Print this Article


සශ්‍රීක දේශයකට ජීවය දෙන්න නීතියට ගරු කරන පුරවැසියෙක් වෙන්න

සශ්‍රීක දේශයකට ජීවය දෙන්න නීතියට ගරු කරන පුරවැසියෙක් වෙන්න

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් අතර කාලයේ රජකම් කළා අතිදේව නමින් රජ කෙනෙක්. මොහුට හිටියා එක් පුතෙක්. පියාගේ මරණයෙන් පස්සේ රජකම ලැබුණා.

පළවෙනියට ම මේ තරුණ රජතුමා කළේ මහා භාණ්ඩාගාරයේ කෙතරම් වස්තුව තියෙනවා ද කියා සොයන එක. රත්රන්, මුතු, මැණික්, කහවණු එහි පිරී තිබුණා. ඒත් සෑහීමකට පත්වුණේ නම් නෑ. පියතුමා රැස් කළාටත් වඩා ධනය රැස් කර සැප සේ ජීවත් වෙන්න කල්පනා කළා.

තනියම නිතර නිතර හිතමින් රටවැසියාගෙන් ධනය ලබා ගන්න විදිහක් කල්පනා කළා. මේ තරුණ රජතුමාට වඩාත් ම හිතවත් ඇමැතියකුට තමන්ගේ අදහස කිව්වා. එවිට ඇමැතියා කියනවා

‘රජතුමනි, ඇයි මෙච්චර ඔය ගැන හිතන්නේ ධනය රාජ භාණ්ඩාගාරයට ගෙන එන්න එච්චර අමාරු නෑ. අපේ රටේ ජනපදවල ඉන්නවා මහා ධන කුවේරයෝ, ඒවගේ ම ඔවුන්ට තිබෙනවා. රන්, රිදී, මුතු, කහවණු ආදී සියල්ලක් ම. රන් ආභරණ, රන් භාජන පවා ඇති වෙන්න තිබෙනවා. කෝටි ගණන් රන් කාසිත් තිබෙනවා. අපි ඒවා රාජ නීතියෙන් ගමු‘යි යෝජනා කළා.

රජතුමාත්, ඇමැතිවරයාගේ කතාවට සවන් දී කියනවා

‘හොඳයි, එහෙනම් අපි කරන්න ඕන පළමු කටයුත්ත තමා ඔබ කියන තරමේ ධනයක් රටවැසියාට තිබෙනවා ද කියලා හොයා බලන එක. ඒක නිසා අපි දෙන්නා ගැමියන් දෙන්නකුගේ බොරු වේශයක් ගෙන නගර ගම් දනව්වලට ගොස් බලමු‘යි යෝජනා කළා.

රජතුමාත්, ඇමැතියාත් ඉතා කිලුටු ඇඳුම් කිහිපයක් ඇඳ ගත්තා. අත් පා නියපොතුවල කිලිටි බව ඇති කර ගත්තා. රැවුලත්, කොණ්ඩයත් සාමාන්‍ය මිනිසුන්ගේ ස්වරූපයෙන් සකසා ගත්තා. දෙන්නා ම පිටත් වුණා රටේ ගම් දනව්වල ඇවිදින්න. වීදි දිගේ බොහෝ දුර ඇවිදගෙන යන්න පටන් ගත්තා.

දුප්පත් මිනිසුන් ජීවත් වෙන්න කරන වෙහෙස රජතුමාට දකින්න ලැබුණා. කුසගින්නෙන් පෙළෙන මිනිසුන් දුටුවා. ගොවිතැන් කටයුතුවල යෙදෙන අයත්, කුලීවැඩ කරන අයත්, මහත් සේ සැප සම්පත් විඳින අයත් දැක්කා. රජතුමා හැම වෙලේ ම හිතන්නේ ඒ අයට නීති පනවලා කොහොමද ධනය ගන්නේ කියලා.

මෙහෙම හිතමින් යනකොට දකින්න ලැබුණා මාළිගාවක් වගේ නිවසක්. දෙදෙනා නිවස ඉදිරි පිටට ගිහින් නිවැසියන්ට

" මෑණියනි, පියාණනි, නිවසේ දොර අරින්න. අපි මගියෝ වෙමු. බොහෝ සේ බඩගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමිනුයි ඉන්නේ. අපට හැකි නම් කෑම ටිකක් දෙන්න. එසේත් බැරි නම් වතුර ටිකක් හෝ දෙන්න"යි කියා සිටියා.

