ජීවිතයක වටිනාකම මිල කළ නොහැකියි
ගාල්ල, තල්පෙ,
මාකඳුගොඩ නිග්රෝධාරාමාධිකාරී,
සිරි ඤාණරතන පිරිවෙනෙහි පරිවේණාධිපති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති විනයාචාර්ය
බුත්තල ඤාණාධාර හිමි
ලෝකයෙහි නොයෙක් විදියේ සත්වයෝ ජීවත් වෙති. ඔවුන්ගේ ප්‍රමාණයක් තබා සත්ව වර්ග
මෙපමණක් පමණක් වෙතැ යි කිසි අයකුට සංඛ්‍යාත්මක ව පැවසීමට අසීරු ය. එබඳු ලොව තුළ
කෙනකුට මිනිසත් බවක් ලබා ගැනීම අතිශය දුර්ලභ ය. වරක් බුදුරදුන් දේශනා කළේ දෙව්ලොව
දෙවියකු ව උපදිනවාට වඩා මිනිස් ලොව අංග සම්පූර්ණ මිනිසකු ව ඉපදීම ඉතා අසීරු බව යි.
වරක් වනාන්තරයක් මැදින් භික්‍ෂූන් සමඟ වැඩම කරන බුදුරදුන් එක් ස්ථානයක නතර වී තමන්
වහන්සේ ගේ ශ්‍රී පාදයේ නිය මතු පිටට පස් ස්වල්පයක් ගෙන භික්‍ෂූන් වහන්සේගෙන් මෙසේ
විමසී ය.
“මහණෙනි, මේ මහපොළොවෙහි තිබෙන පස් ද වැඩි, නැතිනම් මාගේ නිය මතුපිට තිබෙන පස් ද?”
යනුවෙනි. එහිදී භික්‍ෂූන් වහන්සේ ගේ පිළිතුර වූයේ නිය මතුපිට පස් ස්වල්පයක් ම ඇති
බවත්, මහපොළොව තුළ ඇති පස් ප්‍රමාණය ම අධික බවත් ය. “එමෙන් ම මහණෙනි, මාගේ නිය
මතුපිට තිබෙන පස් ස්වල්පය සේ මිනිසත් බව ලැබූ පිරිස ම අල්ප ය.
මහපොළොවේ තිබෙන පස් සේ ම අන්‍ය ගතීන්හි උපත ලැබූ පිරිස ම අධික බවත් ය.
තවත් වරෙක බුදුරදුන් භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක. ගොවියෙක් ගොවිතැන් කොට වියගසක්
බැහැරට දැමූ අතර, එය ඇළ - ගං ඔස්සේ ගසාගෙන ගොස් මහ සාගරයට වැටෙයි.
මේ මුහුදෙහි එක් ඇසක් පෙනෙන (කණ) කැස්බෑවෙක් ජීවත් වේ. හේ අවුරුදු සියයකට වරක්
මුහුද යට සිට උඩට පැමිණේ. එසේ උඩට පැමිණෙන කණ කැස්බෑවා ගේ එකැසට වියගසෙහි සිදුර
මාට්ටු වී ඉන් අහස පෙනෙන්නේ නම් එය කලාතුරකින් සිදුවිය හැක්කකි. එහෙත් වරක් අපායෙහි
උපන් කෙනෙක් මිනිසත් බවක් ලැබීම ඊටත් වඩා අසීරු බව ය. මෙසේ අතිශය දුෂ්කර ව මිනිසත්
බවක් ලබා ගත්ත ද මිනිසුන් සමාජය තුළ සිව් ආකාරයකින් දත හැකි ය.
මනුෂ්‍ය ප්‍රේත, මනුෂ්‍ය තිරශ්චීන, මනුෂ්‍ය නාරකික, පරමාර්‍ථ මනුෂ්‍ය යනුවෙනි.
අතිශය දුප්පත් ව ඉපිද සා පිපාසාදියෙන් පෙළෙමින් ආහාර පානාදියක් ද, විළිවසාගන්නට
ඇඳුමක් විසීමට ගෙයක් පවා නොමැති අය ඕනෑ තරම් වෙත්. මොවුන් අනුන්ගෙන් යැපෙන අතර, අලස
ව, අපිරිසිදු ව අතිශය පිළිකුල් ව දිවි ගෙවති. ඔවුන් මිනිසුන් ලෙස උපත ලැබුව ද
ප්‍රේතයන් ගේ පැවතුම් ඇත්තෝ ය.
සමහරෙක් මිනිසත් බවක් ලැබුව ද තිරිසනුන් බඳු ආකල්පවලින් යුතුව ජීවත් වේ. ඒ අතර
තවකෙක් අපායේ වෙසෙන නිරයපල්ලන් සේ අන් අයට විපත් කරදර හානි පමුණුවමින් මිනිස්
තිරිසනුන් බඳුව දිවි ගෙවති. මේ අතර ලැබූ මිනිසත් බවෙහි වටිනාකම හඳුනාගෙන තුන් දොර
වෙහෙසා යහපත් ලෙස කටයුතු කරයි. උසස් ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් ව අන් අයට උපකාර
කරමින් ආදර්ශ සම්පන්න ජීවිතයක් ගෙවනු ලබයි. ඔවුන් පරමාර්‍ථ මිනිසුන් ය.
බුද්ධ දේශනාව තුළ අකුසල් අත්හරින ලෙසත්, ඒ අකුසල් අත්හැරීමට පුළුවන් බවත්, අකුසල්
අත් හැරීමෙන් යහපතක් ම වන බැවින් අකුසලින් ඈත්වෙන ලෙස පෙන්වා දේ. මෙ සේ මැනවින්
වටහාගත් නුවණැත්තෝ අඳුරෙන් ආලෝකය කරා මෙන් ම, ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරමින් ලැබූ
මිනිසත් බව අර්‍ථවත් කරගෙන දෙව් - මිනිස් සැප කෙළවර නිවන් සුව අවබෝධ කර ගනිති. |