Print this Article


ජීවිතය විඳින්නට හෝ විඳවන්නට හෝ නොවේ අවබෝධයටයි

ජීවිතය විඳින්නට හෝ විඳවන්නට හෝ නොවේ අවබෝධයටයි

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වන්නේ දුක් විඳින සත්වයන් දුකින් එතෙර කරවීම පිණිසයි. උන්වහන්සේ සසරින් එතෙරව අපටත් සසරින් එතෙර වන මාර්ගය පෙන්වා වදාළහ.

බුදුරජාණන් වහන්සේ වීතරාගී යි. සාමාන්‍ය ලෝකයා ද්වේශ සහගතය. බුදුරජාණන් වහන්සේ වීතදෝසියි. සාමාන්‍ය ලෝකයේ ජීවත්වන අය පුංචි දෙයටත් මුලාවට පත්වෙනවා. නිතරම මුලාවෙන් කටයුතු කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වීත මෝහයි. ඒ නිසයි උන්වහන්සේ අරහං නම් බුදු ගුණයෙන් යුතු වන්නේ.

බුදුරජාණන් වහන්සේ, අඳුරේ ම ඉපදී අඳුරේ ම ජීවත්වී, අඳුරේ ම මිය යන ලෝක සත්වයා දුටු සේක. උන්වහන්සේගේ හද මඬලේ උපන් මහත් වූ කරුණාව, දයාව, අනුකම්පාව මේ දුක්විඳින සත්වයන් කෙරෙහි යොමු විය.

අඳුරේ ගිලුණු සත්වයාට එළියක් ලබා දුන්නේ අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ වසර පන්සාළිස් වසක් පුරා තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ඒ නිර්මල පිරිසුදු දහම ලෝකයා වෙත දේශනා කර බෙදා දුන්හ.

හිඩැස් නැති, පලුදු නැති, ඒ නිර්මල පිරිසුදු ශ්‍රී සද්ධර්මය අප රටට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වී නිසයි.

මිහිඳු මහ රහතන් වහන්සේ තම ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට ඒ ආකාරයෙන් ම දේශනා කළ හෙයින්, අද අප ශ්‍රද්ධාවෙන් ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නය සරණ යනවා. ශ්‍රී සද්ධර්මය පිරිසුදුව, නිරවුල්ව අසන්නට ලැබුණු නිසා සංසාරයේ බිය දුටුවා. අපාය මෙන්ම දෙව්ලොවත් තිබෙන බව විශ්වාසයක් ඇති වුණා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයා මරණින් මතු තිරිසන් සත්වයන් ව උප්පත්තිය ලබන බව දැන ගත්තා. එලෙසම මනුෂ්‍ය ලොව උප්පත්තිය ලබා ඒ මනුෂ්‍ය කය අතහැරී යෑමෙන් පේ‍්‍රතයන්, භූතයන්, යක්ෂයන් ව උප්පත්ති ලබන බව දැනුවත් වූයේ නිර්මල බුදු දහම අපට පරිපූර්ණ ව ලැබුණ නිසයි.

බුදුරජාණන් වහන්සේ වදාළේ අති දීර්ඝ සංසාර ගමනක් ගෙවා විවිධ තිරිසන් සත්ව ලෝකවල උප්පත්ති ලබා බෙලි කැපීමෙන්, මිය යෑමෙන් අපේ සිරුරෙන් ගලා ගිය රුධිරය ප්‍රමාණය එකතු කළේ නම් මහ සාගරයට වැඩි බවයි. එවන් අති දීර්ඝ සංසාරයක ගමන් කරමින් පැමිණි අපට පෙර පිනක මහිමයෙන් මේ ආත්මයේ දී මනුෂ්‍ය ලෝකය උරුම වුණා. මේ මනුෂ්‍ය ලෝකයේත් කෝටි සංඛ්‍යාත ජනතාවක් අතරින් බෞද්ධ රටක, බෞද්ධ පවුලක උප්පත්තියක් ලැබුණා. ඒ ලැබූ මනුෂ්‍ය උත්පත්තියේ ඇස්,කන්, අත් පා සම්පූර්ණ වුණා. පවසන යම් දෙයක් අවබෝධ කර ගැනීමේ හා වටහා ගැනීමේ ඥාන ශක්තියත් අපට ලැබුණා.