දෙතුන්වතාවක් මෙහෙම කියන කොට ඒ අහගෙන හිටිය මහලු මවක් එළියටවිත්, පෙනී හිටියා. ඒ වෙලාවේ පෙර කියපු දෙය හොඳින් ඇහෙන්න මුහුණ බලාගෙන ම නැවත කිව්වා. ඒ මැහැල්ල හරිම කාරුණික කෙනෙක්. ඒ නිසා ම

‘පුතේ එන්න ගේ ඇතුළට. මේ ආසනවල ඉඳගන්න. ඔබලාට කැමැති සේ අනුභව කර යන්න පුළුවන්. තව ම මම උයන ගමන් ඉන්නේ. ඒ නිසා ටික වේලාවක් මෙහි රැඳී ඉන්න සිදු වෙනවා. එතකම් මම ඔබලාට බොන්න යමක් සූදානම් කර දෙන්නම්. ඔබ දෙදෙනා කැමැති උක් පැණි බොන්න ද? එහෙම නැත්නම් දීකිරි හෝ ගිතෙල් හෝ අනුභව කරන්න ද? යි ඇහුව්වා. ඒ අවස්ථාවේ දෙන්නා ම එක වරම කිව්වා.

‘මෑණියෙනි, උක්පැණි තියෙනවා නම් වඩාත් ම හොඳයි‘යි කියලා.

ඒ මැහැල්ල පිහියක් අරගෙන ඉක්මනින් ම වත්ත පහළට ගිහින් වෙනදා කපා ගෙන එන උක් පඳුරෙන් ම උක්ගහක් කපාගෙන ඇවිත් එය සුද්ද කරලා තලලා දෑතින් ම හා කයේ ශක්ති ප්‍රමාණයෙන් ම ඇඹරුවත් පැණි බිංදුවක්වත් භාජනයට වැටුණේ නෑ. රජතුමාත්, ඇමැතියාත් මේ සිදුවීම බලා ගෙන හිටියා. මැහල්ලටත් හිතා ගන්න බෑ, මේ මොනවද වුණේ කියලා. මේ අතරේ රජතුමා හඬ අවධි කරලා අහනවා.

‘මෑණියනි, මොන හේතුවකට ද මෙතරම් පිරුණු මේ උක්ගහෙන් පැණි එන්නේ නැත්තේ? වෙනදාත් මෙහෙම වෙලා තියෙනවාද?යි ප්‍රශ්න කළා.

‘ඒ අවස්ථාවේ දී ඒ මැහැල්ල කියනවා

‘පුතේ, වෙනදාට මේ උක්ගහේ එක් පුරුකකින් විතරක් අපි නැළියක් විතර පැණි ගන්නවා. ඒත් අද මේ වුණු දේ නම් මට හිතා ගන්න බෑ‘යි උත්තර දුන්නා. ඒ අවස්ථාවේ රජතුමා නැවතත් අහනවා

‘මෑණියෙනි, මෙහෙම වෙන්නේ මොනවගේ අවස්ථාවල ද? ඇයි මෙහෙම වෙන්න හේතුව? මෑණියනි, මෙයට හේතුවක් තියෙනවා නම් අපට කියා දෙන්න පුළුවන් ද?" යි විමසා සිටියා.

ඒ මැහැල්ල ධර්මය හොඳින් දන්නවා. ධර්මයට අනුව ජීවත් වෙනවා. ඇය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ කරුණට හේතුව මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා ඒ දෙන්නාට කියන්න පටන් ගත්තා.

‘දරුවනි, යම් රටක රජතුමාත්, අමාත්‍ය මණ්ඩලයත්, ක්‍රමයෙන් පහළ රාජ්‍ය නිලධාරීනුත් ලෝභයෙන්, ධනයට ආශාවෙන් තමා කැමති දේ කරනවා නම් මෙවැනි තත්ත්වයක් උදා වෙනවා.

එහෙම උනහම මේ උක්ගස්වල පැණි නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි. අන්නාසි, අඹ, ජම්බු, පේර ආදී හැම පලතුරක ම තියෙන ස්වභාවික රසය නැති වී යනවා. රසය වියළී යනවා.‘යි කිව්වා.

එතකොට රජතුමා අහනවා.

