ඉවසීම
ජීවිතය සරසන ආභරණයකි
තමා තමාට සෙනෙහේවන්ත නම්, ආදරේ නම් තමාගේ ආරක්ෂාව කැමැති නම් මුලින්ම කළ යුත්තේ
තමාව රැක ගැනීමයි. වඩාත් යහපත් වන්නේ තමාට පිළිසරණ සකසා ගැනීමයි.
ඒ සඳහා අපට වඩාත් උපකාරි වන්නේ ඉවසීමයි. ජීවිතේ ගුණධර්ම උපදවා ගන්න කැමැති කෙනකුගේ
සියලුම ගුණධර්ම ඉවසීම මතයි රඳා පවතින්නේ. ඉවසීම නැති පුද්ගලයාට කිසිදු ගුණ ධර්මයක්
පවත්වා ගන්නට බැහැ. ඔහුගේ ගුණධර්ම සිඳී යනවා. ඒ නිසයි ඉවසීම පුරුදු කළ යුත්තේ.
“මම ඉවසන කෙනෙක් වෙනවා” කියන සිතිවිල්ල නිතර නිතර සිතට පුරුදු කරන්න ඕනෑ. මගේ
ජීවිතයේ මම යහපත කැමැති නම් මට උග්‍ර ඉවසීමේ ගුණය තිබෙන්න ඕනෑ කියන අදහස පූර්ව
යෝජනාවක් ලෙස සිතට කා වද්දාගෙන තිබීම යහපත් වෙනවා.
ඉවසීම පාරමිතාවක් ලෙස පුරුදු කළ, පාරමිතා පිරූ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්
ශාස්තෘන් වහන්සේ නමක් තමා අපි සරණ ගොස් සිටින්නේ. උන්වහන්සේයි අපට වදාළේ ඉවසීමෙන්
සැනසීම ලැබෙනවා කියලා. එනිසා ඉවසීමට ආශා කරන්න. එය පුරුදු කරන්න ඉතා අමාරු දෙයක්.
සසර පුරා අපි ඉවසීම පුරුදු කළ පිරිසක් නොවේ. ඒ නිසා පුරුද්දට වගේ පොඩි දේටත් අපේ
ඉවසීමේ රතු ඉර පනිනවා. නමුත් ඒ අමාරු දේටම ආශා කළොත් අපට සැනසීමක් ලැබේවි.
අපගේ ශාස්තෘන් වහන්සේ ඉවසීමේ ආනිශංස දේශනා කළා. ඉවසන පුද්ගලයා බොහෝ දෙනාට
පි‍්‍රයමනාප වෙනවා, ඒ වගේම ඔහු වෛරය බහුල කෙනෙක් වෙන්නේ නෑ. ඔහු තුළින් වැරැදි
බහුලව වන්නෙත් නෑ, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා ඉවසන තැනැත්තා නපුරු ගති ඇති
කෙනෙක් නොවේ. ඒ වගේම ඉවසන තැනැත්තාට පසුතැවීම් බහුල වන්නේ නෑ. ඒ වගේම ඉවසන පුද්ගලයා
මරණින් මතු සුගතියේ ඉපදීම බලාපොරොත්තු විය යුතුයි කියා වදාළා.
එනිසා ඉවසීම කියන රන් කිරුළ අපගේ හිස මත පළඳා ගෙන මෙලොවත්, පරලොවත් සුව සේ විසීමට
උත්සාහ කරමු. |