Print this Article


පන්සිල් සමාදන්වීම චිරාගත චාරිත්‍රයකි

පන්සිල් සමාදන්වීම චිරාගත චාරිත්‍රයකි

ශීලයක් වශයෙන් රැකීමට ජීවිතයේදී එක වාරයක් පමණක් පන්සිල් ගැනීම ප්‍රමාණවත් වුවද බෞද්ධ චාරිත්‍රයක් ඉටුකරන විට මුලින්ම තිසරණ සහිත පන්සිල් සමාදන්වීම බෞද්ධයන්ගේ චිරාගත සංස්කෘතික චාරිත්‍රයෙකි. නොයෙක් කම්කටොලුවලින් පිරුණු විෂම ලෝකයේ ජීවත්වන විට කෙනෙකුගේ ඇතැම් පන්සිල් පද කැඩීයාම නොවැළැක්විය හැකිවීම ස්වභාවයක් බැවින් ආරම්භ කරන කටයුත්තේ පවිත්‍රතාව ඇතිවීම සඳහා නැවත නැවත පන්සිල් සමාදන්වීමේ චාරිත්‍රය ඉතා වැදගත්ය

බෞද්ධයාගේ ශිෂ්ටත්වය, හැදියාව ගොඩනැඟී ඇත්තේත්, නිවනට මාර්ගයත්, ශීලය පාදක කොට ඇති හෙයින් බෞද්ධ වචන මාලාවේ සීලය යන වදනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නේත්, නින්දට යන්නේත් සිල් සමාදන් වීමෙනි.

බොදුනු දරුවෝ පාසලේ දී ඉගෙනීමේ කටයුතු ද, ආගමික පමණක් නොව, ජාතික උත්සව ද පිරිස පංච ශීලයෙහි පිහිටුවා සමාරම්භ කරති. පසළොස්වක පොහෝදා පමණක් නොව, සතර පෝයටම සිල් ගන්නෝ සිටිති. බෞද්ධයාගේ නිත්‍ය ශීලය පංච ශීලයයි. කරුණු මෙසේ හෙයින් බෞද්ධයාගේ ජීවිතයත්, සීලයත් ගහට පොත්තත් පොත්තට ගහත් සේ සබැඳියාවකින් යුක්ත ය.

බෞද්ධයකු වූ සත්පුරුෂයා විසින් ඉටු කළ යුතු ප්‍රධාන යුතුකම පන්සිල් සමාදන් වීම ය. තමා විසින්ම කියා ගැනීමෙන් හෝ භික්ෂූන් වහන්සේ නමක් ලවා කියවා ගැනීමෙන් හෝ කරන්නේ පොරොන්දු වීමකි. මේ පොරොන්දු වීම හෙවත් සමාදන්වීම යම්තාක් දුරට කඩ නොකර ආරක්ෂා කර ගැනීමට හැකි වේ නම් එහි ශක්තිය ඉතා මහත් ය. ප්‍රතිපත්තියක් වශයෙන් මෙය රැකීමෙන් දෙව් මිනිසුන් අතර අපරාජිත බලයක් පැවැත්විය හැකි ය.

ශීලයක් වශයෙන් රැකීමට ජීවිතයේ දී එක වාරයක් පමණක් පන්සිල් ගැනීම ප්‍රමාණවත් වුව ද බෞද්ධ චාරිත්‍රයක් ඉටුකරන විට මුලින්ම තිසරණ සහිත පන්සිල් සමාදන්වීම බෞද්ධයන්ගේ චිරාගත සංස්කෘතික චාරිත්‍රයෙකි. නොයෙක් කම්කටොලුවලින් පිරුණු විෂම ලෝකයේ ජීවත්වන විට කෙනෙකුගෙන් ඇතැම් පන්සිල් පද කැඩීයාම නොවැළැක්විය හැකිවීම ස්වභාවයක් බැවින් ආරම්භ කරන කටයුත්තේ පවිත්‍රතාව ඇතිවීම සඳහා නැවත නැවත පන්සිල් සමාදන්වීමේ චාරිත්‍රය ඉතා වැදගත් ය.

කුඩා ළමයාගේ පටන් මහලු උවසුවා දක්වා ම පන්සිල් අසා හා කියා තිබෙන නමුත් දිනපතා ජීවිතයේ දී ඒවා කොතෙක් දුරට ආරක්ෂා වේ දැයි දන්නේ ටික දෙනෙකි. මදුරුවකු කුරාකුහුඹුවකු තරම් කුඩා සතෙකුවත් මැරීම පන්සිල් රකින්නකු විසින් නොකළ යුතු අතර සිනාමුසු බසිනිදු බොරුවක් කිව යුතු නොවේ. තව ද මේවායින් බේරීමට ඒවා අංග සම්පූර්ණ වන හැටි හොඳින් දැන සිටිය යුතු ය. එවිට සිදුවූ කර්මයෙන් තමාට කෙබඳු පාපයක් සිදු වේ ද සිදු වේ නම් කොයිතරම් දුරට ද කියා මනා ලෙස තේරුම් ගත හැකි ය.

පස්පව් අංග සම්පූර්ණ වන හැටි

ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය කර්මයක් වශයෙන් සිදුවන්නේ අංග පහක් සම්පූර්ණ වීමෙනි.

සතෙකු වීම, පණ ඇති බව දැනගැනීම, මරනවා යන චේතනාව, ඒ සඳහා කරන උපක්‍රමය, මරණයට පත්වීම.

මෙයින් එකක් හෝ අඩුවීමෙන් ප්‍රාණඝාත කර්මය සිදුනොවන නමුත් වෙනත් පාපයක් එයින් සිදුවිය හැකි ය.