‘මෑණියනි, රජතුමා ලෝභී වුණහම, තණ්හාව ඇති කර ගත්තහම මේ ගස්වල, පලතුරුවල රසය නැති වී යන්නේ කොහොම ද?‘යි කියලා. එතකොට ඒ මැහැල්ල නැවතත් කියන්න පටන් ගත්තා

‘දරුවනි, රජතුමා කියන්නේ රටවැසියාගේ මවත්, පියාත් දෙන්නා ම නියෝජනය කරන කෙනෙක්. එහෙම කෙනෙක් රටවැසියා බලා ගන්න ඕනේ තමන්ගේ දරුවන් විදිහට. මව්පියන් දරුවන්ට පීඩාවක් ‍කරන්නේ නෑ. ඔවුන්ගේ අභිවෘද්ධියමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ විදිහට රජතුමාත් රටවැසියාට සලකන්න ඕන. එතකොට කලට වැස්ස වහිනවා. වැසි විෂම වෙන්නේ නෑ. මිහිරි රස ඇති පලතුරුවල ඒ රසය රැඳී පවතිනවා. තිත්ත, කහට, ලුණු යනාදි රස ඒ ඒ පලතුරුවල, පලාවර්ගවල, එළවළුවල රැඳී පවතිනවා. කලට මල් හට ගන්නවා. ගස් හොඳට වැඩෙනවා. ඵලදාව වැඩි වෙනවා.

ඒ වගේම රජතුමාත්, පාලක පිරිසත් අධාර්මික වෙන කොට පරිසරය වෙනස් වෙනවා. රසය නැති වෙනවා. නියං කාලය උදා වෙනවා. මිනිසුන් නීතියෙන් බැහැර වෙනවා. පරදාර සේවනය අධික වෙනවා, මිනීමැරීම්, සොරකම්කිරීම්, බොරුකීම්, කේලාම්කීම්, කපටිකම්, ක්‍රමයෙන් වැඩිවී යනවා.

ඒ විතරක් නොවෙයි දරුවනි, මහණ බමුණන්ගේ සීලය පවා නැති වී යනවා. මහණ බමුණන් අඩු වෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය අධික ජනතාවක් බිහි වෙනවා. දුෂ්ට, නපුරු රජුගේ ක්‍රියා කලාපය නිසා සමස්ත රට ම විනාශයට පත් වෙනවා‘යි ඒ මව එක දිගට ම හේතු කියන්න පටන් ගත්තා.

ඒ සියල්ල අසාගෙන හිටි මේ තරුණ රජතුමා කල්පනා කරනවා.

‘මම ධනයට ආශා වෙලා රට වැසියාගේ ධනය අනීතික ව රජයට පවරා ගැනීමට නපුරු, අධාර්මික, අයුක්ති සහගත සිතිවිල්ල ඇති කර ගත් පමණින් ම මෙතරම් විපතක් සිදුවුණා නම් ඒවා ක්‍රියාත්මක කළ හොත් රටත්, රටවැසියනුත් කො තරම් නම් විනාශයට, පරිහානියට පත්වෙනවා ද? ඒ නිසා අද සිට ධාර්මික ව, යුක්ති සහගත ව, රටවැසියා දරුවන් මෙන් සලකමින් රට පාලනය කරනවා‘යි තීරණය කර ගෙන රජමාලිගාවට නැවත ගිහින්, ධාර්මික ව රට පාලනය කර ආයු කෙළවර මිය ගොස් ස්වර්ගයේ උපන් කථා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

ඒ නිසා, රජකෙනකු වුවත්, අමාත්‍යවරයකු වුවත්, රාජ්‍ය නිලධාරියකු වුවත්, ගෘහපතියකු වුවත්, කම්කරුවකු වුවත් ධනය උපයන කවර හෝ වෘත්තිකයකු වුවත්, තම ධනෝපාර්ජන කටයුත්ත ධාර්මික ව කරන්න ඕනෑ. එතකොට පරිසරයත් අපට ආශීර්වාද කරනවා, ස්වභාව ධර්මය අපගේ ජීවිත ආරක්ෂා කරනවා, දීර්ඝායුෂ දෙනවා. මෙලොව සුව සේ ජීවත් වීමට හැකි වෙනවා පමණක් නොවෙයි, පරලොවත් සැපවත් සේ ගත කිරීමට අවස්ථාව සැලසෙනවා.