Print this Article


මහ සමුදුර උපමා කරමින් දේශිත සම්බුදු සසුනේ ආශ්චර්යවත් අද්භූත කරුණු

මහ සමුදුර උපමා කරමින් දේශිත සම්බුදු සසුනේ ආශ්චර්යවත් අද්භූත කරුණු

ලොව පහළ වූ විවිධ ඉගැන්වීම් අතර සුවිශේෂී ම ඉගැන්වීමක් ලෙස බෞද්ධ දර්ශනය පෙන්වාදිය හැකියි. එහි තිබෙන සුවිශේෂී කරුණු රාශියක් එක් කර ගනිමින් බොහෝ පිරිසක් බුදුසසුනට කැමැති බව තථාගතයන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

ඔබ සෑම කෙනකුම සුර අසුර යුද්ධ පිළිබඳ අසා ඇති’ ඒ අතර සුර දෙවියන්ගේ නායකයා සක්‍ර දේවේන්ද්‍රයායි. සක්දෙවිඳු සෝවාන් වූ කෙනෙක්. ඊට හේතුව කර්මය, කර්ම ඵලය විශ්වාස කරන, පින්පව් විශ්වාස කරන ශ්‍රද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා වඩා එම තත්ත්වයට පත් වූ කෙනෙක් වීමයි.

බොහෝ සම්මා දිට්ඨික දෙවිවරු සක් දෙවිඳුට පක්ෂපාතීව සුර දෙවියන්ගේ කොටසේ සිටී. එම දිව්‍ය ලෝකයේ ගැටුමට බර මිථ්‍යාදෘෂ්ටික මතවාදවලින් යුතු පිරිසක් ද සිටිනවා. ඔවුන් අසුරයන් ලෙස හඳුන්වනවා.

සාමාන්‍ය කෙනකුට මෙය විස්තර කිරීමේ දී ඔවුන් කල්පනා කරයි නැටුමට බර, මිථ්‍යා මතධාරින් දෙවියන් අතරත් සිටිනවා ද යනුවෙන්. එසේ ඔවුන් දිව්‍ය ලෝකයේ ඉපදුණේ කෙසේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මතක තබාගත යුතු කරුණ නම් බොහෝ පිරිසක් එනම් බෞද්ධ, අබෞද්ධ යන සෑම කෙනකුම දන් දීම, ගුණදම් පිරීම හා යහපත් වැඩ සිදු කරනවා.

නමුත් මෙහි ඇති වෙනස නම් බොහෝ අබෞද්ධ, අන්‍යාගමික පිරිස් යහපත් කටයුතු සිදු කළාට ඔවුන් නිවන පිළිබඳ හෝ ධර්මය පිළිබඳ සම්බෝධයන් නොමැති වීමයි. එම කටයුතු සිදු කරයි. එවැනි පින් බලවත් වී බොහෝ පිරිස් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබනවා. ඔවුන් බොහෝ වෙලාවට මෙකී අසුර පිරිස්වල ඉපදෙනවා.

එවැනි අසුර නායකයකු වන පහාරාද අසුර නායකතුමා සමඟ සිදු කළ සාකච්ඡාවක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ‘පහාරාද සූත්‍රය” තුළ අන්තර්ගතයි.

“ඒකං සමයං භගවා වේරඤ්ජායං විහරති නළේරු පුචිමන්‍ද මූලේ.

අථ ඛො පහාරාදො අසුරිෙන්‍ද්‍රී යෙන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා

භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො පහාරාදං අසුරින්දං භගවා ඒතදවොච. අපි පන පහාරාදා අසුරා මත සමුදෙද අතිරමන්තී ති”

අසුර ලෝකයේ කණ්ඩායම් දෙකකි. එනම් වේපචිත්ති අසුර හා පහාරාද අසුර යනුවෙනි. මෙකී පහාරාද අසුර නායකයා එක් වරෙක භාග්‍යවතුන් වහන්සේ වේරංජාවෙහි නළේරු නම් කොහොඹ රුක් මුලෙහි වැඩ සිටින අවධියේ එතැනට පැමිණ බුදු හිමියන්ට වැඳ එකත්පස්ව සිට මෙසේ ප්‍රශ්නයක් ඇසුවා.

