Print this Article


ශ්‍රේෂ්ඨ සිංහල දේශපේ‍්‍රමියකුගේ උද්භවය

ශ්‍රේෂ්ඨ සිංහල දේශප්‍රේමියකුගේ උද්භවය

සෑම උදෑසනකම සූර්යෝදයට පෙරාතුව තවමත් නව යොවුන් විය නො ඉක්ම වූ ළාබාල තරුණ බිරිඳ සුගන්ධවත් වූ පස්පෙති සහිත අරලියා මලින් පිරුණූ වට්ටියක් අතැතිව ගෙවත්තේ පිහිටුවා තිබූ බුදුමැඳුර වෙත සැපැත් වී සුවඳ මලින් තෙරුවන් පුදා කලක සිට අන්ධකාරයට යොමුව පවත්නා දිවයින ධර්මාලෝකයෙන් බබුළුවාලිය හැකි පුත්රුවනක් ලබාදෙන මෙන් දේවාශිර්වාද අයැද සිටියා ය. සෑම සැන්දෑවකදී ම ඇය ලංකා ඉතිහාසයේ පූර්ව යුගයේදී ජාතික හා ආගමික ශ්‍රී විභූතිය පිළිබඳ සිංහල හදවත් තුළ වර්ණනා විෂඨාතික්‍රාන්ත අනුස්මරණයක් උද්දීපනය කරවන පුරාණ අනුරාධපුර නගරයේ පිහිටුවා තිබෙන බුද්ධ ප්‍රතිමාවක අනුරුවක් ඉදිරියේ දණ්ඩ නමස්කාරය පවත්වා ඇගේ ඒකීය ප්‍රාර්ථනය සිදු කළා ය.

මෑත ඉතිහාසයේ සිදුවූ සමාජ විපර්යාසයන් සියල්ලට නොසැලී මුහුණ දෙමින්, පාරම්පරික ආගම ධර්මය කෙරෙහි අචල භක්ත්‍යාදරයක් හදවත් තුළ වර්ධනය කර ගනිමින් සමාජයේ අභීතව සිය ස්ථාවරය රැක ගත් ධනවත් පවුල් අල්ප සංඛ්‍යාව අතුරෙන් දකුණු සිරිලක මාතර පුරවරය වාසභූමි කරගත් හේවාවිතාරණ පවුලට ප්‍රමුඛතාවය හිමි වේ.

මෙම උදාරතර පවුලේ ප්‍රථමයෙන් ම අපගේ අවධානයට භාජනය වන හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමි දකුණේ සමාජ ගෞරවය හිමිවූ බලවත් කුලය වන ගොවිකාර්මික ‘ගොයිගම’ කුලයේ සාමාජිකයකු විය. එතුමාගේ පුතුන් දෙදෙනා ද පියා මෙන් ම බුද්ධ ධර්මය කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය දැක්වූ සාධු ගුණ සම්පන්නයෝ වූහ.

එක් පුත්‍රයෙක් යථා කාලයේ දී සසුන්ගතව හිත්තැටියේ අත්ථදස්සී තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ ව හිත්තැටියේ රාජමහා විහාරයේ නේවාසිකව විසූ සේක. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූ පූජ්‍ය මිරිස්සේ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ අටළොස් වැනි සියවසේ දී සිදුවු ශ්‍රී ලංකා බෞද්ධ ශාසනයේ උද්දීපනයේ ප්‍රමුඛයා වශයෙන් පුරෝගාමී වූ පූජනීය ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ සතරවැන්නා වූ සේක.

අනෙක් පුත්‍රයා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ අගනුවරට සංක්‍රමණය වී පිටකොටුව ප්‍රදේශයේ ප්‍රබල පෙළේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් පිහිටුවා ගෙන අනතුරුව අගනුවර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ අන්දිරිස් පෙරේරා ධර්ම ගුණරත්න මැතිඳුන්ගේ දියණිය සමඟ විවාහ ජීවිතයට ඇතුළත් විය.

අන්දිරිස් පෙරේරා ධර්ම ගුණරත්න මහතා බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ මාලිගාකන්ද ප්‍රදේශයේ තමන් සතු ඉඩමක් ශාසනයට පූජා කොට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකොට ලංකාවේ ප්‍රථම භික්ෂු පිරිවෙන වන විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමට දායක වී හික්කඩුව ප්‍රදේශයෙන් ධර්ම මධුර ශාස්ත්‍රධර සංඝ පීතෘවරයකු වැඩමවා පරිවේණාධිපති පදවියට පත්කර ගැනීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය සැපයීම හේතු කොට ගෙන ය.

