සමාජයක් විනාශයට ගෙන යන
අසද්ධර්මය
මහණෙනි, ලොවුතුරා දහම දිවයිනක් කොට වාසය කරන්න. අන් සරණක් පිහිටක් බලාපොරොත්තු
නොවන්න. ධර්මය පිහිට කොට ධර්මය හැර වෙනත් පිහිටක් බලාපොරොත්තුවෙන් වාසය නොකරන්න.
මහණෙනි, මෙසේ ලොව්තුරා දහම දිවයිනක් කොට වෙනත් පිහිටක් අපේක්ෂා නොකොට ධර්මයම පිහිට
කොට වාසය කරන්නේ කෙසේද?
අප ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මගධ රටේ මාතුල නගරයේ වැඩ සිටින
කාලයේ දී වදාළ මෙම සූත්‍රය දීඝ නිකායේ පාඨික වර්ගයේ සඳහන් වේ.
අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා
අනඤ්ඤසරණා ධම්මදීපා ධම්මසරණා
අනඤ්ඤසරණා තථඤ්ච පන
භික්ඛවේ භික්ඛු
අත්තදීපෝ විහරති. අත්තසරණ
අනඤ්ඤසරණෝ ධම්මදීපෝ ධම්මසරණෝ
අනඤ්ඤ සරණෝ
(චක්කවත්තී සීහනාද සූත්‍රය)
මහණෙනි, ලොවුතුරා දහම දිවයිනක් කොට වාසය කරන්න. අන් සරණක් පිහිටක් බලාපොරොත්තු
නොවන්න. ධර්මය පිහිට කොට ධර්මය හැර වෙනත් පිහිටක් බලාපොරොත්තුවෙන් වාසය නොකරන්න.
මහණෙනි, මෙසේ ලොව්තුරා දහම දිවයිනක් කොට වෙනත් පිහිටක් අපේක්ෂා නොකොට ධර්මයම පිහිට
කොට වාසය කරන්නේ කෙසේද?
සතර සතිපට්ඨානය අනුවයි. එනම්, කායානුපස්සනා (කය අනුව බැලීම) වේදනානුපස්සනා,
චිත්තානු පස්සනා, ධම්මානුපස්සනා යන කරුණු අනුව කෙලෙස් තවන වීර්යය ඇතිව, නුවණින්
බලමින් එළඹි සිටි සිහි ඇතිව වාසය කරන පුද්ගලයා, ආත්මය (තමා) දිවයිනක් කොට ධර්මය
පිහිට කොට වාසය කරන්නේ යැයි, වදාළ සේක.
මෙසේ මවුපිය උරුමයෙන් ලැබූ භූමියෙහි වාසය කරන පුද්ගලයාට මරබිය නොවී කුසල් වඩමින්
පින් කරමින් ජීවත් විය හැකියි.
පෙර දැහැමින් රජ කරවන මුළු පොළොවටම අධිපති වූ දළ්හනේමි නම් සක්විති රජ කෙනෙක්
විසීය. ඔහු දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන්නේ අවුරුදු දහස් ගණනක් ඉක්මගිය කල්හි එක්තරා
පුද්ගලයකු කැඳවා මෙසේ කීය.
එම්බා පුරුෂය යම් කලෙක මේ සත්රුවන එනම් 1 චක්‍ර රත්නය 2. හස්ති රත්නය 3. අශ්ව රත්නය
4. මණි රත්නය 5. ස්ත්‍රී රත්නය 6. ගෘහපති රත්නය 7. පරිනායක රත්නය තිබූ තැනින් ඉක්ම
ගිය කල්හි මට දන්වව. මේ කාලයේ මිනිසුන්ගේ ආයු කාලය වසර අසූ දහසකි. අවුරුදු දහස්
ගණනක් ගත වූ විට එම පුරුෂයා සත් රුවන තිබූ තැනින් මඳක් පහ වූ බව රජුට දැනුම් දුන්නේ
ය. එවිට රජු දැන් තපස් රැකීමට සුදුසු කාලය යැයි අවබෝධ කොට රජකම තම වැඩිමහලු පුතාට
පවරා වනගත විය.
