Print this Article


බොරු කියන්නාට අපරාධයේ සීමා මායිම් නොමැත

බොරු කියන්නාට අපරාධයේ සීමා මායිම් නොමැත

එක් අවස්ථාවක බුදුරදුන් රජගහනුවර වේළුවනයේ දී සවස් කාලයෙහි ඵලසමවතින් නැඟිට අම්බලට්ඨිකා පහයෙහි වසන රාහුල සාමණේරයන් වෙත වැඩම කළ සේක.

ඈත තියා වැඩම කරන බුදුපියාණන් දුටු රාහුල හිමියෝ බුදුසිරිපා සේදීමට දිය බඳුනක් සූදානම් කොට තැබූහ. වැඩම කළ බුදුරදුන් අසුනෙහි වැඩ සිටියාට පසු පාදෝවනය කළහ. අනතුරුව උන්වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන් ඇමතූහ.

බුදුහිමි – රාහුලයෙනි, මේ දිය බඳුනෙහි ඉතිරි වූ වතුර ටික ඔබට පෙනෙනව ද?

රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!

බුදු හිමි – ඒ වගේ යම් කෙනකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජාවක් නැති නම් ඔහු ළඟ ගුණධර්මත් ඉතාම ටිකයි.

ඉන්පසු ඒ ඉතිරි වූ වතුර ටික එළියට විසිකොට මෙසේ විමසති.

බුදුහිමි – රාහුලයෙනි, ඉවත දැමූ වතුර ටික දුටුවෙහි ද?

රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!

බුදුහිමි – ඒ වගේ යම් කෙනකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජාවක් නැතිනම් ඔහුගේ

ගුණධර්මත් එළියට විසිවෙලා යනවා.

ඉන්පසු ඒ දියබඳුන යටිකුරු කොට තබා මෙසේ විමසති.

බුදුහිමි – රාහුලයෙනි, යටිකුරු කළ මේ දියබඳුන පෙනෙනවා ද?

රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!

බුදුහිමි – ඒ වගේ යම් කෙනකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජාවක් නැතිනම් ඔහුගේ ගුණධර්මත් යටිකුරු කරන ලද්දක් වෙනවා.

ඉන්පසු ඒ දිය බඳුන උඩුකුරු කොට තබා මෙසේ විමසති.

බුදුහිමි – රාහුලයෙනි, හිස් වූ මේ දිය බඳුන පෙනෙනවා ද?

රාහුල හිමි – එහෙමයි ස්වාමීනි!

බුදු හිමි – ඒ වගේ රාහුල යමකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජාවක් නැති නම්, ඔහුගේ ගුණධර්මත් හිස්වෙලා, පිළිකුල් සහගත වෙනවා.

බුදුපියාණන් වහන්සේ රාහුල හිමියන්ට බොරු කියන්නාගේ තත්ත්වය පැහැදිලි කළ ආකාරය කෙතරම් චමත්කාර ද? බොරු කීමේ බරපතළකම තවදුරටත් කියා දෙන බුදුහිමියෝ මෙසේ පවසති.

‘රාහුලයෙනි, රජකෙනකුට විශාල දළ ඇති, මහා ශක්තිය ඇති යුද බිමට ගිය ඇත් රජෙක් ඉන්නවා. ඒ ඇතා තමාගේ හැම ශරීරාංගයක් ම යොදාගෙන යුද බිමේ සටන් කළත් තමාගේ හොඬය යොදා නොගන්නා විට ඇත්ගොව්වා සිතන්නේ මේ ඇතා ජීවිත පරිත්‍යාගයෙන් සටන් නොකරන ඇතෙක් බවයි. රාහුල, තව ඇතෙක් ඉන්නවා, හොඬවැල ඇතුළු තමාගේ සියලු ශරීරාංග යොදාගෙන යුදබිමේ ජීවිත පරිත්‍යාගයෙන් රජුට සේවය කරනවා. එවිට ඇත්ගොව්වා හිතනවා ඇතා විසින් රජුට කළ යුතු තවත් කටයුත්තක් නැතැයි කියා.

ඒ වගේ රාහුලයෙනි, යම්කිසිවකුට දැන දැන බොරුකීමෙහි ලජ්ජා නැත්ද? ඔහුට කරන්න බැරි පාපයක් නැතැයි මම කියමි. ඒ නිසා රාහුල,සෙල්ලමට වත් බොරු නොකියමි'යි මෙසේ හික්මිය යුතුයි.’

දිවි පරදුවට තබා සටන් කරන ඇතකු ඕනෑම අපරාධයක් කිරීමට සූදානම් ය. ඒ ඇතාට අපරාධයේ සීමා මායිම් නැත. මේ සිල්වතෙකි, මේ ගුණවතෙකි, මේ රහත් කෙනෙකි, මේ මහල්ලෙකි, මේ පුංචි දරුවෙකි යැයි වෙනසක් නැති ව සියල්ල විනාශ කොට දැමීම උගේ ඉලක්කයයි. දැන දැන බොරු කියන්නාත් ඕනෑම අයකු පාවාදී සියලු දෙනා ම විනාශ කොට තමන් ද විනාශ වන්නෙකි. ඒ නිසා බොරු කියන්නාට අපරාධයේ සීමා මායිම් නැති බව තේරුම් ගත යුතුයි.