මෙම අවධියේ සිට විද්‍යෝදය මහා පිරිවෙන හා හික්කඩුවේ ශ්‍රී සුමංගල යන නාමද්වය අවියෝජනීය අයුරින් ඒකාබද්ධ වී ලෝක බෞද්ධ ශාසනයේ ඉතිහාසයට එක්වී විරාජමාන ව පැවැත්තේ ය. සමස්ත ශ්‍රී ලංකාවේ මුළු මහත් ධරණී තලය පුරා අනූපමේය කීර්තියට පත් ආයතනයක් වූ මෙම විද්‍යායතනය තුළින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ශ්‍රී ලාංකික පමණක් නොව මියන්මාර, ඉන්දියා, තායිලන්ත, ජපාන හා චීන ජාතික භික්ෂූන් වහන්සේ ද ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය ලබා පිටව ගොස් ඇති අතර අද්විතීය ගණිතඥයකු මෙන්ම සමයාන්තර දෘෂ්ටි විශාරදයකු වශයෙන් ප්‍රසිද්ධව සිටිමින් දීර්ඝ කාලයක් මෙම ධර්ම ශාස්ත්‍ර පීඨයේ ප්‍රගමනයේ නියමුවා වශයෙන් ක්‍රියා කළ මෙම ශ්‍රේෂ්ඨ ධර්ම ශාස්ත්‍රධාරීන් වහන්සේගේ ශ්‍රී නාමය ත්‍රිපිටක හා පාලි භාෂා සාහිත්‍යය ප්‍රගුණ කෙරෙන සෑම දේශාන්තරයක ම අනූපම සම්මානයට පාත්‍රවී පැවැත්තේ ය. දොන් කරෝලිස් හා මල්ලිකා නම් දම්පතීන් පුත් රුවනක් අපේක්ෂා කළ අතර, දරු සම්පතක ලකුණු පහළ වූ විට ඔවුන්ගේ පී‍්‍රතිය නිම්හිම් නැති විය. දම්පතීන් යුවළම පුත් රුවනක් අපේක්ෂා කළ නමුත් එම අපේක්ෂාවේ අභිප්‍රාය දෙදෙනාට එක සමාන නොවීය. හේවාවිතාරණ මුදලිතුමා පවුලේ ව්‍යාපාරය පවත්වා ගෙන යාමට සමත් අනුප්‍රාප්තිකයකු අපේක්ෂා කළ අතර මැතිනියගේ අපේක්ෂාව වූයේ දීර්ඝ කාලයක් තිස්සේ නො මඟට යොමුවී සිටින සිංහල ජනතාව නැවතත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට යොමු කිරීමට ශක්තිය ඇති මාර්ගෝපදේශකයකු හා සංඝ පීතෘවරයකු වශයෙන් ලොවට පිවිසිය හැකි පුණ්‍යවන්ත පුත්රුවනක් ලබා ගැන්ම ය.

සෑම උදෑසනක ම සූර්යෝදයට පෙරාතුව තවමත් නව යොවුන් විය නො ඉක්ම වූ ළාබාල තරුණ බිරිඳ සුගන්ධවත් වූ පස්පෙති සහිත අරලියා මලින් පිරුණූ වට්ටියක් අතැතිව ගෙවත්තේ පිහිටුවා තිබූ බුදුමැඳුර වෙත සැපැත් වී සුවඳ මලින් තෙරුවන් පුදා කලක සිට අන්ධකාරයට යොමුව පවත්නා දිවයින ධර්මාලෝකයෙන් බබුළුවාලිය හැකි පුත්රුවනක් ලබා දෙන මෙන් දේවාශිර්වාද අයැද සිටියා ය. සෑම සැන්දෑවක දී ම ඇය ලංකා ඉතිහාසයේ පූර්ව යුගයේ දී ජාතික හා ආගමික ශ්‍රී විභූතිය පිළිබඳ සිංහල හදවත් තුළ වර්ණනා විෂඨාතික්‍රාන්ත අනුස්මරණයක් උද්දීපනය කරවන පුරාණ අනුරාධපුර නගරයේ පිහිටුවා තිබෙන බුද්ධ ප්‍රතිමාවක අනුරුවක් ඉදිරියේ දණ්ඩ නමස්කාරය පවත්වා ඇගේ ඒකීය ප්‍රාර්ථනය සිදු කළා ය.

