Print this Article


ගෞතම බුදුරදුන් දේශනා කොට වදාළ සත්බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය

ගෞතම බුදුරදුන් දේශනා කොට වදාළ සත්බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය

අරහත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ ලක්ෂයක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, අසූ දහසක් රහතන් වහන්සේ පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, හැත්තෑදහසක් රහතන් වහන්සේ පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද වශයෙන් සංඝ සන්නිපාත තුනක් පිරිවරා වැඩසිටි සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේ වශයෙන් අභීභූ මහරහතන් වහන්සේ ද, සම්භව මහ රහතන් වහන්සේ ද වැඩ සිටි සේක.

දීඝ නිකායේ මහා වග්ගයේ මහාපදාන සූත්‍රයේ දී බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය ගැන වදාළ දෙසුම ලෙස “මහාපදාන සූත්‍රය” සටහන් ව තිබෙනවා. ඒ සූත්‍ර දේශනාව පුරාම අපගේ ශාස්තෘන් වහන්සේ පෙර විසූ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා.

මහාපදාන සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයේ ලුණුවරණ රුක් සෙවණෙහි වූ ශාලාවට රැස් වූ බොහෝ භික්ෂූන් අතර “පෙර ආත්මයන් හි ගත කළ අයුරු මෙබඳු වෙයි, පෙර ආත්මයෙහි ගත කළ අයුරු මෙබඳු වෙයි” වශයෙන් පෙර විසූ කඳ පිළිවෙල ගැන ධර්ම කතාවක් හට ගත්තා. එතැනට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අසා වදාළ සේක.

“මහණෙනි, පෙර ආත්මභවයන් හි බුදුවරු ගත කළ අයුරු පිළිබඳ දහම් කතාවක් අසන්නට ඔබ කැමැති ද?

ස්වාමීනි, යම් හෙයකින් පෙර විසු බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයන්හි ගතකළ අයුරු පිළිබඳ ව දහම් කතාවක් වදාරන සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි. සුගතයන් වහන්ස, මේ එයට කාලය යි.

“එසේනම් මහණෙනි, සවන් යොමු කර අසව්, මැනවින් මෙනෙහි කරව්. පවසන්නෙම්”

“එසේ ය, ස්වාමිනි, කියා භික්ෂූන් වහන්සේ වදාළ සේක.”

මහණෙනි, යම් කලෙක අරහත් සම්මා සම්බුදු වූ විපස්සී බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි උපන්නා ද, ඒ මෙයින් අනු එක් කල්පයකට පෙරයි. මහණෙනි, යම් කලෙක අරහත් සම්මා සම්බුදු වූ සිඛී බුදුරජාණන් වහන්සේ ලෝකයේ උපන්නා වූ ද, ඒ මෙයින් තිස් එක් කල්පයකට පෙරයි. මහණෙනි, ඒ තිස්එක්වෙනි කල්පයෙහි ම අරහත් සම්මා සම්බුදු වෙස්සභු බුදුරජාණන් වහන්සේ ලෝකයේ උපන් සේක. මහණෙනි, ඒ භද්‍ර කල්පයේ ම අරහත් සම්බුදු කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණා. මේ භද්‍ර කල්පයෙහි ම අරහත් සම්මා සම්බුදු වූ කෝණාගමන භාග්‍යවතාණෝ ලෝකයට පහළ වුණා. මහණෙනි, මේ භද්‍ර කල්පයෙහි ම අරහත් සම්මා සම්බුදු වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකයේ උපන්නා. මහණෙනි, මේ භද්‍ර කල්පයෙහි ම මෙකල්හි ලෝකයෙහි උපන් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මම වෙම්යි’ වදාළ සේක,

ඒ සියලුම සත්බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේව මනුස්සානං වන සේක. බුද්ධ වන සේක, භගවා වන සේක.

ඒ සත්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් ම අසම වන සේක, අසමසම වන සේක, අනාථනාථ වන සේක, අග්‍ර දක්ෂිණෙය්‍ය වන සේක, තුන් ලෝකාග්‍ර වන සේක. තුන්ලොව දිනූ සේක. මහා කාරුණික වන සේක. තථාගත වන සේක. අනන්ත සිල් ඇති සේක, අනන්ත සමාධි ඇති සේක, අනන්ත ප්‍රඥා ඇති සේක, අනන්ත විමුක්ති, අනන්ත විමුක්ති ඥාන දර්ශන ඇති සේක, මහා කරුණා ඇති සේක, මහා ප්‍රඥා ඇති සේක.