මෙම අභිනව රජතුමා රජකමට පත්ව දින කීපයකින් ඉහත දැක් වූ සත්රුවන අතුරුදන් විය. මේ බව
රාජ පුරුෂයෝ රජුට දැන්වූ කළ රජතුමා මහත් ශෝකයට පත්විය. රජු තම වනගත පිය රජු සමීපයට
ගොස් මේ කරුණ සැල කළේ ය. පියතුමා පුත, ශෝක නොකරන්න. මෙම දිව්‍ය චක්‍ර රත්නය
පියාගෙන් පුතාට දායාද වශයෙන් නොලැබේ. දස සක්විතිවත් සම්පූර්ණ කිරීමෙන් ම එය
ලැබෙන්නේ යැයි කීය. ඒ අනුව පාලකයකු විසින් පිළිපැදිය යුතු සක්විතිවත් උගන්වා, ඒ
අනුව රාජ්‍ය පාලනය කරන ලෙස කීය. එම දස සක්විතිවත් මෙසේ ය.
1. තමා දස කුසල ධර්මයන්හි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මයට ම ගරු කරමින්, ධර්මයම
පි‍්‍රය කරමින් ධර්මය පුදමින් වඳිමින් ධර්මය, කොඩියක් කරමින් ජීවත් වන්න. ධර්මය
අධිපතිත්වයෙහිලා සලකමින් ජීවත්වෙන්න. අඹු දරුවන් ද ඒ මාර්ගයෙහි යොදවන්න.
2. තම රජ්‍යයේ බලකාය හෙවත් යුද්ධ සේනාව ද එසේ සීලයෙහි පිහිටුවා ඔවුන්ට ධාර්මික
ආරක්ෂාව සලස්වන්න.
3. ක්ෂත්‍රියයන් එසේ සීලයෙහි පිහිටුවා ඔවුන්ට ධාර්මික ආරක්ෂාව සලස්වන්න.
4. බ්‍රාහ්මණ ගෘහපතීන් ද එසේ සීලයෙහි පිහිටුවා ධාර්මික ආරක්ෂාව සලස්වන්න.
5. ජනතාව ද සීලයෙහි පිහිටුවා ධාර්මික ආරක්ෂාව සලස්වන්න.
6. මහණ බමුණන්ට රැකවරණය දෙන්න.
7. සිවුපාවුන් ද කුරුල්ලන් ද ජීවිත දානයෙන් ආරක්ෂා කරන්න.
8.සිය රටෙහි අධාර්මික ක්‍රියා නොපවත්වන ලෙස කටයුතු සලස්වන්න.
9. දිළිඳු ජනතාවට ධනය දෙන්න.
10. සිය රටේ ආශාවෙන් තොර, සීලයෙන් යුතු, ඉවසීමේ ගුණය ඇති, කරුණා ගුණයෙන් සපිරි
රාගාදිය දමනය කළ මහණ බමුණන් කරා කලින් කල එළඹ කුසල් කුමක්ද? අකුසල් කුමක්ද? වරද
කුමක්ද? නිවැරැදි දේ තමන් කළ යුතු ද තමන් නොකළ යුතු ද? ආදී වශයෙන් විමසා උපදෙස්
ගන්න. මේ අනුව ක්‍රියා කරන්නේ නොබෝ දිනකින් සත් රුවන රජතුමාට පහළ විය. මෙම සක්විති
රජු ද ධාර්මික රාජ්‍ය පාලනය කරන්නේ අවුරුදු අසූ හාරදහසක් ළං වෙත්ම පෙර සේ ම තම
වැඩිමහලු පුතුට රාජ්‍ය පවරා තවුස් දම් පිරීමට වනගත විය.
එම අභිනව රජු ද තපස් රකින පියතුමා වෙත ගොස් උපදෙස් ගෙන දස සක්විතිවත් අනුව රාජ්‍ය
පාලනය කරන්නේ ය. මේ ආකාරයෙන් රජවරු හය දෙනෙක් ම රාජ්‍යය විචාළහ.
එහෙත් බලයට පත් වූ සත්වැනි රජතුමා මවුපියන්ගෙන් උරුම වූ දස සක්විතිවත් නොසලකමින්
හිතුමතේ රජකම් කරන්නට විය. රටෙහි සමෘද්ධිය තුරන් විය. මේ නිසා රාජ්‍යය උපදේශක සභාව
විසින් රටෙහි පවත්නා නොදියුණුවට හේතු රජතුමාට පැහැදිලි කරන ලදී. ඒ අනුව පෙර රජවරුන්
මෙන් දස සක්විති වත් අනුගමනය කරන්නට විය.
එහෙත් එහි සඳහන් දිළිඳු ජනයාට ධනය දීම යන අංක නවයෙහි සඳහන් කළ වගකීම් ඉටු නොකළේ ය.
