දේශය එකලු කළ මිණිපහන පිරිනිවිණි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක් දෙරණට කළ යහපත දෙවැනි වූයේ සම්මා සම්බුදු
රජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍යයට පමණි. උන්වහන්සේගේ අවසන් කාලය හා ඒ අතර ශාසනික
සේවය ගැන විස්තර මහාවංශයේ සඳහන් ය.
මහා නුවණැති අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ උපසම්පදාව ලබා දොළොස් වසරක් පිරුණි.
උන්වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ වූයේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේයි. එවකට
වැඩසිටි සියලු රහතන් වහන්සේගේ අදහස වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා ද්වීපයට වැඩි
යුතු බවයි.
එවකට ලංකාවේ රජ කළේ මුටසීව නම් රජුයි. ඔහු ඉතා මහලුයි. රජුගේ අභාවයෙන් පසු ඔහුගේ
පුත් දේවානම්පියත්සිස රජු රජවන බව තෙරුන් වහන්සේ දුටු සේක.
ලංකාවට අලුත් රජෙක් බිහිවන තෙක් උන්වහන්සේ ලංකා ගමනය කල් දැමූහ. ඒ කාලය ගෙවා දැමීමට
උන්වහන්සේ තම මව ඇතුළු නෑසියන් දැකීමට ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල රහතන් වහන්සේ
සතර නමක් ෂඩ් අභිඤ්ඤාලාභී මහා සෘද්ධිමත් සුමන සාමණේරයන් වහන්සේ ද කැටුව රජගහනුවර
හරහා දක්ඛිණාගිරි ජනපදයට වැඩම කළහ.
ඉල් මාසයේ සිට බක් මාසය දක්වා පා ගමනින් වැඩම වීමට ඒ තෙරුන් වහන්සේට හය මසක් ගත
විය. ක්‍රමයෙන් තම මෑණියන් වූ දේවී කුමරියගේ නගරය වන වේදිසගිරියට වැඩම කළ සේක.
ඉන්පසු උන්වහන්සේ තම මෑණියන් වූ දේවී කුමරියට වදාළ ධර්මයට සවන් දීමෙන් භණ්ඩුක
කුමාරයා අනාගාමී ඵලයට පත්ව අපගේ මහරහතන් වහන්සේ අසල ම වාසය කළේ ය. මිහිඳු මහරතන්
වහන්සේ මසක් පමණ වේදිසගිරි විහාරයේ වාසය කොට පොසොන්, පුර පසළොස්වක පෝ දිනක තම
ශිෂ්‍ය භික්ෂූන් රහතන් වහන්සේ සතර නමත්, සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක උපාසකත්
සමඟ රම්‍ය වූ මිස්සක පර්වතයෙහි අම්බස්ථල ගල්කුල මත වැඩසිටි සේක.
ඒ වන විට මහා කාරුණික අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසිය
තිස් හය වැනි වර්ෂය යි.
මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ සිව්වනක්
ශ්‍රාවක පිරිසට ධර්මයේ හැසිරෙන්නට නිසි අවස්ථාවක් උදාවිණ. ධර්මාශෝක රජුන් විසින්
එවන ලද ශිල්පීන්ගේ උපකාරයෙන් නව විහාර කර්මාන්ත බිහි විය.
උන්වහන්සේගේ ආගමනයෙන් පසු ලංකා ද්වීපය රහතන් වහන්සේගෙන් පිරී ගියේ ය. ත්‍රිපිටක
ධර්මය ව්‍යාප්ත විය. ත්‍රිපිටක ධර්මය කටපාඩමින් දරා වැඩ සිටිමින් ලංකාද්වීපය
ධර්මයෙන් බැබළ වූ සේක. මහ සඟ පිරිවරකින් යුක්ත වූහ. උන්වහන්සේ ලංකා ද්වීපයට
ශාස්තෘන් වහන්සේ හා සමාන ව ලොව යහපත පිණිස බොහෝ කටයුතු සිදුකොට වදාළ සේක.
මේ ලක්දිව සසුන් කෙත වැපිරූ උන්වහන්සේ ලක්බුදු සසුන එකලු කළ සේක. හෙළ වැසියන්ගේ
සැබෑම විමුක්තිදායකයාණෝ උන්වහන්සේ ය. ලක්වැසියන්ගේ දුක් සෝ තැවුල් මිසදුටු අදහස්
නවතාලීමට මිහින්තලාවෙන් ගැලූ, සිහිලැල් දහම් නදිය නම් උන්වහන්සේ ම ය. අපගේ මිහිඳු
මහරහතන් වහන්සේ ඉතා අපූරුවට සදහම් නගරය සිරිලක බිමෙහි නිර්මාණය කළ සේක.
