධ කර ගැනීමයි.
නිවන් අවබෝධය අරමුණු කර ගෙන මහත් භක්තියෙන් ධර්මය හදාරනු විනා, නම්බු නාම, තානාන්තර
ලබා ගැනීමට හෝ උගත්කම් කියාපෑමට ආදී ධර්මානුකූල වශයෙන් ලාමක වූ ලෞකික අරමුණු
මුදුන්පත් කර ගැනීම පිණිස ධර්මය හැදෑරීම ඔබ විසින් නැවැත්විය යුතු ය. බුද්ධෝත්පාද
කාලයක කල්ගත කරමින් සිටින, ධර්මය සම්මුඛවීමට අවකාශ ලබා සිටින අප වැනි
පුණ්‍යවන්තයන්ට එවැනි ලාමක පිළිවෙත් නොගැළපේ.
කලණ මිතුරු ඇසුර...
බුද්ධ වචනය සත්‍යය යි. එහි කිසිදු ආකාරයක අසම්පූර්ණ බවක් ද නොමැත. ධර්මයෙහි සැබෑ
ස්වභාවය එසේ වුවත්, අප බුද්ධ වචනය වරදවා වටහා ගතහොත්, එවිට ද ධර්මයෙන් ලැබිය හැකි
නිසි ප්‍රයෝජනය නොලැබී යන්නේ ය.
ඕනෑම ධර්ම කරුණක් තමා විසින් විස්තර කර තේරුම් ගැනීමේ දී, නිසි, නොනිසි බව පසෙකට
දමා, තමාට කැමැති ඕනෑම ආකාරයකට එය තේරුම්ගත හැකි ය. වර්තමානයේ බොහෝ දෙනකු මුහුණපාන
ගැටලුව වන්නේ ද සත්‍ය වූ ධර්මය වටහා ගැනීමේ දී, වටහාගත යුතු ආකාරයෙන් නොව, තම
කැමැත්ත, මතය, සිතන ආකාරය ආදිය තහවුරු කර ගත හැකි වන පරිදි ධර්ම කරුණක් විස්තර කර
ගැනීමයි.
තම කටයුතු කිරීමට කම්මැළි චරිතයක් ඇතියකු “සියල්ල දුක් සහගත ය” යන බුද්ධ වචනය
“කුමක් කළත් දුක් ගැහැට විඳීමට සිදුවන බැවින් ලැබෙන දෙයක් කා බී ඉන්නා තෙක්
ජීවත්වීම හොඳ ය.”යනුවෙන් සාවද්‍ය ලෙස වටහාගත හැකි ය.
මෙය එක සරල නිදසුනක් පමණි. මෙයින් අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වනුයේ, තමා තුළ
ලෝභ, ද්වේෂ, මෝහ මූලික වූ සිතුවිලි බලවත් ව පවතිනතාක්, එම සිතුවිලි තහවුරු කිරීම
පිණිස ධර්මය භාවිත කරනු විනා, එම සිතුවිලි මුලිනුපුටා දැමීම පිණිස ධර්මය භාවිත
නොකරන බවයි. එහෙයින්, යම්තාක් මට්ටමකට හෝ අකුසල් සිතුවිලි ඉවත් කර නොගත් සිතකින්
ධර්මය වටහා ගැනීම සමාන වන්නේ කිලිටි වූ බුරුසුවකින් බිත්තියක සුදු තීන්ත ආලේප
කිරීමකට යි.
කිලිටි වූ බිත්තියක සුදු තීන්තයක් ආලේප කරනුයේ එහි කිලිටි බව නැති කර බිත්තියට
වටිනාකමක් සැපයීමට ය. නමුත්, තීන්ත ආලේප කිරීමට භාවිත කරන බුරුසුවෙහි ඇති අපවිත්‍ර
දෑ ඉවත් නොකර, එසේ තිබියදී ම තීන්ත ගෙන ආලේප කළ විට, අවසානයේ දී, කිලිටිව තිබූ
බිත්තිය තීන්ත සමඟ මුසු වූ අපද්‍රව්‍ය නිසාවෙන් තවත් කිලිටි වී තිබේ. කුඩා දුහුවිලි
ආදිය ඉවත්කිරීම අපහසු නමුත්, අවම වශයෙන් බුරුසුවෙහි තිබූ පැහැදිලිව පෙනෙන මකුළු
දැල්, වියළුණු තීන්ත කැබලි ආදිය හෝ ඉවත් කළේ නම්, තීන්තවල සුදු වර්ණය අවපැහැවීම අඩු
කර ගත හැකි ව තිබිණි. නොදන්නාකම නිසාම බුරුසුවෙහි අපිරිසුදුභාවය ගැන නොකියා වෙනත්
කෙනෙකු නිපදවූ තීන්තවලට දොස් පැවරීම සාමාන්‍ය සිරිතකි.
