Print this Article


දෙලොව අගතිය සදන වංචනික ධර්ම

දෙලොව අගතිය සදන වංචනික ධර්ම

අත්ථිමේ අජ්ඣත්තං අංගණන්ති
නප්පජාහාති
තප්සේතං පාටිකංඛං න ඡන්දං
න වායමිස්සති, න වීරියං
ආරභිස්සති තස්සංගණස්ස
පහානාය සෝ සරාගෝ, සදෝසෝ
සමොහෝ
සාංගණෝ සංකිලිට්ඨ චිත්තෝ
කාලංකරිස්සති

කෙලෙස් තිබෙන බව හඳුනාගත් පුද්ගලයා කෙලෙස් නැති කිරීමට කැමැත්තක් ඇති කර ගන්නවා. ඒ කැමැත්ත නිසා ම කෙලෙස් නැති කිරීමට උත්සාහ කරනවා.

අනතුරුව ඒ සඳහා වීර්ය ඇති කර ගන්නවා. මේ තත්ත්වය මත එම පුද්ගලයාගේ කෙලෙස් අඩු වී නොකැලැල් සිතින් මරණයට පත්වෙනවා.

යම්කිසි පුද්ගලයකු රන්කරුවකුගෙන් හෝ වෙනත් වෙළෙඳසලකින් හෝ දූවිලි බැඳුණු, අපවිත්‍ර වූ රනින් කළ භාජනයක් මිල දී ගන්නවා. එම රන් භාජනය පාවිච්චි කරන්නේ නැති ව අපවිත්‍ර තැනක දැමුවොත් දිරාපත් වෙනවා. ඒ වගේ කෙලෙස් ඇති බව නොදන්නා පුද්ගලයා ඒ හේතු කොට ගෙන විනාශයට පත්වෙනවා. නමුත් එම භාජනය පිරිසුදු කොට පාවිච්චියට ගතහොත් එය ඔපමට්ටම් වෙනවා. ඒ අයුරින් තමන් ළඟ කෙලෙස් ඇති බව දන්නා පුද්ගලයා කෙලෙස් නැති කිරීමට උත්සාහ කරනවා.

පාපකානං කෝ ඒතං ආවුසෝ අකුසලානං ඉච්ඡාවරානං

සිත විවිධ, විවිධ කැමැති තැන්හි අරමුණු ගැන්වීම මෙහි අංගන ලෙස සැලකෙනවා.

උදාහරණයක් වශයෙන් භික්ෂූන් වහන්සේ නමක් දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය ශ්‍රවණය කිරීමට වඩිනවා. ඒ භික්ෂුව එසේ වඩින අතරේ කල්පනා කරනවා මගේ නම් කිය කියා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළොත් කොතරම් හොඳ ද කියලා. එ දවස බුදුරජාණන් වහන්සේ දම් දෙසන විට එහෙම නේද ආනන්ද, එහෙම නේද, සාරිපුත්ත ආදී වශයෙන් සාම්ප්‍රදායානුකූල ව අතරමැද විමසීම් කරනු ලබනවා. නමුත් එදා අර භික්ෂුවගේ නම බුදුරජාණන් වහන්සේ සදහම් දෙසන අතරේ ප්‍රකාශ කළේ නැහැ. එවිට එම භික්ෂුව නොසතුටට පත්වෙනවා. කිපෙනවා. මේ හැඟීම් දෙක ම වැටෙන්නේ කෙලෙස් ගණයට යි. මේ ආකාරයෙන් අපට කොතෙක් නම් කෙලෙස් ඇතිවෙනව ද?

යම්කිසි විහාරස්ථානයක කඨින කාලයේ දී සංඝරත්නය විෂයයෙහි දානයක් දෙන බව ප්‍රකාශයට පත් කර ඒ සඳහා පිරිකර භාර ගන්නැයි දායකයන්ට ආරාධනා කළා කියන උදාහරණයක් වශයෙන් සිතුවොත් එවිට එම පිරිකර දායකයන් තමන්ගේ හැකියාව අනුව භාර ගනු ලබනවා. දැන් දානය දෙන දිනය එළැඹුණා. දානයත් පිළිගන්වනු ලැබුවා. සංවිධායක මහත්මයකු හෝ කවුරුන් හෝ අවසානයේ දී නම් කතා කර කර එක් එක්කෙනාට තමන්ගේ පිරිකර පූජා කරන ලෙස දන්වා සිටින්න පුළුවන්. එම අවස්ථාවේ දී පිරිකර භාරගත් එක් දායක මහත්මයකුගේ නම වැරැදිලා හෝ ප්‍රකාශ නොකළහොත් සමහරවිට එම දායක මහතාට කේන්ති යන්න පුළුවන්. නැති නම් නොසතුටට පත්වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේ දී ම තිබෙන්නේ කෙලෙස්. සමහරවිට එම දායක මහතා තවත් දුරදිග ගොස් රණ්ඩුසරුවල් පවා ඇති කර ගන්න පුළුවන්. එසේ වුවහොත් නිවැරැදි ව අවබෝධ කර නොගැනීමයි.