ඇගේ දරු ප්‍රසූති දිනය ළං වෙත් ම ඉන් ප්‍රථම පුන් පොහෝ දින තුනක දී භික්ෂූන් වහන්සේ නිවසට වැඩමවා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා එම බෞද්ධ සූත්‍ර සජ්ඣායනයන්ගෙන් නිකුත් ආධ්‍යාත්මික තරංගයන්ගේ ප්‍රබෝධයන් ලැබීමට සලස්වා ඇයට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලබා දෙන ලදී.

මෙම සිද්ධීන් ඔස්සේ 1864 සැප්තැම්බර් මස 17 වැනි දින රාත්‍රියේ ජාතිය, ආගම හා සංස්කෘතිය පාරිහානියේ අගාධයට වැටී තිබූ පිටකොටුවේ නම් ප්‍රදේශයේ දී මෙම ව්‍යසනය මූලොත්පාටනය කොට ජාතික ආගමික පුනර්ජීවනයක් ඇති කිරීමේ පූර්ව නිමිත්තක් වශයෙන් චණ්ඩ මාරුත සහිත අන්ධකාර රාත්‍රියක පහළ වන්නාවූ විදුලි ආලෝකයක් ලෙසින් ධර්මපාල කුමරුවාගේ උත්පත්තිය සිදු විය.

මෙම කුමරුවා එකල පැවති සම්ප්‍රදාය අනුව දොන් ඩේවිඩ් හේවාවිතාරණ යනුවෙන් නම් තබනු ලැබීය. ළා බාල වියේ දී දොන් ඩේවිඩ් හේවාවිතාරණ කුමරු සාම්ප්‍රදායික බුද්ධ ධර්ම මාමක පරිසරයක හැදී වැඩුණේ ය. මෙම ශ්‍රද්ධා සම්පන්න කුමරුවා සෑම දිනක ම උදයේ හා සවස මව්පියන් සමඟ නිවසේ බුදුගෙය වෙත ගොස් පසඟ පිහිටුවා තෙරුවන් නැමඳ, සුවඳ මල් හා පහන් පුදා තිසරණ සහිත පන්සිල් සමාදන් ව පිරිත් සජ්ඣායනය කොට පළමුවරට ලෝවැස්සන්ට පරමෝත්කෘෂ්ඨ වූ නිර්වාණයට මඟ පෙන්වා වදාළ විමුක්ති දායකයාණන්ට ස්වකීය ප්‍රණාමය හා කෘතවේදීත්වය පුද කිරීම නිත්‍ය ප්‍රතිපදාවක් වශයෙන් ප්‍රගුණ කළේ ය.

මෙම වන්දනාව හා ශීල සමාදානය හුදෙක් ආමිස පූජාවකට සීමා නොකොට ප්‍රතිපත්ති පූරණය කරා යොමු කිරීම සඳහා පරීක්ෂාකාරී වූ මව්තුමිය කුඩා කුමරුවාගේ චර්යාවන් කෙරෙහි පරික්ෂාකාරි වෙමින් ස්වල්පවූත් උල්ලංඝනයක් දුටුවහොත් එය නිවැරැදි කිරීම සඳහා කාරුණිකව ඔවදන් දුන්නා ය.

කුඩා දරුවකු කෙරෙහි ඉතා ළාබාල අවධියේ දී බලපාන ආභාෂයන් ඔහුගේ පශ්චාත් කාලීන පුද්ගල සංවර්ධනය සම්පූර්ණයෙන් ම නිගමනය කිරීමේ ප්‍රබල සාධකයක් වන බව අධ්‍යාපන මනෝ විද්‍යාවේ සරල සුලබ සිද්ධාන්තයකි. ධර්මපාලතුමාගේ ජීවන චරිතය මෙම සත්තාව සනාථ කිරීමට අපූර්ව නිදර්ශනයක් සපයයි.

