මරණය
දඬුවමක් ද?
විල්පිට ගුණරතන හිමි
දඬුවම යනු කෙනකු පුනරුත්ථාපනය කරන ක්‍රියාවලියක් මිස ජීවිතය තොර කිරීමක් නොවන බව
බෞද්ධ මතයයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ
ධම්මපදය තුළ දණ්ඩ වග්ගයේ සඳහන් ඉහත ගාථාවෙන් පිළිබිඹු කෙරෙන්නේ දඬුවම් විඳින්නට හැම
කෙනෙක් ම බිය වනවා සේ ම ඒ නිසාම තමන් ව උපමාවට ගෙන කිසිම කෙනකුට මරණය ලබා දීමත්,
මරණයට පත් කිරීමත් සිදු නො කළ යුතු වන්නේ ය, යනුවෙනි බෞද්ධ විග්‍රහය තුළ මරණය යන්න
අනුමත කර නැත.
නූතනයේ බොහෝ සෙයින් කතා බහට ලක්වන මාතෘකාවක් ලෙස මරණ දඬුවම පිළිබඳ බෞද්ධ විග්‍රහය
අප පහදා ගත යුතු ය.
දඬුවම යනු කෙනකු යම් වරදක් කළ පසුව ඔහුට එම වරද වටහා දී නිසි මඟට ගැනීමට, එසේත්
නොමැති නම් පුනරුත්ථාපනය කිරීමට යොදා ගනු ලබන ක්‍රමවේදයකි. එහි වරදක් නැත. මන්ද
යත්, බුදුදහම තුළ දඬුවමක් ලෙස මරණය අනුමත නො කරන නිසා ය.
බුදුරජාණන් වහන්සේ ද දඬුවම පිළිබඳ බෞද්ධ විග්‍රහය සිදු කර ඇත. එහිදී කායික දඬුවම
අනුමත නො කරන අතර, මානසික දඬුවම පිළිබඳ කරුණු පෙන්වා දී ඇත. ඉන් එක් ක්‍රමයක් ලෙස
“බ්‍රහ්ම දණ්ඩනය” දඬුවම් ක්‍රමවේදයක් ලෙස පෙන්වාදිය හැක. මීට අමතරව බුදු දහමේ ගිහි
ඇත්තන් උදෙසා “පත්ත නික්කු ජීවිතය” සිදු කර ඇත. එනම් පාත්‍රය අනෙක් අතට හැරවීමයි.
මේ සෑම දෙයක් ම සිදු කරන්නේ කෙනකු අපහසුතාවට පත් කිරීමට නොවන අතර, ඔවුන් විසින්
සිදු කළ වැරැදි ක්‍රියාව තේරුම් ගැනීමට අවස්ථාව සැලසීම බව බෞද්ධ මතය වේ.
එක්තරා අවස්ථාවක “කේසී නම් අශ්ව පාලකයාගෙන් බුදු හිමියන් විමසා සිටියේ ඔබ අශ්වයන්
දමනය කරන්නේ කෙසේද කියා ය. එහිදී කේසි නම් අශ්ව පාලකයාගේ පිළිතුර වූයේ ගුණෙන්,
අණෙන්, මේ දෙකෙන් ම කළ හැකි නොවූයේ නම්, මරා දමන බවයි.
එහිදී කේසී විසින් බුදු හිමියන්ගෙන් විමසා සිටියේ ඔබ වහන්සේ ශ්‍රාවක ජනී ජනයා දමනය
කරන්නේ කෙසේද යනුවෙනි. බුදු හිමියනුත් පවසා සිටියේ ගුණෙන්, අනෙන් දෙකෙන් ම නැතහොත්
මරා දමන බවයි. කේසි නැවත බුදුහිමියන්ගෙන් අසන ලද්දේ බුදු කෙනකුත් අනෙකෙකු මැරීම
කරන්නේ ද යන්නයි. එහිදී බුදුහිමියන් පවසන ලද්දේ මරමි යනුවෙන් අදහස් කළේ ප්‍රාණඝාතය
සිදු කිරීමක් නොවන බවත්, මරණය යනුවෙන් අදහස් කළේ බ්‍රහ්ම දණ්ඩනය පැනවීමත් බවයි.
මෙහිදි ආර්ය විනය තුළ මරණය යනුවෙන් අදහස් කරන්නේ බ්‍රහ්ම දණ්ඩනය පැනවීම බව පැහැදිලි
ය.
කුමන හේතුවක් නිසා හෝ තවකෙනකුගේ ප්‍රාණයක් (ජීවිතය) නැති කිරීමට කිසිවෙකුටවත් බලයක්
හෝ හිමිකමක් නොමැත. යමෙක් එවැනි දේට පෙළඹී මරණය දඬුවමක් ලෙස, සිදු කරන්නේ නම්, එය
කෙතරම් විශාල පාපයක් ද යන බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.
එහෙයින් බෞද්ධ රටකට උචිත ලෙස බොදු ප්‍රතිපත්තිවලට අනුකූල ලෙස සමාජ විරෝධී පුද්ගලයන්
පුනරුත්ථාපන ක්‍රියාවලියක් හමුවේ සමාජයේ යහපත් මඟට යොමුකරමින් බොදු දිවි පැවැත්මකට
හුරු කරනවා විනා එම වරදකරු නැවත වෛරී අදහස්වලින් පිරි කෙනකු ලෙස සමාජගත කිරීම නොකළ
යුතු වන්නේ ය. ඒ නිසාම “සෑම සිරකරුවෙක් ම මනුෂ්‍යයෝ ය” යනුවෙන් ලොවම පිළිගත් මානව
හිමිකම් සහිත කොටසක් බව පිළිගත් කරුණකි.
සෑම මනුෂ්‍යයකුම මෙලොව සදාකාලික ව ජීවත් වන්නේ නැත. කෙටි වසර ප්‍රමාණයක් ගතකොට මරණ
ධර්මතාවයට පත් විය යුතු ය. එසේ නම් එම ටික කාලයට තවකකු සමඟ වෛරී චේතනාවෙන් රණ්ඩු
සරුවල් වී කලකෝලාහල කරගෙන කුමකට ද? එහි ජීවත්වන ටික කාලය තුළ සැවොම සමඟ
සහෘදත්වයෙන්, මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් ක්‍රියා කිරීම කෙතරම් සුන්දර ද? බුදු දහම
ඇතුළු බොහෝ ආගම්වල පෙන්වා දෙන්නේ එම සහෘද බැඳීම ම ය. එසේ නම් යම් වරදකරුවකුට
දඬුවමක් ලෙස මරණය ලබා දීම බෞද්ධ දර්ශනයට අනුව අනුමත කළ නොහැකි බවත්, ඔවුන්
පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමට ක්‍රියා කළ යුතු බවත් අප වටහා ගත යුතු ය.
සසරේ බොහෝ පින් කොට දුර්ලභව ලැබෙන මිනිසත් බවය පවට නැඹුරු නොකොට, පිනට නැඹුරු කොට
මුළු මහත් සමාජයට ම වැඩදායි, ධර්මානුකූල දිවි පැවැත්මකට පත් කිරීමට අප හැම කෙනෙකු ම
ක්‍රියා කළ යුතු බව නිතරම සිහිපත් කළ යුතු කරුණකි. |