දීන ලෝකයට
අදීනත්වය උරුම කර දුන් චින්තන විප්ලවයක සමාරම්භය
කනංකේ විජිතනන්ද හිමි
“නිදහස් චින්තනය හා විමර්ශනය බෙහෙවින් අගය කළ බුදුන්වහන්සේ බුද්ධියට අනුව ක්‍රියා
කිරීම ඉතා අගය කොට ඇත. ඒ බව විමංසන, අරිය පරියේෂණ, බ්‍රහ්මජාල, කාලාම, මහා
පරිනිබ්බාන, චංකී, මහා වේදල්හ, මහා තණ්හා සංඛය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා දෙස
අවධානය යොමු කිරීමේ දී මැනවින් සනාථ වෙයි.”
මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා ලෙස අප ගෞතම බුදුරජාණන් වහන්සේ පිදුම් ලබන
බවට විවාදයක් නොමැත. මිනිසාට නිදහසේ සිතන්නට හා විමර්ශනයෙහි යෙදෙන්නට දහම තුළින්
ඉගැන්වීම සඳහා බුදුන්වහන්සේ නිදහස් චින්තකයකු බව මැනවින් පැහැදිලි වෙයි.
“නා චිත්ත යන්තෝ පුරිසෝ විසේ සමඨිගච්ඡති” යන උතුම් බුද්ධ දේශනාවට අනුව අලුතින් යමක්
සිතන පුද්ගලයා තුළ විශේෂයක් දැකිය හැකි අතර, එසේ නොසිතන්නාට දියුණුව කරා ගමන් කළ
නොහැකි බව බුදුහිමියන්ගේ ඉගැන්වීමයි. නිදහස් චින්තනය හා විමර්ශනය බෙහෙවින් අගය කළ
බුදුන් වහන්සේ බුද්ධියට අනුව ක්‍රියා කිරීම ඉතා අගය කොට ඇත. ඒ බව විමංසන, අරිය
පරියේෂණ, බ්‍රහ්මජාල, කාලාම, පරිනිබ්බාන, චංකී, මහා වේදල්හ, මහා තණ්හා සංඛය ආදී ඉතා
ප්‍රසිද්ධ සූත්‍ර දේශනා දෙස අවධානය යොමු කිරීමෙන් මැනවින් සනාථ වෙයි. ක්‍රි.පු. 6
වැනි සියවස තුළ බ්‍රාහ්මණ ආධිපත්‍යය හමුවේ මිනිසුන්ට සිතීමේ හා විමර්ශනය කිරීමේ
නිදහස බමුණන් විසින් අහිමි කර තිබූ කාලවකවානුවක දී අප ගෞතම බුදු හිමියන් එම නිදහස
පුද්ගලයාට කිසි
පැකිළීමකින් තොරව උදාකර දුන්හ.
කොසොල් රට කේස පුත්‍ර ග්‍රාමයේ කලාමයන් උදෙසා දේශීත කාලාම සූත්‍රය මඟින් චින්තන හා
විමර්ශන නිදහස පිළිබඳ ව ඉතා ප්‍රශංසනීය කරුණු දහයක් බුදු හිමියන් පෙන්වා දී ඇත.
එහි සඳහන් කරුණු දහය මෙසේ ය.
මා අනුස්සවෙන - යමකුගෙන් ඇසූ පරිදි, මා පරම්පරාය - සම්ප්‍රදායට අනුරූප වූ පරිදි, මා
ඉතිකිරාය - මෙය මෙසේ යැයි කී පමණින්, මා පිටක සම්පදානේන - පොතපතෙහි සඳහන් වූ
පමණින්, මා තක්ක හේතු - තර්කයට ගැළපෙන පමණින්, මා නය හේතු - න්‍යායානුකූල වූ
පමණින්, මා ආකාර පරිචිතක්කේන - බාහිර ව හොඳ යැයි පෙනුණ පමණින්, මා දිට්ඨි
නිජ්ඣානඛන්තීය - දෘෂ්ටියට යෝග්‍ය වූ පමණින්, මා ඔබ්හරුපනාය - ආධිපත්‍යයට අනුරූප වූ
පමණින් හා මා සමණෝගරූහි - තමා ගුරුවරයා වූ පමණින් යන
ඉහත සඳහන් කරුණු දෙස අවධානය යොමු කර බැලීමේ දී යමක් පිළිබඳ බුද්ධියට අනුව විමසා,
අවසාන තීරණයකට එළඹීම සඳහා ලබා දී ඇති චින්තන නිදහස පැහැදිලි ය. එසේම “එහි පස්සිකෝ”
යන පාඨයට අනුව දහම පිළිබඳ විමසිලිමත් ව ගවේෂණය කොට, එය සත්‍ය නම් පමණක් ඒ අනුව
කටයුතු කරන ලෙස දේශනා කොට ඇත.