බුදුන් වහන්සේ කෙරෙහි ඔහුගේ අසීමිත ස්වයං ජනිත ශ්‍රද්ධාවත්, නිරාකූලවූත් සරලවූත් ධර්ම ප්‍රතිපදාවත් අකලංක නෛසර්ගික උද්‍යෝගයෙන් යුතුව පිලිපැදීමත් නවීන ජීවිතයේ අනේකවිධ සංකීර්ණතා හා පෙළඹවීම් පිළිකෙව් කරමින් ධර්මයේ සරල සුගම රීතීන් අනුගමනය කිරීමත් ආදි පවිත්‍රවූත්, සාදාචාරවත් වූත් පැවතුම් ආදරයෙන් වැළඳ ගත්හ.

එතුමාගේ වැනි සාකල්‍යයෙන් ම සඵලවූත්, මුළු මහත් මානව සමාජයට හිතකරවූත් ප්‍රතිපදාව වූ ලෝකයේ අශික්ෂිත, අෂම සමාජ පැවතුම් සියල්ලම නිරවශේෂයෙන් ගර්භාවට භාජනය කිරීමත්, සදාදරණීය මව්තුමියන්ගේ උපදේශයන් හා පියාගේ අතිසංයත පෞද්ගලික සෙනෙහෙබර ආදර්ශයත් හේතු කොට ගෙන ධර්පාල කුමරුවාගේ සශ්‍රීක හදවතෙහි පැළ කරන ලද ශ්‍රද්ධා බීජයන් පැළවී ප්‍රවර්ධනය වීමේ ප්‍රතිඵල බව පැහැදිලි ව දර්ශනය වීය.

බෞද්ධ දරුවන් සාම්ප්‍රදායිකව හදා වඩා ගනිමින් ඔවුන්ගේ අතිසංවේදී ළාබාල දහර අවධියේ දී පරමොත්කෘෂ්ඨ බුද්ධ ධර්මයේ ආභාෂය ලබා දීමේ ප්‍රඥාගෝචරතාව කෙරෙහි කවරකුගේ හෝ ශාංකාවක් හටගෙන ඇත්නම් එම ශාංකාව දුරු කොට ගෙන ස්වකීය කාර්යය පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට මුළුමහත් මානව ප්‍රජාවට ශුභ ඵලදායක වූ මෙබඳු උදාර ජීවිතයක් දර්ශනය කිරීමට ප්‍රමාණවත් වනු ඇත.

එතුමා එම මුල් කාලීන ආගමික ආභාෂයෙන් පෝෂණය නොවූයේ නම් යොවුන් ඩේවිඩ් හේවාවිතාරණයෝ යුරෝපීය සංස්කෘතියට අවනත වීමෙන් ඉංගී‍්‍රසින්ගේ කලිසමටත්, බ්‍රිතාන්‍ය සාමිවරුන්ගේ උස් තොප්පියටත් ඇබ්බැහිවී වයසින් වැඩෙත්ම දහස් ගණන් සමකාලීනයන් කළාක් මෙන්, පවුලේ සාමාජිකයන් සමඟ ඉංගී‍්‍රසි බසින් ද, නිවසේ සේවකයන් සමඟ සිංහල බසින් ද සල්ලාපයේ යෙදෙනු විනා ධර්මපාල නම් ලංකා සිංහයා කිසි දිනෙක ජනිත නො වනු ඇත.

එම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූයේ නම් එම හේතුවෙන් ඉන්දියාවටත්, ජගත් බොදු සමයටත් මුළු මහත් ලෝකයටත් අත්වන ව්‍යසනය කොපමණ වන්නේ දැයි අපට මිණිය නොහැකි තත්ත්වයකට පත්වනු ඇත.

පෞරාණික සිංහලයන්ගේ ශ්‍රද්ධා භක්තිය ධර්මපාලතුමාගේ සම්පූර්ණ චරිතයේ පදනම හා හේතුව වූ බව අමතක නොකළ යුතු ය.

එතුමා ආගම ධර්මය පිළිබඳ හසල දැනුමක් ලබා සිටිය ද හුදෙක් ශාස්ත්‍රීය පාර්ශ්වයට කැපවූ විද්වතෙක් නොවීය. බුද්ධ ධර්මය පිළිබඳ විශාරදයකු වුව ද විද්වතකුගේ ස්වරූපයෙන් සමාජය ඉදිරියේ පෙනී සිටීමට තැත් නො කළේ ය. එතුමා බෞද්ධ ජනතාව විසින් ගෞරවයෙන් සිහිපත් කරනු ලබන්නේ ද, විද්වත් බෞද්ධ විශාරදයකු වශයෙන් නොවේ.