අප දන් දිය යුත්තේ අප තුළ පවතින ලෝභ, ද්වේෂ, මෝහ නැති කිරීම සඳහා යි. දන් දුන් විගස මේවා සහමුලින් ම නැති වන්නේ නැහැ. නමුත් දානය දීමට හුරුවීමෙන් ක්‍රමයෙන් මෙම අකුසල් මූලයන් අඩු කර ගැනීමට පුළුවන්.

සිඟන්නකු අපෙන් යමක් ඉල්ලූ විට අප ඔහුට යම් මුදලක් දෙන්නේ සතුටින්. මේ මුදල ලබා ගත් සිඟන්නා යන අතරේ මත්වතුර පානය කරනවා. මුදල දුන් පුද්ගලයා ම සිඟන මනුස්සයා බීමත් ව සිටින අයුරු පසු ව දකිනවා. කන්න නැහැ කියලා මුදල් ඉල්ලූ සිඟන්නා ඉන් බීමත් වූ විට මුදල් දුන් පුද්ගලයාට කේන්තියක් එන්න පුළුවන්. අර පුද්ගලයා යම් මුදලක් සිඟන්නාට දීමෙන් ඇති කර ගත්තේ පිනක්. නමුත් මුදල දීම නිසා ම ඔහුගේ සිතේ දැන් ද්වේෂයක් ඇතිවෙලා තිබෙනවා. අපි යමක් දිය යුත්තේ පිහිටක් බලාපොරොත්තුවෙන් නොවේ. අප දන්දිය යුත්තේ එලෙසයි. සමහර පුද්ගලයෝ දන් දෙනවා. නමුත් දන් දෙන්නේ බැණ බැණයි. එම දන් දීමෙනුත් අපට යමක් ලැබෙන්න පුළුවන් වේවි. නමුත් එය විඳින්න බැරි වේවි. සමහර ධනවත් පුද්ගලයන්ට කොපමණ සැප සම්පත් තිබුණත් ඒවායින් නිසි විඳීමක් නොලබන්නේ ඇයි? ඔවුන් දන් දුන් නිසා වස්තුව ලැබුණත් දන් දී ඇත්තේ බැණ බැණයි. අප දන්දිය යුත්තේ සියලු ද්වේෂ සහගත සිතුවිලිවලින් මිදිලයි.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයට සාපේක්ෂ ව අද වනවිට ක්ලේශයන් ඇති වන මාර්ග වැඩිවෙලා තිබෙනවා. එදා කරත්තයක් තිබුණු මනුස්සයෙක් උත්සාහ කළේ බර බාගයක් මිල දී ගැනීමටයි. බරබාගයක් තිබෙන මනුස්සයකු කල්පනා කළා අශ්ව කරත්තයක් මිල දී ගත්තා නම් හොඳයි කියා. ඒ දවස්වල ඊට එහා ගිය වාහනයක් නොතිබුණ නිසා මිනිසුන්ගේ වාහන සම්බන්ධ අත්පත් කර ගැනීමේ වුවමනාව එතැනින් නිමාවට පත්වුණා.

ඒත් අද එහෙම ද? අද පාපැදියක් තිබෙන මනුස්සයා කල්පනා කරන්නේ යතුරු පැදියක් මිල දී ගැනීමට යි. යතුරුපැදියක් හිමි තැනැත්තා ත්‍රීරෝද රථයක් ගන්න උත්සාහ කරනවා. ත්‍රිරෝද රථයක් හිමි තැනැත්තාගේ ඊළඟ ආසාව වනුයේ මෝටර් රථයක් මිල දී ගැනීමයි. මෝටර් රථවලත් කොතරම් නම් වර්ග තිබෙනවා ද? සැප පහසුවට සිටින බව සිතන මෝටර් රථයක් හිමි පුද්ගලයා උත්සාහ කරන්නේ තමන් ළඟ ඇති මෝටර් රථයට වඩා හොඳ මෝටර් රථයක් මිල දී ගැනීමටයි.

අද සමාජයේ ආශාවන් වැඩිවීමේ හේතු වැඩියි. ආශාවන් වැඩිවීමට සාපේක්ෂ ව ලෝභ, ද්වේෂ මෝහයත් වැඩි වෙනවා. ඒ නිසා කළ යුත්තේ මේවා වඩා හොඳින් තේරුම් ගෙන ජීවත්වීමයි. ක්ලේශයන් මැඩපැවැත්වීමයි.

සමහරවිට මේ ක්ලේශයන් රැඳී සිටිනුයේ කාරුණික ස්වභාවයෙන් වෙන්න පුළුවන්. ශ්‍රද්ධා ස්වභාවයෙන් වෙන්න පුළුවන්. මේවා වංචනික ධර්ම ලෙසයි සැලකෙන්නේ.