ධර්මය ද වරදවා වටහාගත්විට වන හානිය ද මෙසේ ම ය. අවිද්‍යාවෙන් මුළා වූ පුද්ගලයාට
ධර්මය කියා දෙනුයේ ඔහුගේ අවිද්‍යාව දුරුකර, ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක්
සැපයීමට ය. නමුත්, ධර්මය අවබෝධ කර ගැනීමට භාවිත කරන මනසෙහි ඇති කෙලෙස් ඉවත් නොකර,
එසේ තිබිය දීම ධර්ම කරුණු තේරුම් ගැනීම සිදුකළ විට අවසානයේ දී, අවිද්‍යාවෙන් මුළා
වූ පුද්ගලයා, වැරදියට වටහාගත් ධර්මය නිසාවෙන් තවත් මුළාවී තිබේ. ආරම්භයේ දී ම,
සියුම් කෙලෙස් ඉවත් කිරීම අපහසුවන නමුත්, අවම වශයෙන් පැහැදිලිව තමාට ම හඳුනාගත හැකි
කෙලෙස් කිහිපයක් හෝ ඉවත් කළේ නම්, ධර්මය වරදවා වටහා ගන්නා ප්‍රමාණය අඩු කර ගත හැකි
ව තිබිණි.
බුද්ධ වචනය, තේරුම්ගත යුතු ආකාරයෙන් බැහැර ව, තමාට කැමැති අයුරින් අර්ථකථනය කර ගත්
විට, ලෝකෝත්තර දියුණුව තබා ලෞකික දියුණුව ද නැතිවී ගොස් මහත් චිත්ත පීඩාවකට පත්වීමට
සිදුවේ. ධර්මය නිසි සේ වටහා ගත් ගුරුවරයකුගේ හෝ කල්‍යාණ මිත්‍රයකුගේ සහාය ලැබෙන
තෙක් ඔහු වරදවා වටහාගත් ධර්මය ඇසුරින්, තමා ද මුළාවී සමාජයේ අන් අය ද මුළා කර, සැමට
මහත් විපතක් සිදුකරයි.
එහෙයින්, උතුම් වූ ධර්මය නිවැරැදි ලෙස වටහා ගැනීම පිණිස, ධර්මය අවබෝධ කර ගැනීමට
පෙර, තම සිතෙහි පවතින බලවත් වූ කෙලෙස් ප්‍රමාණය හෝ ආරම්භයේ දී ඉවත් කර ගතයුතු ය.
ත්‍රිවිධ රත්නයෙහි ගුණයන් පිළිබඳ නොවෙනස්වන විශ්වාසයක් පිහිටුවා ගැනීම,අවම වශයෙන්
පංචශීලයෙහි අන්තර්ගත ප්‍රතිපත්ති පහ ම මනා අවබෝධයෙන් හා ප්‍රත්‍යවේක්ෂා කරමින්
පිළිපැදීම, ප්‍රතිපත්ති පූජාවන්ට අමතරව ආමිස පූජාවන්හි ද ශක්ති ප්‍රමාණයෙන් නිරතවීම
ආදි විවිධාකාර නිවැරැදි ධර්මානුකූල පිළිවෙත් තුළින් සිතෙහි ඇති කෙලෙස් බොහෝදුරට
යටපත් කර, ධර්මය නිවැරැදි ව වටහා ගැනීමට සුදුසු පරිසරයක් සිත තුළ නිර්මාණය කර දෙයි.
ධර්මය අවබෝධ කර ගැනීමට, උත්සාහ කිරීමේ දී, යම් ධර්ම කරුණක් තමාගේ නුවණින් වටහා ගත
නොහැකි වන විටදී හෝ, “එසේත් විය හැකි යැයි අවිශ්වාසයක් මතුවනවිට දී හෝ “එය තමාගේ
ධර්ම ඤාණය මුහුකුරා ගොස් නො තිබීම නිසා ඇතිවූවක් මිස ධර්මයෙහි ගැටලුවක් නිසා වූවක්
නොවේ ය” යන්න නිතර ම මෙනෙහි කළ යුතු ය.
ටී. සේනානායක |