අපවත් වී වදාළ මාලේවන සෝභිත මා හිමියෝ
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මාලේවන නාකන්දලගොඩ නමැති පෞරාණික සුන්දර
ගම්පියසේ දී එන්.ඩී. පොඩිනෝනා මහෝපාසිකා මාතාවගේ හා ඩී.ඒ.ඒ. විජේසිංහ මහෝපාසක
මහතාගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1950 සැප්තැම්බර් මස 13 වැනි දින මාලේවන
හිමියෝ ජන්මලාභය ලැබූහ. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාලේවන නාකන්දලගොඩ
ඤාණිස්සර මහා විද්‍යාලයෙනි. ඉක්බිතිව වර්ෂ 1964 ජුනි මස 25 වැනි දා බේරුවල ශ්‍රී
ශෛලබිම්බාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත්විය. එහිදී උන්වහන්සේගේ
ආචාර්යවරයා වූයේ රාජ්‍ය වෛද්‍ය මාලේවන ඤාණිස්සර නාහිමි ය.
ඉක්බිතිව සාමණේර නමක විසින් ප්‍රගුණ කළ යුතු ඇවතුම් පැවතුම් පිළිබඳ මනා අවබෝධයක් ලද
උන්වහන්සේ බෙල්ලන ශ්‍රී ධර්මපාල, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය යන පරිවේණාස්ථාන
තුළින් ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළහ. වර්ෂ 1970 ජූලි මස 07 වැනි දින
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභායත්ත මංගල උපෝසථාගාරයේ දී අධිසීල
සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූහ.
ඉක්බිතිව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මාලේවන සෝභිත මාහිමියෝ වර්ෂ 1977දී
ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. අනතුරුව ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ සංස්කෘත
භාෂාව හා ශිෂ්ටාචාරය නමැති විෂය මැනවින් හදාළ උන්වහන්සේ කල්කටාවේ ආයුර්වේද
විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබූහ. එකී අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව නිමවා කොළඹ මාලේවන
රසායනාගාරය හා බේරුවල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් මාලේවන මාහිමි
එදා මෙදා තුර දේශීය වෛද්‍යවරයෙකු ලෙස අපරිමිත සේවාවක් සිදු කළේ ය. එසේම කාලීන
වශයෙන් බෙහෙවින්ම වැදගත් වන ඉතා උතුම් සමාජ සේවාවන් රැසක් ද සිදුකොට ඇත. ප්‍රදේශයේ
ආබාධිත පුද්ගලයන් සඳහා අරමුදලක් පිහිටුවා ඒ ඔස්සේ ඔවුනට ආධාර උපකාර කළ මාලේවන
මාහිමි ප්‍රදේශයේ උසස් අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරු දැරියන් සඳහා
අධ්‍යාපන ශිෂ්‍යත්ව ද ප්‍රදානය කළේ ය.
ස්වකීය පුද්ගලික මූල්‍යමය අනුග්‍රාහකත්වය තුළින් ප්‍රදේශයේ නිවාස රැසකට විදුලිය ලබා
දී තිබේ. දුෂ්කර පළාත්වල පිහිටි විහාරස්ථාන රාශියකට චෛත්‍යය, ධර්මශාලා, ආවාස කුටි
යනාදී විහාරාරාංග ඉදිකරවීමට ලක්ෂ ගණනින් මුදල් පරිත්‍යාග කොට ඇත.
වාර්ෂිකව කාච සහිත ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම, ප්‍රදේශයේ ගර්භිණී මාතාවන්ට අධිපෝෂණ
විටමින් වර්ග ඇතුළුව සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, දිවයිනේ ඒ ඒ ප්‍රදේශවල ආර්ථික
දුෂ්කරතා සහිත පවුල් තෝරා නිවාස 12ක් ඉදි කරවීම සහ ඒවායෙහි සනීපාරක්ෂක පහසුකම් ද
මැනවින් සම්පූර්ණ කරදීම, දස දහස් ගණනක් ඉක්ම වූ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය
ප්‍රතිකාර සලසා දීම උන්වහන්සේ සිදු කළ සමාජ සේවාවන් අතර වඩාත් ප්‍රමුඛත්වයෙහිලා
සැලකිය හැකි ය.
තවද උදාවන සෑම ජන්ම දිනයක දී ම සුවිශේෂ පරිත්‍යාගයන් හා සමාජ සුබ සාධන කටයුතු රැසක්
කිරීම ද මාලේවන මාහිමියෝ එදා මෙදාතුර ක්‍රියාත්මක කළහ. ඉකුත් සමයේ රත්නපුර
දිස්ත්‍රික්කයේ කලවාන ආසනයේ දුෂ්කර පාසල් දෙකක් වන නාවලකන්ද විද්‍යාලය සඳහා අභිනව
විද්‍යාගාරයක් ඉදිකර දුන් අතර, එම විද්‍යාලයට ම පුටු විශාල ප්‍රමාණයක් ද පරිත්‍යාග
කෙරිණි. කොඩිප්පිලිකන්ද විද්‍යාලයට ශාලාවක් ද, සංගීත භාණ්ඩ පරිත්‍යාගයක් ද කළහ.
එසේම එම ප්‍රදේශයම කේන්ද්‍ර කර ගනිමින් අසරණ රෝගීන් සඳහා ආයුර්වේද හා බටහිර වෛද්‍ය
විද්‍යා ක්‍රම දෙකම ආවරණය වන පරිදි වෛද්‍ය සායන ද පැවැත්වීය. ප්‍රදේශයේ අක්ෂි
දුර්වලතා සහිත පුද්ගලයන් පරීක්ෂා කොට ඇස් කණ්ණාඩි 1000ක් ද පරිත්‍යාග කෙරිණි.
මෙසේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගෙන සහ වෙනත් සමාජ සුබ සාධන ක්‍රියාකාරකම්
රැසකට නිසි නායකත්වය දුන් මාලේවන සෝභිත මාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන
පූජෝත්සවය නොවැ. 22 දින සිදු කෙරිණි. ශිෂ්‍ය හිමිවරුන් වන ඉතාලියේ රෝම බෞද්ධ
විහාරාධිපති මොල්ලියගොඩ ධීරානන්ද හිමි, පස්සරමුල්ලේ ධම්මසිරි හිමි, පස්සරමුල්ලේ
සෝරත හිමි, හල්තොට පාලිත හිමි, ගලහා සුජාත හිමි, සූරියවැව ඤාණරතන හිමි යනාදී
හිමිවරුන් ප්‍රමුඛව ආදාහන කමිටුවේ මෙහෙයවීමෙන් ආදාහන පූජෝත්සවය සිදු කෙරිණි.
ඌරුගමුවේ අස්සජී හිමි |