Print this Article


මසැස නොදකින ලොව මනසින් දකිමු

මසැස නොදකින ලොව මනසින් දකිමු

“දුල්ලභංච මනුස්සත්තං”
මිනිස් ජීවිතය දුර්ලභ ය.

“සුඛො බුද්ධානං උප්පාදො” බුදුරජාණන් වහන්සේගේ උපත සුවයකි. ඒ බුද්ධෝත්පාද කාලයේ දී යි අප මේ ජීවිතය පවත්වන්නේ. එයින් ප්‍රයෝජනයක් ගත යුතුයි යන අදහස දැකිය යුතුයි.

එසේ නොවන, මේ ධර්ම මනසිකාරය නො පවත්වන වැඩි පිරිසක් මොන තරම් කරුණාවෙන් පෙන්වා දුන්නත් ලබා ගත් මනුෂ්‍ය ජීවිතය මොනතරම් වටිනව ද යන්න අමතක කොට දූෂ්‍ය වූ සිත් ඇති ව හැසිරෙනවා ද? සතර අපායෙන් ඔබට පෙනෙන තිරිසන් ලෝකය ගැනවත් අඩුම තරමේ දකින්න.

මනුෂ්‍ය ලෝකයේ ජනගහනය කෝටි හත්සියයකට ටිකක් වැඩි ය. එහෙත් එක් කූඹි ගුලක කූඹි ප්‍රමාණය මොන තරම් දැ යි සිතා බලන්න.

මිනිසුන්ගේ ආහාර පිණිස, එළුවන්, බැටළුවන්, කුකුළන්, ගවයන් වැනි මරණයට පත් කරන සත්වයන් මෙන් ම ස්වභාවික ව මියයන සත්වයන් මොනතරම් ද?

බුදුරජාණන් වහන්සේ සරණ යනවා යැයි බුද්ධං සරණං ගච්ඡාමි” යනුවෙන් වචනයකට සීමා නොකොට මේ දුර්ලභ මිනිසත් බවින් ප්‍රයෝජන ගන්න.

උපරිම වසර සියය, එකසිය විස්ස ඇතුළත සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතය කෙළවර වෙයි. එහෙත් පටිසන්ධි විඤ්ඤාණය සකස් වූ මව් කුසේ සිට වැඩෙන දස මසක කාලයේ ඕනෑ ම මොහොතක මරණය සිදුවිය හැකියි. ඕනෑම රාත්‍රියක් අවසන් රාත්‍රිය කර ගෙනයි ජීවිතය පවත්වන්නේ. ඕනෑ ම හිරු උදාවක්, ඕනෑ ම මධ්‍යහ්නයක්, ඕනෑ ම සන්ධ්‍යාවක් ජීවිතයේ අවසන් හුස් ම පොදට අවස්ථාවක් කර ගෙන නොවේ ද මේ ජීවිතය පවත්වන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ මරණයට ගොදුරු වන මිනිසුන්ගෙන් නැවතත් මනුෂ්‍යයන් බවට පත්වන්නේ ඉතාම අඩු පිරිසක් බවයි. වැඩි පිරිසක් මනුෂ්‍යයන් නොවන වෙනත් ස්ථානයන්හි වෙනත් අවස්ථාවන්හි උපත ලබන බවයි.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයෙහි දිනක් තමන් වහන්සේගේ නිය මතට පස් ස්වල්පයක් ගෙන උන්වහන්සේ අබියස වැඩ සිටි භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළ සේක. මහණෙනි, මාගේ මේ නිය මත තිබෙන පස් ස්වල්පය ද වැඩි, මහ පොළොවේ තිබෙන පස් ද වැඩි යනුවෙනි. එවිට භික්ෂූන් වහන්සේ සඳහන් කළේ මහ පොළොවේ පස් බොහොමයි යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහණෙනි, යම් කෙනෙක් මරණින් මතු මනුෂ්‍යයෙක් ලෙස උපදින්නේ නම්, ඒ ඉතා ම අල්පයි. ඒ වගේම යම් කෙනෙක් මනුෂ්‍ය ලෝකයෙන් වෙනත් තැනක උපදිනවා නම් ඒ සත්වයෝ ඉතා ම වැඩි බවයි.

මේ උපමාව ඉතා ම සරලයි. ඔබත්, අපත් මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ කුමන ආකාරයකින් සිහිපත් කළ යුතු ද කියා නුවණින් විමසා බලමු.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ මේ නියපිටට හසු වූ තරම් පස් ප්‍රමාණයක, තරමින් මනුෂ්‍යයන් ව උපදින බවයි. මනුෂ්‍යයන් නොවී අන් තැනක උපදින සත්වයෝ මේ මහ පොළොව හා සමානයි. එසේ නම් අන් තැනක උපදින සත්වයෝ බ්‍රහ්ම ලෝක විස්ස, දිව්‍ය ලෝක හය, මනුෂ්‍ය ලෝකය හැරුණ විට වඩාත් ම ප්‍රමාණයක් උපත ලබන්නේ සතර අපායේ යි.