“ස්වාමීනි මේ බුදු සසුනේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස මෙතරම් ම සසුනට ඇලුම් කරන්නේ ඇයි?”

මෙහිදී බුදු හිමියන් එක එල්ලේ පිළිතුරු නොදුන්හ. එයට හේතුව බුදු කෙනෙකු පිළිතුරු දෙන මනරම් ක්‍රමවේදයක් තිබෙනවා. ප්‍රශ්නය විමසන කෙනාගේ නුවණ අනුව කෙළින්ම පිළිතුරු දීම “ඒකංස ව්‍යාකරණේ පඤ්හා” යනුවෙන් හඳුන්වන අතර සමහර අයට පිළිතුරු කොටස් වශයෙන් විස්තර කොට දහම් දේශනා කිරීමේ ක්‍රමවේදය “විභජ්ජ ව්‍යාකරණේ පඤ්හා” ලෙස ද, සමහර අයට ප්‍රශ්න විමසීමේ දී බුදු හිමියන් පෙරලා ප්‍රශ්න කිරීමේ ක්‍රමවේදය තිබෙනවා ඇත. මෙම ක්‍රමවේද තුනෙන් පහත ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා බුදු හිමියන් “පටිපුචාරා” ක්‍රමය භාවිත කරන ලදී. එහිදී ඔහුගෙන් පෙරලා බුදු හිමියන් අසන ලද්දේ, එසේ නම් ඔබේ අසුර පිරිස් මහ මුහුද ඇසුරු කරමින් එයට මෙතරම් ආසා කරමින් ජීවත් වන්නේ ඇයි දැයි යනුවෙනි.

මෙහිදී පහාරාද අසුර නායකයා කියා සිටියේ කරුණු අටක් නිසා තමා ඇතුලු අසුර පිරිස් මහ මුහුදට පි‍්‍රය කරන බවයි. ඒවා නම්,

1. මහ සමුද්‍රය පිළිවෙළින් ගැඹුර කරා යන නිසා අප කැමැති බවයි. නිදසුන් ලෙස ළිඳක් මෙන් නොව ක්‍රමානුකූලව ගැඹුරට යන නිසා ය.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහා සමුද්‍රය වෙරළ සීමා කර ගත් එකකි. ලෝකයේ කොතැනින් ගෙන බැලුවත් මහ මුහුදේ සීමාව වෙරළයි. එය වෙරළ ඉක්මවන්නේ නැති නිසයි.

3. මහා සමුද්‍රය කෙදිනකවත් මළකුණු රඳවා ගන්නේ නැති තැනක්. මිනිසුන් කොපමණ කුණුකසළ, මළකුණු මහ මුහුදට ගෙන දැමුවත් නැවත ඒවා වෙරළට ගොඩ ගසන නිසයි.

4. මහා සමුද්‍රය ලෝකයේ කුමන තැනකින් ගෙන බැලුවත් එකම රසයකින් යුක්තයි. එනම් ලවණ රසයෙන් යුක්ත නිසයි.

5.මහ මුහුදට ලෝකය වටේම පිහිටා තිබෙන විශාල ගංගා ජලය එකතු වනවා. ගංගා, නදී, අචිරවතී, යමුනා, සරභූ, මහී, මහවැලි, කැලණි, වලවේ, නිල්වලා ආදී ගංගා ජලය මුහුදට ගලාවිත් එකතු වූ පසු එකම වතුරක් බවට පත්වේ. ඒවා තෝරා බේරා දැක්වීමට නොහැකියි.

කොපමණ වර්ෂාව ඇදහැලුණත් මහ මුහුද උතුරා යන්නේ නෑ. ජලය වැඩි වන්නේ ද නැත. එම හේතුව නිසා ය.