වසර හතළිහකට අධික කාල පරිච්ඡේදයක් තුළ එතුමා ක්‍රියාකාරීව සිටිය ද, අඛණ්ඩව උද්ඝෝෂණයන්හි මූලිකත්වය ගෙන ක්‍රියා කළ ද එතුමාගේ චරිතයෙහි ගුප්ත ආකර්ෂණය අනාවරණය නොවීය. මූලික වශයෙන් එතුමා ස්වකීය ආගම ධර්මයට අත්‍යක්ත උද්‍යෝගයකින් කැපවූ, ශ්‍රද්ධා භක්ති සම්පන්න වූ, ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ පැවති සිවිල් වැසියන් ගොදුරු වූ පීඩනයෙන් හා ආගමික හිංසනයෙන් පීඩාවට පත්වූවකුට පමණක් එකල දැක්විය හැකි පරිදිවූ සිංහල ජන්මය අමතක නොකළ බෞද්ධෝපාසකයකු වීය. එතුමා ආගම ධර්මය සැලකුවේ බුද්ධිමය විශ්වාසයක් වශයෙන් නොව ස්වභාවයෙන් ම චිත්ත සන්තානය තුළ හටගන්නා ස්වභාවික ප්‍රතිභානයක් වශයෙනි. එතුමා ජීවත් වූයේත්, හැසුරුණේත් දක්ෂිණ බෞද්ධ සම්ප්‍රදාය තුළ ය.

එතුමා ජීවයට ප්‍රාණය ලබා ගත්තේ දක්ෂිණ බෞද්ධ සම්ප්‍රදායෙන් ය. ශත වර්ෂ ගණනාවක් අකර්මණ්‍යව පැවතීමෙන් පසු නැවතත් එම ප්‍රාණය එතුමාගේ ජීවය තුළට පැමිණියේ ය. එතුමාගේ උපදේශනය සිංහල ජනතාවට ආකර්ෂණය වීමේ රහස මෙම ප්‍රාතිහාර්යය වන්නේ ය. එතුමා සිංහල ජනතාවගේ ශ්‍රද්ධා සම්පන්න භාවය අවඥාවෙන් පහත් කොට සැලකූ ධර්ම ප්‍රවාහයෙන් ඈත් වූ විද්වතෙක් වශයෙන් සමාජය ඉදිරියෙහි පෙනී නො සිටියේ ය. ජනතාවගේ හදගැස්ම එතුමාගේ හදගැස්ම විය. ඔවුන්ගේ හැඟීම් එතුමාගේ හැඟීම් විය. ඔවුන්ගේ විශ්වාස එතුමාගේ විශ්වාස විය.

ජාතික චරිතයේ උදාර ගුණාංග වර්තමානයේ දී සාමාන්‍ය පුද්ගලයකුට සාක්ෂාත් කර ගත නොහැකි තත්ත්වයකට උසස් කර ගැනීමට එතුමා සමත් විය. එතුමාගේ ප්‍රතිබිම්බය ජනතාවට ප්‍රදර්ශනය කළේ අතීතයේ පැවති ශ්‍රී විභූතියේ ඡායාවක් පමණක් නොව අනාගතයේ දී අපේක්ෂා කළ හැකි උදාරත්වයකි.

මල්ලිකා හේවාවිතාරණ ළමාතැනියගේ සැබෑවූ සිහිනය වූ පින්වත් කුමරුවා දැන් පස්වස් සම්පූර්ණ කළ දරුවෙකි. ඔහුගේ චිත්ත ස්වභාවයේ දැනටමත් දර්ශනය වූ ශ්‍රද්ධා ප්‍රබෝධය මත පතිත වූ බාහිර බලපෑම්, ඔහුගේ චෛතසික ප්‍රාණවත් භාවය නිශ්චිත දිශානතියකට යොමු කිරීමට හේතු විය. ඔහුට මුහුණදීමට සිදුවූ බාධකයන්ගේ ප්‍රතිඵලය වූයේ ද ඔහුගේ ආවේගයන් මෙන්ම ආවේනික ජවයන් ද තව තවත් තීව්‍ර වීම ය.