උපසම්පදාවෙන් හැට වසක් ගත වන කල්හි අපගේ මහ රහතන් වහන්සේ අසූවැනි වියේ පසු වූ සේක.
එවකට උන්වහන්සේ මිහින්තලාවේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළ සේක. වප් මාසයේ පුර පක්ෂයේ
අටවැනි දවසේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. ඒ පුුර අටවක දා
“ශ්‍රී මිහිඳු පුර අටවක” පෝය ලෙස එවකට සම්මත විය.
එවකට රජ කළ උත්තිය රජුට තෙරුන් වහන්සේගේ පිරිනිවීම අදහාගත නොහැකි විය. රජු ඉතා ශෝකී
ව මිහින්තලේ සෑගිරියට ගොස් මහරහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට
උන්වහන්සේගේ ගුණ කියමින් නොයෙක් ආකාරයට හඬා වැළපෙන්නට විය.
ඉන්පසු රන් දෙණක සුවඳ තෙල් පුරවා මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී දේහය ඒ රන් දෙණේ
තැන්පත් කර වසා රන්වන් කුළු ගෙයක් මත තබා අලංකාර කූටාගාරයක් මත වැඩමවා ගෙන සාධු නාද
පවත්වමින් ඒ ඒ මාවත් ඔස්සේ වඩමවන ලදහ. ඉතා අලංකාර ව සරසන මාර්ගයේ පුද පූජාවන්
පවත්වමින් මහජනතාව එක් රැස් ව, හඬා වැළපෙමින් තෙරුන් වහන්සේට ගෞරව දැක්වීමට උත්සුක
වූහ.
උත්තිය රජු සත් දවසක් විහාරය අවට යොදුනක් දුර ප්‍රමාණයට තොරණ ඉදිකළහ. ධජ පතාක
එසවීය. සුවඳ මලින් සරසවා පුන්කළස් තැබිණ. මුළු ලංකාද්වීපය ම ඒ ආකාරයට සැරසවීය.
දෙවියන්ගේ දේවානුභාවය ද එයට එක් විය.
අනුරාධපුරයෙන් නැඟෙනහිර දිසාවෙන් බද්ධමාලක නම් ස්ථානයේ සඳුන් දරින් චිතකයක් කරවන
ලදී. මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ථූපාරාම සෑය පැදකුණු කරමින් වඩමවා ගෙන
විත් කූටාගාරයෙහි තැන්පත් කර වූයේ ය.
සිංහල ද්වීපයේ බිහි වූ රහතන් වහන්සේ ද, රහත් භික්ෂූන් වහන්සේ ද ධර්ම සංවේගය සිහි
කරමින් අනිත්‍ය ප්‍රතිසංයුක්ත වූ සම්බුද්ධ දේශනාවක් සජ්ඣායනා කළ සේක.
මඟඵල නොලත් භික්ෂූන් වහන්සේ ද හඬා වැළපෙමින් මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ගුණ කියන්නට
පටන් ගත්හ. මගඵලලාභී උපාසක උපාසිකාවෝ ධර්ම සංවේගයෙන් බලා සිටියහ. ඇතැම් උපාසක
උපාසිකාවෝ මහා හඬින් හඬා වැළපුණහ.
අහසින් මල් වරුසා ඇද හැළුණි. ලක්වැසි දෙවියන්ගේ ශෝකී රාවය අසන්නට ලැබුණේ ය. මිහිඳු
මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි ඇවිලී ගියේ ය.
ඉන්පසුව උන්වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේ තැන්පත් කොට එතැන චෛත්‍යයක් ඉදිකරනු ලදහ.
ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයට ගෞරව කිරීම පිණිස ඉසිභූමංගන යන නම තබන ලදී. උන්වහන්සේ
පිළිබඳ මහාවංශයේ මෙසේ ද සඳහන් වෙයි.
ලංකාදීපේ සෝ සත්ථුකප්පෝ අකජපෝ
ලංකාධිට්ඨානේ ද්වීසු ධානේසු ථේරෝ
ධම්මං භාසිත් වා දීපභාසාය ඒවං
සද්ධම්මෝ නාරං කාරයි දීපදීපෝති
අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේ දී, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන
වූ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත
වූහ. ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ම දහම වදාළ සේක. මේ දිවයිනට පිළිසරණ වූ
උන්වහන්සේ සද්ධර්ම මාර්ගයේ බැස ගන්නට කටයුතු කොට වදාළ සේක.
- නයනා නිල්මිණී |