මහ මුහුද සම්පත් සාගරයක්. මුතු, මැණික්, වෙරළුමිණි ආදී වටිනා වස්තු ඇති හෙයින් අසුරයන් වන අප මහ මුහුදට කැමැතියි.

භාග්‍යවතුන් වහන්ස, මහා සාගරය තුළ විශාල ශරීර ඇති අමනුෂ්‍ය කොටස් සිටිනවා. ශරීරය යොදුන් සියයක්, දෙසීයක් සැතපුම් 16,17 ආදී විශාල සත්ත්වයන් සිටිනවා තිමිර පිණ්ඩල,නාග ආදි සත්ත්වයන්ගෙන් යුතු නිසා අපි මුහුදට කැමැතියි.

එවිට පහාරාද කියූ කරුණු අට බුදු හිමියන් උපමා කරමින් මිනිසුන් බුදු සසුනට ඇලුම් කරන කරුණු පෙන්වා දෙන ලදහ.

මහ මුහුද පිළිවෙළින් ගැඹුරට යන්නා සේ මාගේ බුදු සසුනත් පිළිවෙළින් ගැඹුර කරා යන්නකි. සේවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් ලෙස හා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා යනුවෙනි.

මහ මුහුද වෙරළ ඉක්මවන්නේ නැති නිසා බුදු සසුනත් එලෙසමයි. කෙදිනකවත් සීලය ඉක්ම වන්නේ නැත. සසුනේ සීමාව සීලයයි.

මහ මුහුද මළකුණු රඳවා ගන්නේ නැති සේ ම බුදු සසුනෙත් මළකුණු රඳවා ගන්නේ නැත. එනම්, දුස්සීල පුද්ගලයන්ට සසුනේ තැනක් නෑ. ඔවුන් මළකුණක් සේ එළියට විසි වෙනවා.

සාගර ජලය එකම රසයකින් යුක්තයි. එලෙසම බුදු දහමත් එකම රසයකින් යුක්තයි. ඒ විමුක්ති රසයයි.

සාගරයට කොපමණ ගංගා ගලා ආවත් එකම ජලයක් බවට පත් වන්නා සේ බුදුසසුනට දුප්පත්, පොහොසත්, කුල භේදවලින් තොරව සෑම කෙනකුම පැවිදි වූ පසු ඔවුන් සියල්ලෝ ම එකම ධර්මයක් දරන අය බවට පත් වෙනවා.

සාගරයට කොපමණ ජලය එකතු වුවත් වැඩි නොවන්නා සේ මෙම බුදු සසුනේ ද කොපමණ අය රහත් වුවත් නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑවත් අඩුවැඩි බවක්, නොවන්නේ ය. නිවන අසංඛතයි. සීමාවක් නැත.

මහා සාගරය සම්පත් සාගරයක් මෙන් බුදු සසුන ද සම්පත්වලින් යුතු තැනකි. එනම් සතර සතිපට්ඨානය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, සත්තිස් බෝධිපාක්ෂික ධර්මය ආදී වටිනා වස්තු බුදු සසුනේ මිල කළ නොහැකි වස්තූන් ය.

මහ මුහුදේ අද්භූත ශරීර ඇති සත්ත්වයන් සිටින සේ මාගේ බුදු සසුනේ ද මහනීය පුද්ගලයන් සිටී. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් ආදී අයත්, ‘යදිදං චත්තාරි පුරිස යුගානි’ “අට්ඨපුරිස පුග්ගලා’ ආදී මහානීය ගුණයෙන් යුතු උතුම් පුරුෂයින් වැඩ සිටිනවා.

මෙසේ කරුණුවලින් යුතු නිසා සිවුවනක් පිරිස මේ තරමට ම බුදු සසුනට ඇලුම් කරන බව මහමුහුද උපමා කර ගනිමින් බුදු දහමේ ආශ්චර්යවත් ස්වභාවය පැහැදිලි කර දෙන ලදහ.