Print this Article


දික්වැල්ල දීඝවාලුකාරාම රාජ මහා විහාරස්ථ මහ පෙරහර මංගල්‍යය

දික්වැල්ල දීඝවාලුකාරාම රාජ මහා විහාරස්ථ මහ පෙරහර මංගල්‍යය

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බතීගම, නැඟෙනහිර ග්‍රාම නිලධාරි වසමට අයත් බතීගම ග්‍රාමයේ දීඝවාලුකාරාම රාජ මහා විහාරස්ථානය පිහිටා ඇත. කොළඹ - කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, බතීගම පසුකර මද දුරක් ගමන් කළ පසු හමුවන සිරි චූලපදුම මාවත ඔස්සේ මීටර් 300ක් පමණ ගමන් කළ විට දීඝවාලුකාරාම රජ මහා විහාරස්ථානය හමුවේ.

ශතවර්ෂ පහකට අධික ඓතිහාසික උරුමයන් රැසකින් සමන්විත දීඝවාලුකාරාම රාජ මහා විහාරස්ථානය රුහුණේ ඉපැරැණි සිද්ධස්ථාන අතර ප්‍රමුඛපෙළේ විහාරස්ථානයකි. 1747 වර්ෂයේ දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි මිණිකිරුළ නම් රජ දරුවන් විසින් මෙම විහාරස්ථානය කොබනිල්ල වැව අසල ඉදි කළ බව මහාවංශයේ සහ තැනුම්පත විහාරවංශයේ සඳහන් වේ.

කොබනිල්ල වැව අසල ඉදිකළ බැවින් ආරම්භක යුගයේ දී කොබනිල්ල විහාරස්ථානය යන නමින් මෙම විහාරස්ථානය හඳුන්වා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. විහාරස්ථානයේ චිරස්ථිතිය පිළිබඳ උනන්දු වූ පසුකාලීන ශාසන මාමකවරුන් විසින් මෙම විහාරස්ථානය අද පවතින ස්ථානයේ පිහිටුවන ලදැයි කියැවේ. ඒ සඳහා පුරෝගාමී වූයේ අතිපූජනීය, වන්දනීය කැටගොඩ රතනජෝති නාහිමියන් බව වංශකතාවෙහි සඳහන් වේ. එකල “දික්වැල්ලේ” පන්සල යන නාමයෙන් හඳුන්වා ඇති අතර, පසුකාලයේ දී “දීඝවාලුකාරාමය” යන නම ව්‍යවහාරයට පැමිණ ඇත.

1820 වර්ෂයේ දී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර 1835 වර්ෂයේ සිට 1915 වර්ෂය දක්වා අතිපූජනීය ලංකාගොඩ ධීරානන්ද, දික්වැල්ලේ සිරි චූලපදුම වැනි මහ නාහිමිවරු යටතේ පුනර්ජීවයක් ලැබීය. වසර 200ක් පමණ පැරැණි ධර්මශාලාව වසර 120කට පමණ පෙර ඉදිකර ඇති බුද්ධ මන්දිරය තුළ දැකිය හැකි මහනුවර යුගයට අයත් බිතු සිතුවම් සහ මීට ශතවර්ෂ එකහමාරකට පෙර ඉදිකොට ඇති ශුද්ධ සීමා මාලකය, වසර 200ක් පමණ පැරැණි ධර්ම ශාලාව , වසර 300ක් පමණ පැරැණි වෙහෙර වහන්සේ, වසර 300ක් පැරැණි බෝධීන් වහන්සේ විහාරස්ථානයේ පෞරාණික බව සංකේතවත් කරයි.

වසර 300ක් පමණ ඉපැරැණි විෂ්ණු කතරගම දේවාලය සෑම වසරක ම වෙසක් මාසයේ පෙරහරට සමගාමීව නානුමුර මංගල්‍යය පවත්වනු ලබයි.

වසර 184ක පමණ පෙර කාලයක සිට සෑම වෙසක් පොහොය දිනකම මහා පෙරහර පවත්වනු ලබයි. දේවාලයේ නානුමුර මංගල්‍යයෙන් පසුව වෙසක් දිනට පෙර දින හතරේ දී පේළි පෙරහර හතරක් සහ වාර්ෂික වෙසක් දින වෙසක් මහා පෙරහර පැවැත්වීම මෙම විහාරස්ථානය මඟින් සිදු කරගෙන යනු ලබන සුවිශේෂී ආගමික උත්සවයකි. ධාතු කරඬුව වැඩමවීම ඇතකු පිට නොව පාරම්පරිකව පැවැත එන පිරිසකගේ කර මතින් සිදු කිරීම ද විශේෂත්වයකි.

