මඟ වෙනස
රැස් කළ කුසල් පින් මෙලොවට එද්දි ගෙනා
පුංචිම සංදියේ පලදී පැවිදි වුණා
මවුපියො සොහොයුරන්ගේ ගුණ සුවඳ ගෙනා
පන්සල ගෙදර වී යන මඟ වෙනස් උනා
දැම්මත් සෙරෙප්පුව බලනව ගැල වෙන්ට
ඇන්දත් සිවුරු පොට පෑගෙනවා පයට
තවමත් පන්සලේ බහ නුහුරුය මෙමට
නින්දක් ගෙදර වගෙ නැහැ නැඟිටිමි පහට
දුවපැන නටා ගියමුත් දෙවටේ නියරේ
පාවඩෙ පලසෙ දැන් ගමනය හිමින් සැරේ
කෙළි සෙල්ලමට තිබූ තැන සිවුරෙන් ඇහිරේ
සරණක් සොයා යමි බුදු හිමි දෙසු පාරේ
මවුපියො ඇවිත් රස කැවිලි ද අරන් මට
වැඳගෙන දෙපා අල්ලා ඉකි බිඳින විට
මම හිර කරන් ඉන්නේ දුක පපුව යට
මේකද මුල්ම පාඩම හිමි දෙසු මගට
සියපත දියතෙ මුත් කලකට පසු අපට
සුපිපෙනු දැකිය හැකි දියඹෙන් විත් උඩට
පොඩිතැන ඉගෙන ගෙන ලොකු වියතෙකු වෙන්ට
ගුණ නැණ තිබෙන බව හිමි පවසයි මෙමට
නාමය රූපෙ ඇලෙමින් ගැටෙමින් නොසිට
සද්ධා ශීල සංවර ගුණ දියුණු කොට
සෝතාපන්නවත් වන්නැයි පිරිසකට
දෙසනව ඇසුණි අපෙ නාහිමියන් බණට
ඒ.ඒ.ඩී. පෙරේරා |