කෙළවරක් දකින්නට නැති, ආරම්භයක් නොපෙනෙන මේ සංසාර ගමනේ අවිද්‍යාව නිසා, ඇලීම සහ ගැටීම ඇති කර ගෙන අකුසල කර්ම වඩාත් රැස්වෙනවා. තෘෂ්ණාවේ බැඳෙනවා. දුවගෙන යනවා. ඇවිදගෙන යනවා. ඒ කියන්නේ මේ සංසාර චක්‍රය තුළ දුක් විඳිමින් ගමන් කරනවා යන අදහසයි. ඉපදෙමින්, මරණයට පත්වෙමින් ගමන් කරනවා යන්නයි.

තියුණු ලෙස දුක් වින්දා. ඒ වගේ ම මහත් වූ ව්‍යසනයන්ට හසුවුණා. මේ මහපොළොවේ සෑම බිම් අඟලක් ම සුසානයක් බවට පත්ව තිබෙනවා.

ාසතර අපාය මුල් කර ගෙන විඳින්නට තිබෙන දුක් පිළිබඳ තේරුම් ගන්න උත්සාහ කරන්න.

සෑම කෙනෙක් ම දීර්ඝ කාලයක් මේ සංසාර ගමනේ දුක් වින්දා. මේ මනුෂ්‍ය ලෝකයේ ඉපිද, අවිද්‍යාවට හසුව බොහෝ දුක් වින්දා. හේතු ප්‍රත්‍ය කර ගෙන සකස් වන යමක් වේ ද, ඒ හේතුන්ගේ විසර යෑමෙන් මේ සියලු සංස්කාර ධර්මයෝ නැසී යනවා. අවිද්‍යාව නිසා මනුෂ්‍ය ලෝකයේ ඉපදී මව,වෙනුවෙන් පියා වෙනුවෙන්, සොහොයුරු – සොහොයුරියන් වෙනුවෙන්, තම දූ දරුවන් වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් මෙන් ම තම භෝග ව්‍යවසනයේ දී මෙන් ම ලෙඩ - දුක් ඉදිරියේ දී වැගුරූ කඳුළු සිවු මහා සාගරයේ ජල කඳට වඩා වැඩියි.

මනාපයන්ගෙන් වෙන් වන විට, අමනාපයන් සමඟ එකතු වන විට මේ දෙක ම එක තැන සකස් වෙනවා. මනාපයන්ගෙන් වෙන් වෙනවා කියන්නේ ම අකැමැති දෙයක් සිද්ධ වෙනවා කියන අදහසයි. අමනාප සිතිවිලිවලට මුහුණ දෙනවා කියන අදහසයි. මනාපයන්ගෙන් වෙන්වන විට, අමනාපන් හා එක්වන විට වැගිරූ කඳුළු සිවු මහා සාගරයේ ජල කඳට වඩා වැඩි බව පෙන්වා දී තිබෙනවා. එසේ නම් මොනතරම් දුකක් ද යන්න පැහැදිලියි. මේ ආකාරයෙන් පැහැදිලි කළේ මනුෂ්‍ය ලෝකයේ ස්වභාවයි.

දුර්ලභ ව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථ ධර්මය අවබෝධ කර ගන්න. ඒ සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච, දුක්ඛ, අනත්ත, ත්‍රිලක්ඛණ ධර්මයට යටත් කොට දැක සම්මුතියට මම, මගේ යැයි පරිහරණය කළත්, පරමාර්ථ වශයෙන් කර්ම සකස් නොවන තැනකට සිත, සිහිය පිහිටුවා ගන්න. අපහසු වුණොත් කර්ම රැස්වීම් දුර්වල වන, අඩු වන ආකාරයට සිහිය පිහිටුවා ගන්න. එයත් අපහසු වන්නේ නම් එහි දී කර්ම විඤ්ඤාණය වැඩෙනවා. කර්ම භවය, උත්පත්ති භවය සකස් වෙනවා යැයි සඳහන් කළේ එයයි. මේ ස්වභාවයට පත් නොවී කර්ම ක්ෂය කොට දුකින් නිදහස් වීමට මේ ලබා ගත් මනුෂ්‍ය ජීවිතය අපට ඉතා ම හොඳ අවස්ථාවක් වෙනවා.