දුප්පතුන්ට ධනය නොදීම නිසා දිළිඳුකම වැඩි වන්නට විය. වැඩිවූ කල්හි එක්තරා
දිළින්දෙක් වස්තුව සොරකම් කරන්නට විය. මිනිස්සු එම පුරුෂයා අල්ලාගෙන රජුවෙත
ඉදිරිපත් කළේ ය. අනුන්ට අයත් දේ සොරකම් කළේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළවිට ජීවත්වීමට
වස්තුව නොමැති නිසා යැයි කීය. එවිට රජු ඔහුට ධනය දී මවුපියන් පෝෂණය කරව. අඹු දරුවන්
පෝෂණය කරව. කර්මාන්ත කරව. පින් දහම් කරව යනුවෙන් අවවාද කොට පිටත් කළේ ය. මෙය ආරංචි
වූ වෙනත් කෙනෙක් ද සොරකම් කරන්නට විය. ඔහුගෙන් ද ප්‍රශ්න කොට පෙර සේ ම මුදල් දී
අවවාද කොට පිටත් කළ හැරීය. සොරකම් කළ අයට රජතුමා ධනය දෙන්නේ යැයි යන ආරංචිය රට පුරා
පැතිරී යයි. සොරු එන්න එන්නම වැඩි වෙති. තුන්වෙනි සොරාට ද ධනය දී නිදහස් කොට යැවීය.
සොරුන්ට ධනය දීමෙන් සොරකම මර්දනය කළ නොහේ. එනිසා මින් පසු සොරකම් කොට අසුවුවහොත්
ඔවුන්ගේ හිස ගසා දැමිය යුතු යැයි සිතීය. අනුන්ට අයත් වස්තුව සොරකම් කළ අයෙක් රජුවෙත
ඉදිරිපත් කළ කල්හි අත් පිටුපසට කොට බැඳ හිස මුඩුකොට වධ බෙර වයමින් වීථියක් පාසා මං
සන්ධියක් පාසා ප්‍රදර්ශනය කරමින් නැවත සොරකම් නොකරන ලෙස වධකස්ථානයේ දී හිස ගසා
දැමීමට අණ කළේ ය.
සොරකම් කරන අය මරනවා යැයි කියන ආරංචිය රටේ පැතිරෙන විට ඇතැම් අය අපේ වස්තුව සොරකම්
කරන්නට එන අය මැරිය යුතු යැයි සිතා ආයුධ රැස් කරන්න විය. මේ නිසා දුප්පතුන්ට ධනය
නොදෙන විට දිළිඳුකම ලොව පැතිරී ගිය කල්හි සොරකම පහළ විය. සොරකම මහත් වූ කල්හි
ප්‍රාණඝාතය ඇතිවිය. ප්‍රාණඝාතය ඇති වූ කල්හි ආයුධ රැස් කිරීමට පෙළඹුණි. මේ නිසා
අසූදහසක් ජීවත් වූ මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ හතළිස්දහස දක්වා අඩුවන්නට විය. වර්ණය
පිරිහුණි.
සොරකම් කරන පුද්ගලයන්ට මරණ දඬුවම දෙන නිසා රජතුමා සොරකම් කළා දැයි ප්‍රශ්න කරන විට
සොරකම් කළේ නැතැයි කෙනෙක් බොරු කීහ. මෙතෙක් ලොව බොරු කීම නොතිබුණි. මේ නිසා බොරු
කීම පහළ විය. මිනිසුන්ගේ ආයුෂ විසි දහස දක්වා පිරිහෙන්නට විය. වර්ණය පිරිහෙන්නට
විය.
විසි දහසක් ආයුෂ ඇති කාලවල දී එක්තරා පුරුෂයෙක් අනුන්ට අයත් වස්තුව සොර සිතින්
ගත්තේ ය. වෙනත් පුද්ගලයෙක් රජුට මේ පුද්ගලයා අසවලාගේ ධනය ගත්තේ යැයි කේලාම් කීය.
අවුරුදු විසි දහසක් ජීවත් වූ පුද්ගලයන්ගෙන් බිහිවන දරුවන්ගේ පරපුරේ අවුරුදු දහදාහ
දක්වා අඩුවන්නට විය. වරණය පිරිහුණි.
මෙසේ කේලාම් කීම වැඩි වී ගිය කල්හි කාම මිථ්‍යාචාරය වැඩි වී ගියේ ය. මේ නිසා
අවුරුදු පන්දහසක් දක්වා මිනිසුන්ගේ වයස පිරිහුණි. කාම මිථ්‍යාචාරය වැඩි වී ගිය
කල්හි පරුෂ වචනය කීම හා සම්ඵප්‍රලාප වැඩි වී ගියේ ය. වර්ණය පිරිහුණි. පරුෂ වචන හා
සම්ඵප්‍රලාපය වැඩි වී ගිය කල්හි තද ආශාව, ක්‍රෝධය පැතිරෙන්නට විය. ආයුෂ දාහ දක්වා
අඩුවන්නට විය. අභිද්‍යා ව්‍යාපාද වැඩි වී ගිය කල්හි මිථ්‍යාදෘෂ්ටිය ඇතිවන්නට විය.