මේ සියල්ල ලැබුණත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය දෙසවනට ඇසුනේ නැත්නම් එය මහත් අභාග්‍යයක්. අපට ඒ ධර්මය විවෘතයි. අප කළ යුත්තේ ඒ ධර්මය තම තමාගේ ජීවිතවලට ගලපා ගැනීමයි.

ගිහි ගෙදරක ජීවත්වන අපට බැඳීම් බොහෝයි. ඒ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, දූ දරුවන්ගේ, හිතමිතුරන්ගේ රැකියා ස්ථානයේ ආදී වශයෙනි. ඒ ප්‍රශ්න නිසා අපි බොහෝ විට පීඩාවට පත්වෙනවා. එහෙත් මේ සියලු දේ මැද ඔබ දක්ෂ විය යුතුයි, බුදුරජාණන් වහන්සේ සරණ යන්නට. ඒ උතුම් ධර්මය ශ්‍රවණය කර, තමාගේ ජීවිතවලට ගලපා ගන්නට.

බුදුරජාණන් වහන්සේ උපමා කළේ තමන් වහන්සේගේ ශ්‍රාවකයා මඩගොහොරුවක පිපුණ නෙලුමක් වගේ කියලයි. නෙලුම මඩ ගොහොරුවක පිපුණත් ඉතා සුගන්ධවත්. ඒ වගේ ම වර්ණවත්. දකින්නට පි‍්‍රයයි. ප්‍රසන්නයි.

අපේ ආයු කාලය වයස අවුරුදු විස්ස, තිහ, හතළිහ, පනහ, හැට, හැත්තෑව හෝ අසූව ඉක්මවා සිටිය හැකියි. එහෙත් එක තත්පරයක් අතීතයට සිත යොමු කරන්නේ නම්, සිත රිදුන අවස්ථා කොතරම් තිබුණා ද? තනියම හඬා වැටුණ අවස්ථා මොනතරම් ද? තමන්, තමන් නිසා, තමන්ගේ දරුවන් නිසා , නෑ හිතමිතුරන් නිසා තමන් මොනතරම් තනියම හඬ වැටෙන්නට ඇති ද? ඒ කිසිම අවස්ථාවක මේ ජීවිතය, ඉපදීම දුකක් බව අවබෝධ නොවූයේ, කලකිරීමක් ඇති වුනේ නැත්තේ ඇයි? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර නොතිබූ නිසයි? ඒ ධර්මය ජීවිතයට ගලපාගෙන තිබුණේ නැති නිසයි. එහෙත් ඔබ තවමත් ප්‍රමාද නැහැ.

අප දිනෙන් දින මොහොතින් මොහොත ළඟා වන්නේ මරණයටයි. හිමිදිරියේ උදා වූ හිරුමඬල සවසට බැස යද්දී අපි තවත් දවසකින් වයසට යනවා. ඒ ධර්මතාව උපන් හැම සත්වයකුට ම උරුම වූවක්. මොනතරම් අකැමැති වුවත් මේ ජීවිතයේ ඉපදීමත් සමඟ ලෙඩවීමත්, වයසට යෑමත්, මරණයට පත්වීමත් උරුමයි. එයින් බැහැර වූ කිසිවෙක් නැහැ. එනිසයි ප්‍රමාද නොවී අප්‍රමාද විය යුතු වන්නේ.

‘හිස ගිනිගත් අයකු ඒ ගින්න නිවන්න යම් උත්සාහයක් ගනී ද, ඊට වැඩි උත්සාහයක් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහවන්ත විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ සඳහා ශ්‍රද්ධාවෙන් ම බුදුරජාණන් වහන්සේ සරණ යා යුතුයි. ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සරණ යා යුතුයි. ඒ වගේම හොඳ කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් තිබිය යුතුයි.

තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යා යුත්තේ අවබෝධයෙන්මයි. ඒ සඳහා මුලින් ම තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කර ගත යුතුයි. ඒ ශ්‍රද්ධාව මත සිත පිහිටුවා ගෙන ඉදිරියට යා යුතුයි. කායික හෝ මානසික දුක් පීඩාවක දී සිහි කළ යුතු වන්නේ තෙරුවන් සරණ ම යි. කායික හෝ මානසික පීඩාවක දී සිතිය යුත්තේ “මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළ” ඉපදීම දුකක් කියලයි. ඒ දුකයි මේ ගෙවන්නේ. පෙර ආත්මයන්හි දී ද බොහෝ දුක් පීඩා විඳ ඇත්තේ ය. යනුවෙන් යෝනිසෝමනසිකාරයේ යෙදිය යුතුයි.

සසර පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළා අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, සසර සැරිසරන සත්වයාගේ සංසාර ගමන ආරම්භ වූ තැනක් පෙනෙන්නේ නැති බව. ඒ වගේම කලාතුරකින් ලැබුණු බුද්ධ ශාසනයයි, කලාතුරකින් ලැබුණු මනුෂ්‍ය ජීවිතයයි, ප්‍රයෝජනයට ගත යුතුයි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිර්මල ධර්මය ප්‍රයෝජනයට ගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත හැකි වනවා නො අනුමානයි. අප මේ සංසාරයෙන් මිදීමට උත්සාහ කළ යුතුයි. ඒ සඳහා සීල සමාධි, ප්‍රඥා ගුණ වඩන්නට ම ඕනෑ.

මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ විඳවන්න හෝ විඳින්න හෝ නොවේ. අවබෝධ කර ගැනීමටයි. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය මුණ ගැසුනේ නැතිනම් මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් ගත නොහැකියි. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම මොනතරම් දුර්ලභ ද යන්න වැටහුනේ මේ උතුම් ධර්මය නිසයි.

මිනිස් සිතේ රාග, ද්වේෂ, මෝහය වැනි අකුසල ධර්මයන් හටගත් විට එය මැඬපැවැත්වීම අපහසු කරුණක්. මේවා යටපත් කර ගත හැකි වන්නේ වීර්යවන්ත පුද්ගලයාට පමණයි. වීර්යය වගේ ම උත්සාහයත්, ශ්‍රද්ධාවත්, නුවණින් විමසීමේ හැකියාවත් තිබෙන්නට ඕනැ.

සිතක නොයෙක් නොයෙක් අකුසල් හට ගන්නවා. ඒ අකුසල් ප්‍රහාණය කළේ නැතිනම් අකුසල් පෝෂණය වී බොහෝ පීඩා ඇති කරනවා. ඒ නිසා කුසල් හා අකුසල් වෙන් වෙන් ව හඳුනා ගත යුතුයි. නිතරම කය, වචනය, සිත සංවර කර ගැනීම අවශ්‍යයයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කිරීම පිණිස අපමණ දුක් පීඩා වින්දා, උන්වහන්සේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ සමයේ විඳි දුක් ප්‍රමාණය කළ නොහැකියි. එසේ අප්‍රමාණ දුක් විඳ ලබා ගත් ජීවිත අවබෝධය තුළින් උන්වහන්සේ දුකින් දුකට පත්ව, අඳුරෙන් අඳුරට යන, අඳුරෙන් අඳුරට ගිය ලෝක සත්වයා ඒ දුකින් මුදවා ගැනීමේ පිවිතුරු චේතනාවෙන් ලෝක සත්වයා කෙරෙහි වූ කරුණාව, දයාව, සෙනෙහස යුක්තවයි මේ නිර්මල ධර්මය දේශනා කොට වදාළේ. ඒ නිසා දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න. ශ්‍රී සද්ධර්මය ජීවිතයට ගලපා ගෙන බියකරු සසරින් එතෙර වීමට වීර්යය ඇති කර ගන්න. ඒ සඳහා අද අද ම අප්‍රමාද ව මේ ලැබූ බුද්ධ ශාසනය තුළින් උපරිම ප්‍රයෝජනය ලබා සසරින් එතෙර වීමට උත්සාහවත් වන්න.