එමෙන්ම මහණෙනි, සියලු බෝසත්වරු මනු ලොව ඉපදීමට පෙර තමන්ගේ අන්තිම ආත්ම භවයෙහි දී තුසිත දෙව් ලොව වැඩ සිටිනවා. ඒ බෝසත්වරු දෙව්ලොවින් චුතව සිහිනුවණින් යුතු ව මවු කුසෙහි පිළිසිඳ ගනී. බුද්ධත්වයට පත්වන ආත්මයෙහි සියලු බෝසත්වරුන්ට අයත් ස්වභාවය එයයි. එය ධර්මතාවකි.

මහණෙනි, යම් විටෙක බෝසත් තෙමේ තුසිත දෙව්ලොවින් චුත ව මවුකුස පිළිසිඳ ගනියි ද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ, මහත් වූ, ආලෝකයක් පහළ වුණා. යම් ඒ දුක්ඛිත වූ, හැම කල විවෘත වූ, ආවරණය නොවූ, අඳුර ඇති, ඝන අඳුර ඇති ලෝකාන්තරික නිරයක් වෙයි ද, යම් තැනක මේ සා ඉතා ඍද්ධි ඇති, මේ සා මහානුභාව ඇති හිරු, සඳුගේ එළිය නො වැටෙත් ද, එහි පවා ඒ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය, පමණ නොකළ හැකි, මහත් වූ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්වයෝ ඇද්ද ඔවුනුත් ඒ එළියෙන් එකිනෙකා හඳුනා ගනියි. ‘භවත්නි, මෙහි අන්‍ය වූ සත්වයෝත් ඉපදි සිටිත් නොවැ’යි සිතයි.

එවිට මේ දස සහස්සී ලෝක ධාතුවම කම්පා වෙයි. හාත්පසම කම්පා වෙයි. අතිශයින් කම්පා වෙයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය, පමණ නොකළ හැකි මහත් වූ ආලෝකයක් ලෝකයෙහි පහළ වෙයි. මෙය ද සියලු බුදුවරුන්ට උරුම ධර්මතාවයකි. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේලාට පමණක් උරුම වූ ධර්මතා රැසක් තිබෙන බව දේශනා කොට වදාළා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ භද්‍ර කල්පයේ පහළ වූ සත්බුදුරජාණන් වහන්සේ ගැන මෙසේ ද වදාළ සේක.

විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

මෙයට අනුඑක් කල්පයකට පෙර ලොව වාසය කළ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූදහසක් ව පැවතුණා. එකල දෙවි මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී වදාළා. උන්වහන්සේ විපස්සී යන නාමය ලැබුවා. උන්වහන්සේ උපන්නේ ක්ෂත්‍රීය වංශයට අයත් රජ පවුලක කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ යි. උන්වහන්සේගේ පියාණන් වූයේ බන්ධුමතී රාජධානියේ රජ කළ බන්ධුම රජුයි. මව වූයේ බන්ධුමතී රාජ දේවිය යි. උන්වහන්සේ පළොල් රුක් සෙවණේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

අරහත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ එක් ලක්ෂ සැට දහසක් පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක් ද, එක්ලක්ෂයක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, අසූ දහසක් රහතන් වහන්සේ පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩසිටි සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේ වශයෙන් ඛණ්ඩ මහරහතන් වහන්සේ ද, තිස්ස මහ රහතන් වහන්සේ ද, වැඩ සිටි සේක. අසෝක නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩ සිටි සේක.

මෙසේ සම්බුද්ධත්වය ලබා දෙව් මිනිස් ලෝ සතුන්හට පිළිසරණ දුන් ඒ විපස්සී සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් වැඩි පසු බොහෝ කල්ප කාලයක් පුරාවට ම බුද්ධ ශූන්‍ය කාලයක් පැවතුණා.

සිඛී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස නැවතත් මෙයට තිස්එක් කල්පයකට පෙර සිඛී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හැත්තෑදහසක් වුණා. සිඛී බුදුරජාණන් වහන්සේ උපන්නේ ක්ෂත්‍රීය වංශයට අයත් රජ පවුලක කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ යි.

උන්වහන්සේගේ පියාණන් වූයේ අරුණවතී රාජධානියේ රජ කළ අරුණ රජතුමා යි. මෑණියන් වූයේ ප්‍රභාවතී රාජ දේවිය යි. උන්වහන්සේ හෙළඹ රුක් සෙවණක දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

අරහත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ ලක්ෂයක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, අසූ දහසක් රහතන් වහන්සේ පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, හැත්තෑදහසක් රහතන් වහන්සේ පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද වශයෙන් සංඝ සන්නිපාත තුනක් පිරිවරා වැඩසිටි සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේ වශයෙන් අභීභූ මහරහතන් වහන්සේ ද, සම්භව මහරහතන් වහන්සේ ද වැඩ සිටි සේක. ඛේමංකර නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩසිටි සේක.

