Print this Article


සිරිපා වඳිමි

සිරිපා වඳිමි

සිවුසස් අමා වැසි සිසිලෙන් ලොව නැහැවු
පවු මළ නසා සත් සිත් දහමින් පිනවු
ගවු සිය දහස් දුර වැඩ සවු සත සැනවු
සවු ලෝ තිලක බුදුහිමි නොවැ ලොව දිනවු

වැසි සත් රුවන් වැටුණි ද ආසා නොසිඳී
රිසියෙන් සසර මඟ යන සුවයක් නොවිඳී
දිසි විස්වයේ සත්වග වෙතැ යළි පැහැදී
සිසි පෙර බුදුන් දුටු යළි නුබ රැස් විහිදී

ගුම් නද දෙමින් සමනල සෙන් පිය සලලා
දම්‍ රැස් විඳිනු වස් මල් කෙමිවල පිරිලා
සම්බුදු සුවඳ විහිදනු ලෙද පෙති නොසලා
ලුම්බිණි සල් වනේ යළි සල්මල් පිපිලා

සඳරැස් ගලන වෙසඟේ පුර පොහෝ දින
සිවුසස් දහම් ඇසුමට පන්සලට එන
අදහස් සපිරු දහමින් සිත් පහන් වුණ
නිදහස් දැයක සත් දනගේ එයයි පින

මිනිසුන් සුපිපි පියුමන් දෝතින් රැගෙන
පිනි මුතු පලස පියමැන නිසි ලෙස සොඳින
මිණි පවුරක් වගේ දිදුලන සතර කොන
මුනි පුදයට ඇදෙන අරුමය බලනු මැන

සළු ඇදි ධවල පැහැ ගැන්වුණු එළඹි යුගේ
මුළු ගැන්වුණු අයත් තෙල් මල් රැගෙන මඟේ
කුළුණින් බර සිතින් පන්සල් යනෙන අගේ
මුලු දිවයින ම අද දෙවුරම් වෙහෙර වගේ

සමතිස් පෙරුම් සපුරා බුදු පදවි ලබා
නිම නැති ගුණ සමොද තිලොවේ පතල සුබා
සම කළ නොහැකි කාහට හෝ පතල සොබා
මම පා වඳීමි දිවිතුරු බුදුහිමිගෙ ප්‍රබා