ක්‍රමයෙන් මිනිසුන්ගේ වයස පන්සියය දක්වා අඩුවන්නට විය.
මිථ්‍යාදෘෂ්ටිය වැඩි වී ගිය කල්හි අධර්ම රාගය (අම්මා, තාත්තා නෑයන් ආදී වූ අය අතර
අයුතු රාගය) බලවත් ලෝභය, මිථ්‍යා ධර්ම වැඩි වන්නට විය. වැඩිහිටියන්ට සැලකීම, ගරු කළ
යුත්තන්ට ගරු කිරීම ආදී ගුණ ධර්ම පිරිහෙන්නට විය. මේ නිසා මිනිසුන්ගේ ආයුෂ දෙසීය
දක්වා අඩුවන්නට විය.
මේ කරුණු වැඩි වී ගිය කල්හි මිනිසුන්ගේ පරම ආයුෂ සියය දක්වා අඩුවන්නට විය. මෙකල
මිනිසුන්ගේ වර්ණය පිරිහුණි. ආහාර පල රස පිරිහෙයි. කර්කශ ජීවිත ඇතිවෙයි. මේ ආකාරයෙන්
අකුසල සිත් වැඩිවන විට මිනිසුන්ගේ පරමායුෂ වසර දහය දක්වා පිරිහෙන කාලයක් ඇතිවෙයි.
එකල මිනිසුන් අවුරුදු පහවැනි කාලයේ දී ආවාහ විවාහ වී අඹු දරුවන් පෝෂණය කරයි. අධර්ම
රාගය උත්සන්න වෙයි. එම නිසා මව පියා, දරුවන් කියා ඔවුනොවුන් අතර පවත්නා වෙනස
නැතිවී, එළුවන්, බැටළුවන්, ඌරන්, බල්ලන් වැනි තිරිසන් සතුන් යම් සේ ක්‍රියා කරයිද,
ඒ ආකාරයෙන් මනුෂ්‍යයන් ද හැසිරෙයි. ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, වෛරය, ආශාව අධික
වෙයි.
මුවන් මරන්නකු මුවකු දැක දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේශය, දැඩි වධක සිත
ඇතිවන්නේ යම් සේ ද, එසේ දරුවන් මවුපියන් කෙරෙහි ද මවුපියන් දරුවන් කෙරෙහි ද දැඩි
කෝපය, ද්වේශය වධක සිත් උපදවා ගනිත්.
මිනිසුන්ගේ පරමායුෂ දහය වන කාලයේ දී ශාස්ත්‍ර අන්තර් කල්පය (ආයුධවලින් ඇන කොටගෙන
විනාශ වන කාලය) වන්නේ ය.
නිසිලෙස රාජ්‍ය පාලකයන් රාජ්‍ය නොකරන කල්හි ආර්ථික දරිද්‍රතාව මුල්ව සමාජයේ ආචාර
ධර්මයන් පරිහානියට පත්වන අයුරු මේ සූත්‍රයෙන් පැහැදිලි වේ. මෙහි ධනය දීම යන්නෙත්
අදහස් කරන්නේ මිනිසුන්ට ස්වයංපෝෂණයෙන් යුක්තව ජීවත්වීමට ප්‍රාග්ධනය ලබා දීම
රැකීරක්ෂා අවස්ථා සැපයීම ආදියයි.
මෙම සූත්‍රයෙහි දැක්වෙන ආයුෂ පිරිහීම ඇතිවන්නේ දීර්ඝ කාලයක් ගතවීමෙනි. වර්තමාන
කාලයේ පරමායුෂ දළ වශයෙන් 60 - 80 වේ. වර්තමාන කාලයේ සමාජය දෙස බලන කල මේ සූත්‍රයේ
දැක්වෙන තත්ත්වයන් ඇති වී ඇති බව අපට වැටහේ. එමනිසා තම තමන් සදාචාර විරෝධී නොවී
යහපත් ගුණ ධර්මයන් වර්ධනය කරමින් සිරිත් විරිත් අනුගමනය කරමින් ධාර්මික උත්සාහයෙන්
ජීවත් වන්නේ නම්, යහපත් සමාජයක් බවට පරිවර්තනය වන්නේ ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
- හේමමාලා රන්දුනු |