මෙම පෙරහර 2009.04.08 දින ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම පෙරහර දික්වැල්ලේ පැරැණිතම සහ ඉතා අලංකාරවත් සංස්කෘතික මංගල්‍යයකි. දික්වැල්ලේ ඓතිහාසික දීඝවාලුකාරාම වෙසක් මහා පෙරහර නම් කර ඇත්තේ දකුණුලක මහා සංස්කෘතික මංගල්‍යයක් වශයෙනි. අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා, ආමිස පූජාවලින් සමලංකෘත ය. ආමිස පූජාව අතරින් “පෙරහර” විචිත්‍රවත් වූ මහා සංස්කෘතික පූජාවක් වශයෙන් හැඳින්විය හැකි ය.

අප සම්මා සම්බුදු සුගත තථාගත බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් 187 වරටත් සිදු කිරීමට නියමිත දකුණුලක මහා සංස්කෘතික මංගල්‍යය පැවැත්වෙන ආකාරය පිළිබඳ ශාස්ත්‍රවේදී පූජ්‍ය අබකොළවැවේ බුද්ධික හිමියන් අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.

දික්වැල්ල ඓතිහාසික දීඝවාලුකාරාම රාජමහා විහාරාධීෂ්වර අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මාතර පළාතේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත අතිගෞරවාර්හ සීනිපැල්ලේ රතනවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසනා පරිදි දික්වැල්ල දීඝවාලුකාරාම රාජමහා විහාරස්ථ විද්‍යාතිලක මහ පිරිවෙන්හි පරිවේණාධිපති රූපවාහිනී හා ගුවන්විදුලි ධර්මදේශක අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමියන්ගේ අනුශාසනා ආශිර්වාදයෙන් දික්වැල්ල දීඝවාලුකාරාම රජමහා විහාරවාසී විද්‍යාතිලක මහ පිරිවෙන්හි පරිවේණාචාර්ය පුස්තකාලයාධිපති දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක ශාස්ත්‍රවේදී පූජ්‍ය අබකොළවැවේ බුද්ධික හිමියන්ගේ ප්‍රධාන උපදේශකත්වයෙන් දායක සභාවේ සභාපති හිටපු කම්කරු හා වෘත්තීය පුහුණුූ රාජ්‍ය අමාත්‍ය පියසිරි මැතිතුමා, දායක සභාව, පෙරහර කමිටුව ප්‍රදේශවාසී ගම්වාසි රටවාසී සකලලෝකවාසී සැදැහැවත් බැතිමතුන්ගේ ආශිර්වාදය හා දායකත්වය මත දකුණු ලක සිදු කරන විශේෂිත වූ බුද්ධ පූජා මංගල්‍යය 187වන වරටත් 2024 වර්ෂයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. අපේ‍්‍රල් මස 23 වෙනි දා සවස 6ට දහසක් අටපිරිකර පූජාකරමින් සිදු කෙරෙන බුද්ධ තේවාවෙන් අනතුරුව ලෝක වාසී සැමට ආශිර්වාද පතා දේව ආරාධනාව සිදු කරමින් කප්සිටුවීමේ මංගල්‍ය සිදු වෙනවා.

මැයි මස 20,21,22,23, පේළි පෙරහරට සමගාමී ව උදෑසන පටන් දාන, සීල, භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, වරු පිරිත් දේශනා, අටවිසි සම්බුද්ධ පූජාව, ආදි පින්කම් රාශියක් සිදු කරනු ලබනවා. සකල ලෝවාසී සිත් සුවපත් කිරීමේ බලාපොරොත්තුවෙන් පවත්වනු ලබන එම සියලු පුණ්‍ය කටයුතු ශ්‍රී සදහම් බුද්ධ රශ්මි විකාශනය හරහා ප්‍රචාරය වෙනවා.

මැයි මස 24 වෙනිදා පෙ.ව. 11.30ට යෙදෙන සුබ මොහොතින් දකුණු ලක සිදු කරන මහා සංස්කෘතික පෙරහර මංගල්‍යය ආරම්භ වෙනවා. උඩරට, පහතරට, සබරගමු, නැටුම් නියෝජනය කරමින් නැටුම්, ගැයුම්, වැයුම් හේවිසි හඬ මධ්‍යයේ අලිඇතුන් පිරිවරා ගනිමින් බැතිමතුන්ගේ ආගමික ශ්‍රද්ධාව පිනවමින් උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ගුණයට උපහාර දක්වමින් ඒ දර්ශනීය පෙරහර මංගල්‍යය සිදු වෙනවා.

25 වෙනිදා අවසාන වශයෙන් මහා දේවදානමය පින්කම් සිදු වෙනවා. සියලු දෙනා ඒකරාශි ව සද්භාවයෙන් උතුම් බුද්ධාලම්භන පී‍්‍රතිය වඩමින් සකලවාසි සැදැහැවතුන්ගේ සිත් සුවපත් වේවා යන ප්‍රාර්ථනාව පෙරදැරි කර ගනිමින් දකුණු ලක සිදු කරන්නා වූ ඒ වෙසක් පෙරහර සංස්කෘතික මංගල්‍යයට සහභාගි වී කුසල් වඩවා ගන්න.