බුද්ධ ධර්මයේ ආභාෂය මලක සුවඳ මෙන් දැඩි සේ කාවැදී තිබූ සමීප පවුලේ පර්ෂදයෙන් බාහිර ප්‍රථම සංස්පර්ෂය ඔහුට අත්විඳීමට හමුවූයේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බහුතරයක් සිංහල හා ලන්දේසි සම්මිශ්‍රණයෙන් ජනිත පරපුරක් මවූ ලන්සි දරුවන් අධ්‍යාපනය ලැබූ පාසලකට ඇතුළත් කරනු ලැබීමෙන් පසුව ය.

ඩේවිඩ් හේවාවිතාරණ කුමරුවා මේ දක්වා ආදරය කළ භක්තියෙන් සැලකූ සෑම ගුණාංගයකට ම නිසර්ගයෙන් ම ප්‍රතිපක්ෂ වූ බලවේගයනට ස්වකීය ජීවිතයේ ප්‍රථම වතාවට තමාගේ නෛසර්ගික සුවිශේෂ බුද්ධිය සංස්පර්ෂණය වූ නමුත් ස්වකීය ජීවිතය මුළුල්ලේ ම තමාගේ චරිත ශක්තිය අපූර්ව අයුරින් ඒකාබද්ධ ව සුසංගත ව පවත්වා ගෙන යාමට සමත්වීම මේ අවස්ථාවේ දී නිරීක්ෂණය කිරීමට අවශ්‍ය.

පෞද්ගලික චර්යාව පිළිබඳ හෝ ව්‍යාපාරික සදාචාරය පිළිබඳ හෝ ප්‍රශ්නයකට මුහුණපෑමට සිදුවුව ද තමා බැති සිතින් ආදරය දිවයිනෙහි සිරිත් විරිත් පිළිබඳ හෝ තමාට භයානක අයුරින් නුපුරුදු වූ බටහිර හෝ ඈත පෙරදිග ශිෂ්ටාචාරයකට සම්බන්ධ කිසියම් කරුණක් පිළිබඳ හෝ ප්‍රශ්ණයකට මුහුණ පෑමට සිදු වු අවස්ථාවකදී වුව ද, සියලු කරුණු ධර්මානුකූලත්වයේ පැහැදිලි ආලෝකයෙන් විමසා නිගමනය කර බලමින් තමන්ගේ විනිශ්චය අනුව යහපත් යැයි, නිවැරැදි යයි සැලකූ සෑම කාර්යයක් ම කිරීම ඔහුගේ ප්‍රතිපත්තිය විය.

ඉන්දීය අධිකරණය හමුවේ, විභාග වෙමින් පැවති නඩුවක් සම්බන්ධයෙන් උපක්‍රමශීලි ව අල්ලසක් පිරිනැමුවහොත් අපේක්ෂිත ජයග්‍රහණය අත්කරගත හැකි බවට ඇතැමුන් කළ යෝජනා පිළිකුල් සහගත ව ප්‍රතික්ෂේප කළ එතුමා තමාට මෙලොව කිසිදු සම්පතකට වඩා තමන්ගේ හදවතට පි‍්‍රය වූ බුද්ධගයා නඩුවෙන් එබඳු පිළිකුල් සහගත ක්‍රමයක් අනුගමනය කොට ජය ලබනවාට වඩා අභිමානවත් ව පරාජය පිළිගැනීම උතුම් බව අභීතව ප්‍රකාශ කළේ ය.

එතුමා සුන්දර නයගරා දිය ඇල්ලෙන් මහත් ඝෝෂාවක් සිදු කරමින් නො කඩවා ඇදහැලෙන ප්‍රමාණ කළ නොහැකි යෝධ දියකඳ වූ අවස්ථාවේදී එතුමාගේ නිරීක්ෂණය වූයේ එය තමා මුළු ජීවිතයේ දී ම දර්ශනය කළ මිනිස් ජීවිතයේ අනිත්‍යතාවය ධ්වනිත කළ අපූර්ව නිදර්ශනය බව ය.