මජ්ක්‍ධිම නිකායේ විමංසන සූත්‍රයට අනුව බුදුරදුන්, සම්මා සම්බුද්ධ ද? ධර්මය
ස්වාක්ඛාත ද? සංඝයා සුපටිපන්න ද? යනාදී වශයෙන් විමසා බලා ඉහත ලක්ෂණවලින් යුක්ත බව
තමන්ට වලංගුයි නම් පමණක් තෙරුවන් සරණ ගොස් ඒ අනුව කටයුතු කරන ලෙස බුදුහිමියෝ උගන්වා
ඇත.
එසේම සූත්‍ර පිටකයෙහි සඳහන් “සතරමහාපදේශ” දෙස අවධානය යොමු කිරීම ද ඉතා වැදගත් ය.
බුද්ධාපදේශ - බුදුරදුන් ගැන සිතා, සංඝාපදේශ - භික්ෂූන් ගැන සිතා, සම්බහුලත්
ථෙරාපදේශ - බොහෝ අනුගාමිකයන් සිටින භික්ෂුවක් යැයි සිතා, ඒකත්ථෙරාපදේශ - ව්‍යක්ත
බහුශ්‍රැත භික්ෂුවක් යැයි සිතා ආදී වශයෙන් සඳහන් වන පරිදි කිසිවක් අවිචාරශීල ව
පිළිනොගත යුතු අතර, විමසා බැලීම ඉතා වැදගත් බව ය. එසේ ම මේ පිළිබඳ විනය පිටකයේ
සමන්ත පාසාදිකාවේ මනා විග්‍රහයක් කරුණු 4ක් ඔස්සේ පෙන්වා දී ඇත.
සුත්ත - සූත්‍ර පිටකයේ ඉගැන්වීම්වලට අනුව, සුත්තානුලෝම අටුවා ග්‍රන්ථයන්හි සඳහන්
කරුණු අනුව, ආචරියවාදතම ගුරු කුලයට අනුරූපී ව, අත්තනෝමතිතම අදහසට අනුව විමසා බලා
තීරණ ගත යුතු ය.
ඉහත සඳහන් විග්‍රහයෙහි සඳහන් වන අවසාන කරුණ වශයෙන් පෙන්වා දෙන “අත්තනෝ මති” යන්නට
අනුව තම අදහසට අනුව විමසා බලා අවසාන තීරණයට එළැඹිය යුතු අතර, අනෙක් කරුණු ඔස්සේ
යමින් ක්‍රියා කිරීම මඟින් නිවැරැදි තීරණයකට එළඹිය හැකි බව බුදු දහමේ පෙන්වා දෙයි.
මේ අනුව විමසා බැලීමේ දී චින්තන හා විමර්ශන නිදහස අගය කරන බුදුදහම, පුද්ගලයාට
නිදහසේ සිතා අවසාන නිගමනයට එළැඹීම සඳහා කටයුතු කිරීම මඟින් ශ්‍රාවකයා තවදුරටත් බුදු
සමය කෙරෙහි ප්‍රසාදයට පත් වන බව. “උපාලි ගහපති සූත්‍රය අවධාරණය කරයි.
අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට ආසන්න වූ විට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද
හිමියන්ගෙන් තමන් වහන්සේ වසර 45ක් පුරා දේශනා කරන ලද දහමෙහි යම් නොපැහැදිලි තැනක්
තිබේ නම් විමසන ලෙස පැවසූ බව “දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි” සඳහන් වේ.
මෙතෙක් ලොව පහළ වූ ශාස්තෘවරුන් අතර අග්‍රස්ථානය හිමි වන අප ගෞතම ලොව්තුරා
බුදුපියාණන් වහන්සේ, මග්ගවිදූ මග්ගකෝවිදෝ, මග්ගඤ්ඤු ආදී පර්යාය වචන මඟින් හඳඳුන්වා
ඇත්තේ ද උන්වහන්සේ සතු ව පැවති උතුම් ශාස්තෘ ලක්ෂණ නිසා ය.
චින්තනය හා විමර්ශනය කිසි බාධාවකින් තොරව නිදහස හිමිකර දෙනු ලබන බුදු සමය ලොව
චින්තන විප්ලවයක් ඇති කළ වටිනාම දර්ශනයක් ලෙස මනාව පැහැදිලි වේ.
මේ ආකාරයෙන් විමසා බැලීමේ දී බෞද්ධයාගේ අවසාන පරමාර්ථය වන ‘නිවන’ සාක්ෂාත් කර ගත
හැකි වන්නේ ද තම බුද්ධියට අනුව මැනවින් ක්‍රියා කිරීම මඟින් බව බුද්ධ දේශනාවට අනුව
තවදුරටත් තහවුරු වෙයි.
ඒ අනුව විමසා බැලීමේ දී අප ගෞතම බුදුපියාණන් වහන්සේ චින්තන හා විමර්ශන නිදහස කොතරම්
දුරට අගය කොට ඇද්ද යන්න මැනවින් පැහැදිලි වේ. |