මෙසේ සම්බුද්ධත්වය ලබා දෙව් මිනිස් ලෝ සතුන්ට පිළිසරණක් ලබා දුන් ඒ භාග්‍යවත් අරහත් සිඛී නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. ඉන්පසු බොහෝ කල්ප කාලයක් ලොවට බුද්ධ කියන වචනය ඇසුණේ නැහැ. බුද්ධ ශුන්‍ය අඳුරු කාලයක් උදා වුණා.

වෙස්සභු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

නැවතත් එකල ජීවත් වූ මිනිසුන්ගේ වාසනාවන්ත ම කාලය උදාවුණා. මීට තිස් එක් කල්පයකට පෙර ලොව වාසය කළ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හැට දහසක් ව පැවැතුණා. එකල දෙව් මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණා.

උන්වහන්සේ වෙස්සභූ යන නාමය ලැබුවා. උන්වහන්සේ උපන්නේ ක්ෂත්‍රීය වංශයට අයත් රජ පවුලක කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ යි. උන්වහන්සේගේ පියාණන් වූයේ අනෝම රාජධානියෙහි රජකළ සුප්පනීත රජතුමා යි. මෑණියන් වූයේ යසවතී රාජ දේවිය යි.

උන්වහන්සේ සල්රුක් සෙවණක දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. අරහත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ අසූ දහසක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, හැත්තෑ දහසක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද, හැට දහසක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩසිටි සේක.

අග්‍රශ්‍රාවකයන් වහන්සේ වශයෙන් සෝණ මහ රහතන් වහන්සේ ද, උත්තර මහරහතන් වහන්සේ ද, වැඩසිටි සේක. උපසන්න නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩ සිටි සේක.

මෙසේ සම්බුද්ධත්වය ලබා දෙව් මිනිස් ලෝ සතුන්ට පිළිසරණක් ලබා දුන් ඒ භාග්‍යවත් අරහත් වෙස්සභූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. ඉන්පසු බොහෝ කල්ප කාලයක් ලොව පැවතුණේ මහා අඳුරු යුගයක යි.

වෙස්සභූ බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිය පසු එකල ජීවත් වූ මිනිසුන්ට කිසිදු පිහිටක්, පිළිසරණක්, ආරක්ෂාවක් නො තිබුණි.

කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතළිස් දහසක් ව පැවතුණි. මේ මහා භද්‍ර කල්පයේ ම දෙව් මිනිසුන්ගේ යහපත පිණිස නැවත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණා. උන්වහන්සේට කකුසඳ යන නාමය ලැබුණා. උන්වහන්සේ උපන්නේ බ්‍රාහ්මණ වංශයට අයත් කාශ්‍යප ගෝත්‍රයේ යි. පියා වූයේ ක්ෂේමවතී රාජධානියේ අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා යි. මෑණියන් වූයේ විසාඛා බ්‍රාහ්මණතුමිය යි. උන්වහන්සේ මහරී රුක් සෙවණේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. අරහත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ හතළිස් දහසක් රහතන් වහන්සේ පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් පිරිවරා වැඩ සිටි සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේ වශයෙන් විධුර මහරහතන් වහන්සේ ද, සංජීව මහරහතන් වහන්සේ ද වැඩ සිටි සේක. බුද්ධජ නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩසිටි සේක.

උන්වහන්සේ ද මෙසේ සම්බුද්ධත්ව කෘත්‍ය සම්පූර්ණ කර දෙව් මිනිස් ලෝ සතුන්හට පිළිසරණ ලබා දී පිරිනිවී වැඩි සේක.

නැවත මේ ලෝක සත්ත්වයා අවිද්‍යාවෙන් බරව, අසරණ ව කිසිදු පිහිටක්, පිළිසරණක්, ආරක්ෂාවක්, රැකවරණයක් නොමැතිව බොහෝ කල්ප කාලයක් ඉපදෙමින් මැරෙමින් මේ සසරේ ගමන් කළා. නැවතත් මේ භද්‍ර කල්පයේ මිනිසුන්ගේ වාසනාව උදා වුණා. ඒ තවත් උත්තම මනුස්ස රත්නයක් ලොව පහළ වූ නිසා.

කෝණාගමන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

මේ මහා භද්‍ර කල්පයේ ලොව වාසය කළ දෙව් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු තිස් දහසක් පැවතුණා. එකල දෙව් මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණා. උන්වහන්සේ කෝණාගමන යන නාමය ලැබුවා. උන්වහන්සේ උපන්නේ බ්‍රාහ්මණ වංශයට අයත් කාශ්‍යප ගෝත්‍රයේ යි. උන්වහන්සේගේ පියාණන් වූයේ සෝභවතී රාජධානියේ යඤ්ඤදත්ත පුරෝහිත බ්‍රාහ්මණයා යි. මෑණියන් වූයේ උත්තරා බ්‍රාහ්මණතුමිය යි. උන්වහන්සේ දිඹුල් රුක් සෙවණක දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

තිස් දහසක් රහතන් වහන්සේ පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් පිරිවරා වැඩසිටි සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේ වශයෙන් භීයෝස මහ රහතන් වහන්සේ ද, උත්තර මහ රහතන් වහන්සේ ද වැඩසිටි සේක. සොත්ථිජ නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩ සිටි සේක.

මෙසේ සම්බුද්ධත්වය ලබා ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දහම් දෙසා අවිද්‍යා අන්දකාරයෙන් මුදවා පිළිසරණ ලබා දුන් සේක. කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිය පසු ලෝකයාට මහත් වූ අන්ධකාරයක් නැවතත් උදා වුණා.

කල්ප බොහෝ කාලයකට පසුව නැවතත් ලෝකය පුරා ආලෝකයක් පැතිර ගියා. ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව ඉපදුන නිස යි.

කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

මේ මහා භද්‍ර කල්පයේ ම ලොව වාසය කළ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසි දහසක් වුණා. එකල දෙව් මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණා.

උන්වහන්සේ උපන්නේ බ්‍රාහ්මණ වංශයට අයත් කාශ්‍යප ගෝත්‍රයේ යි. උන්වහන්සේගේ පියා වූයේ කිකී නම් රාජධානියේ බ්‍රහ්මදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා යි. මෑණියන් වූයේ ධනවතී බ්‍රාහ්මණතුමිය යි. උන්වහන්සේ් නුගරුක් සෙවණේ දී දසමාර සේනා පරදා උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. අරහත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ විසි දහසක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් පිරිවරා වැඩ සිටි සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේ වශයෙන් තිස්ස මහ රහතන් වහන්සේ ද, භාරද්වාජ මහරහතන් වහන්සේ ද වැඩ සිටි සේක. සර්වමිත්‍ර නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩ සිටි සේක.

අපගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ද බුද්ධ කෘත්‍ය අවසන් වුණා. මුළු ලෝකය ම නැවතත් මහා අන්ධකාරයක් වැසී ගියා. ගුණ දහම් පිරිහී ගියා. දෙව් මිනිස් ලෝ සතුනට මහත් වූ පිළිසරණක්, පිහිටක්, ආලෝකයක් වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවී වැඩි පසු ලෝක සත්ත්වයාට උදා වූයේ බුද්ධ ශූන්‍ය කාලයකි.

නැවතත් දෙව් මිනිසුන්ට මහත් වූ යහපතක් උදා වුණා. දෙව් මිනිසුන්ට දුක කියන්නේ කුමක් ද? දුක හට ගන්නේ කොහොම ද? දුකෙන් නිදහස් වන්නේ කොහොම ද? දුකෙන් නිදහස් වන මාවත කුමක් ද? කියල කියා දෙන්නටත්, අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටි සතුනට දුකෙන් මිදෙන්නට සරණක් වීමටත් අප ආදරයෙන් සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක.

ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ

මේ භද්‍ර කල්පයේ මින් දෙදහස් පන්සිය හැට හතකට පෙර ලොව වාසය කළ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් ව පැවතුණා. එකල දෙව් මිනිසුන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණා. උන්වහන්සේ ගෞතම නම් වූ අපගේ බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ උපන්නේ ක්ෂත්‍රීය වංශයට අයත් ගෞතම ගෝත්‍රයේ යි. උන්වහන්සේගේ පියාණන් වූයේ කපිලවස්තු රාජධානියේ සුද්ධෝදන රජතුමා යි. මෑණියන් වූයේ මහමායා බිසවුන්. උන්වහන්සේ ඇසතු රුක් සෙවණේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

අරහත්වයට පත් වූ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ එක්දහස් දෙසිය පනස් නමක් රහතන් වහන්සේ පිරිවරා මහා සංඝ සන්නිපාතයක් පිරිවරා වැඩ සිටි සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේ ලෙස සාරිපුත්ත මහරහතන් වහන්සේ ද, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද වැඩ සිටි අතර ආනන්ද නමින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩ සිටි සේක.

උන්වහන්සේ අවුරුදු අසූවක් ආයු වළඳා පිරිනිවනට වැඩි සේක. මේ භද්‍ර කල්පයේ ම නැවතත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට නියමිත යි. මේ ගෙවී යන්නේ අප සරණ ගිය ගෞතම බුදුරදුන්ගේ බුද්ධ රාජ්‍යය යි. අපටත් ගෞතම බුදුරදුන්ගේ බුද්ධ ශාසනයේ නියත රැකවරණය ලැබීමට ශක්තිය ලැබේවා! උතුම් සත්බුදුරජාණන් වහන්සේට අපගේ ගෞරව නමස්කාරය වේවා!