අදත්තාදානය

2 අදත්තාදානය හෙවත් නුදුන් දේ ගැනීම අංග 5ක් සම්පූර්ණ වීමෙන් සිදුවේ.

අන්සතු වස්තුවක් වීම, ඒ වස්තුව අන්සතු බව දැන ගැනීම, ගන්නවා යන චේතනාව හෙවත් සොර සිත, ගැනීමට කරන උපක්‍රමය, ඒ වස්තුව තිබුණු තැනින් පහකිරීම.

කාම මිථ්‍යාචාරය

කාමයෙහි වරදවා හැසිරීම ( කාම මිථ්‍යාචාරය) සිදුවන අංග 4කි.

අන් සතු ස්ත්‍රියක වීම, සේවනය කිරීමේ චේතනාව, සේවනය කිරීමේ උත්සාහය, සේවනය කිරීම

මවුපියාදීන් විසින් හෝ ඥාති මිත්‍රාදි කවර භාරකාරයකු විසින් හෝ රකින ස්ත්‍රිය අන්සතු ස්ත්‍රියක් වේ.ස්ත්‍රියකගේ පෙළඹවීම පිට කිසියම් අන්සතු පුරුෂයකු සේවනය කිරීමෙන් ස්ත්‍රියට කාම මිථ්‍යාචාරය සිදුවේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇතිවීමෙන් දෙදෙනාටම පාපය සිදුවේ.

මුසාවාදය

මුසාවාදය හෙවත් බොරු කීම අංග හතරකින් සම්පූර්ණ වේ. ඇත්තක් නොවීම, රවටන සිත, කීම, අසන්නා පිළිගැනීම

සුරාපානය

සුරාපානයෙහි අංග හතරකි.

සුරාවක් වීම, බොනු කැමැත්ත, උපක්‍රමය, බීම මත්පැනක් නොවන දෙය බීමෙන් මත්වුව ද එයින් අකුසලයක් සිදු නොවේ. එසේම වෛද්‍යවරයකුගේ නියමය පිට

බෙහෙතක් හා මිශ්‍ර කොට ගන්නා මද්‍ය ද ආහාර රසවත් කිරීමට ස්වල්ප වශයෙන් යොදන ලද මද්‍ය සහිත ආහාර දෑ ගැනීමෙන් අකුසලයක් සිදු නොවේ.

බෞද්ධයකු වශයෙන් සමාදන් වූ පංචශීලය දිනපතා ජීවිතයේ දී ආරක්ෂා කිරීම හොඳ බෞද්ධයාගේ යුතුකම වන අතර, පොහොය දින අටසිල් රැකීම ද සාමාන්‍ය යුතුකම ය. මේ හැර සැදැහැවත් බෞද්ධයා විසින් තෝරාගෙන රැකිය හැකි ශීල විශේෂ කිහිපයක් ද ඇත. බ්‍රහ්මචරිය පංචශීලය, ආජීවාෂ්ටමක ශීලය, නවාංග උපොසථ ශීලය, දශ ශීලය යනුවෙනි.

බ්‍රහ්මචරිය ශීලය නම් විවාහ නොවූ හෝ තනිකඩ ස්ත්‍රී පුරුෂයන් විසින් පන්සිල් සමාදන්වීමේ දී තුන්වෙනි ශික්ෂාපදය වූ “කාමේසු මිච්ඡාචාරය” යන්න වෙනුවට “අබ්‍රහ්මචරියා” කියා සමාදන් වීමයි.

නිත්‍යයෙන් රැකිය හැකි ශීලයක්

පාණාතිපාතා වේරමණී

සික්ඛා පදං සමාදියාමි.

අදින්නාදානා වේරමණී

සික්ඛා පදං සමාදියාමි

කාමේසුමිච්ඡාචාරා වේරමණී

සික්ඛා පදං සමාදියාමි

මුසාවාදා වේරමණී

සික්ඛා පදං සමාදියාමි.

පිසුනාවාචා වේරමණී

සික්ඛා පදං සමාදියාමි

පරුෂාවාචා වේරමණී

සික්ඛා පදං සමාදියාමි

සම්ඵප්පලාපා වේරමණී

සික්ඛා පදං සමාදියාමි

මිච්ඡා ආජීවා වේරමණී

සිද්ඛාපදං සමාදියාමි

නවාංගඋපොසථ ශීලය නම් අටසිල්, පදවලින් නවවැන්න වශයෙන් “සබ්බ සත්තෙසු මෙත්තා සහගතෙන වෙතසාවිහරණා සමාදියාමි” යන ශික්ෂාපදය යොදා සමාදන් වීමයි.

මෙහි අදහස සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රි සහගත සිතින් වාසය කිරීමේ ශික්ෂා පදය සමාදන් වෙමි යනුයි. මෙය පොහෝ දිනක පමණක් සමාදන් විය හැකි ය. දශ ශීලය එක දිනක් වශයෙන් හෝ කාල පරිච්ඡේදයක් වශයෙන් බෞද්ධයා විසින් මෙකී ශීලයන්ගෙන් එකක් හෝ කීපයක් සුදුසු පරිදි ආරක්ෂා කළ යුතු අතර පුණ්‍ය ක්‍රියා වස්තුª වශයෙන් කළ යුතු පින්කම් දහයක් වෙයි. පින්වන්තයෙක් වන්නට නම්, මේ කර්ම රැස්කර ගැනීමෙන් ජීවිතය පුරවා ගත යුතුයි.

දස පින් කිරියවත්

දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන්වීම, වතාවත් කිරීම, වැඩිහිටියන්ට සැලකීම, බණ කීම, බණ ඇසීම, දෘෂ්ටිය ඍජු කිරීම යනුයි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.