බුද්ධ ධර්මයේ අන්තර්ගත සත්‍යතාවයන් පිළිබඳ එතුමා කෙතරම් ගැඹුරින් අනිත්‍ය භාවනාවේ යෙදී සිටියේ ද යත් එම සංකල්පනාවන් එතුමාගේ චරිතයෙහි ආවේනික ලක්ෂණ බවට පත් විය. එම ධර්ම සංකල්පයන් ඔස්සේ සියලු කල්හිම තම චින්තනයත්, කථා ව්‍යවහාරයත් මෙහෙයවීම එතුමාගේ ස්වභාවික පරිචයක් බවට පත්විය. එනමුත් එම චින්තනයේ ආවේනික ශ්‍රේෂ්ඨත්වය කෙතරම් බලවත් වුව ද, එම තත්ත්වයේ ම ඒකාන්ත ප්‍රතිඵලයක් වශයෙන් එම චරිතය කවර නම් දිනක දී වුව ද, බාහිර පුහුදුන් ලෝකයේ සම්මුතීන් හා කුහක ප්‍රවනතාවන් සමඟ ඝට්ඨනය වීම අනිවාර්ය වනු ඇත.

මේ හේතු කොට ගෙන ධර්මපාලතුමා වැනියකුගේ ජීවිතය අසාධාරණත්වය, අසත්‍යය හා අධර්මිෂ්ඨත්වයේ ලොව පවත්නා සියලු ආකාරයන්ටම එරෙහි අඛණ්ඩ සංග්‍රාමයක් වීම අනිවාර්ය ය. ස්වභාවිකව ම මෙම සංග්‍රාමය අපගේ අවධානයට පාත්‍රවන යුගයෙන් වසර ගණනාවක් ගතවන තෙක්ම ආරම්භ වූයේ නැත.

නමුත් මෙම යුගයේ ද, එතුමාගේ මුවින් ගිලිහුණ ඇතැම් ප්‍රශ්න එතුමාගේ මවට පවා පිළිතුරු දීමට අපහසු ඒවා වීමත්, ඒවා පියා සතු බලය යොදවා, ප්‍රකාශයට පත්වීමෙන් වැළැක්වීම වඩාත් ප්‍රඥාගෝචර යැයි පියා විසින් සලකනු ලැබීමත් වැදගත් සිද්ධියකි.

තමාගේ පවුලේ ආගමික සම්ප්‍රදායයන් කෙරෙහි තමාගේ හද තුළ නිධන්ගත වී තිබූ ආදරයෙහි කිසිදු ක්ෂයවීමක් එතුමාට කිසි දිනක අත්දැකීමට සිදු නොවූ නමුත් මෙම සම්ප්‍රදායයන් කිසිසේත් සමස්ත ලෝකයේ ම එකසේ ප්‍රචළිතව නොතිබූ බැව් එතුමා අවබෝධ කරගෙන සිටියේ ය.

මෙම වෙනසෙහි හේතුව අනාවරණය කර ගැනීමට එතුමා තුළ තිබූ උද්‍යෝගය හීනවීමට එතුමා ඉඩහැරියේ නැත. ක්‍රමක්‍රමයෙන් එතුමාගේ ළමා මනසට ලෝකයේ නියම තතු අවබෝධ වීම ආරම්භ විය. මෙම අවබෝධය ඔස්සේ ලෝකය තම තමන්ගේ පරිසරයේ පවත්නා සියලු දෙයක් ම අතිශයින් පිරිසුදුව පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජලය ප්‍රමාණවත්ව උපයෝගී කරගෙන තම තමන්ගේ ශරීරය මනා පවිත්‍රතාවයෙන් පවත්වා ගන්නා ආකාරය යොවුන් වියේ පසුවූ තම ශිෂ්‍යයන්ගේ සිත් තුළට කාවැද්දූ ගුරුවරයකු වූ බවත් පවසයි.

මෙම පාඩම එතුමා විසින් මැනවින් ප්‍රගුණ කරන ලද බව එතුමාගේ දිවියෙන් ම පැහැදිලි වන්නේ ය.

ධර්මපාලතුමා ස්වකීය ජීවිතයේ අවසානය දක්වාම තමාගේ පෞද්ගලික පරිහරණයේ පැවති භාණ්ඩ මෙන්ම පරිසරයේ පැවති ද්‍රව්‍යයන් ද පිරිසුදුව හා ශෝභාවත්ව තබා ගැනීම සඳහා අසීමිත උද්‍යෝගයකින් ක්‍රියා කළේ ය.

අනගාරික ධර්මපාල සංක්ෂිප්ත චරිතාපදානයෙනි.

ඉතිරි කොටස මීළඟ පුර අටවක පෝදා පත්‍රයේ පළ වේ