[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෝසතාණන් වහන්සේගේ අසිරිමත් පාරමිතා පෙළහර

බුද්ධත්වය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බෝධිසත්ව උතුමකු බුදුරජාණන් වහන්සේ කෙනකු ඉදිරියේ ප්‍රාර්ථනාව තැබීම සිදු කරයි. එසේ මුලින්ම බුදු බව ලැබීම පිණිස තබන ප්‍රාර්ථනාව අභිනිහාර නාමයෙන් සඳහන් කර ඇත.

එනම් මූල ප්‍රාර්ථනය හඳුන්වන වචනයක් ලෙස එය හැඳින්විය හැකි ය. බුද්ධ වංසය නම් ග්‍රන්ථයේ සුමේධ තාපසතුමාට එකී ජීවිතයේ දී ම අරහත්වයට පත්වීමට හැකි වුවත් බුද්ධත්වය ලැබීම වෙනුවෙන් සිත නැඹුරු කරන ලදි.

කිං මෙ අඤ්ඤාත වේසේන
ධම්මං සච්ඡික තේ නිධ
සබ්බඤ්ඤුතං පාපුණිත්වා
බුදෙධී හෙස්සං සදේවකේ

ත්‍රි මේ ඒකේන තිණ්ණේන
පුරිසේන ථාම දස්සිනා
සබ්බඤ්ඤුතං පාපුණිත්වා
සත්තාරෙස්සං සදේවකේ

මේ අත්බවයෙහි අප්‍රකට වේසයෙන් දහම් අවබෝධ කිරීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? සම්මා සම්බුදු බවට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි ශාස්තෘන් වන්නෙමි.

මෙම මූල ප්‍රාර්ථනය හෙවත් අභිනිහාරයට සම්පූර්ණ කළ යුතු කරුණු අටක් බුද්ධ වංසයේ සඳහන් වේ.

“මනුස්සත්තං ලිංග සම්පත්තී
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝව ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනිහාරෝ සම්ජ්ඣති”

මිනිසත් බව ලැබීම, පුරුෂයකු වීම, එම භවයේ ම අරහත්වයට පත්වීමේ හැකියාව, ශාස්තෘවරයකු දැකීම, පැවිදිව සිටීම, ධ්‍යාන සම්පත් ලබා තිබීම, බුදුරජාණන් වහන්සේ නමකට ජීවිතය පූජා කිරීමට හැකිවීම, බෝධිසත්ව මාර්ගය අනුගමනය කිරීමට කැමැත්ත ඇතිවීම.

සුමේධ තාපසතුමා අතීතය බැලීමේ ඥානය ලබා තිබූ නිසා අතීත බුදුවරු වැඩූ පාරමිතා දැන ගන්නට හැකි විය. එනිසා පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා වශයෙන් තිස් අයුරකින් ඒවා සම්පූර්ණ කළේ ය.

දාන පාරමිතාව - සස ජාතකය, වෙස්සන්තර ජාතකය, සිවි ජාතකය, චුල්ල පදුම ජාතකය, චදිරංගාර ජාතකය

සීල පාරමිතාව - සංඛපාල ජාතකය, කුරු ධර්ම ජාතකය, ලෝමහංස ජාතකය, ඡද්දන්ත ජාතකය

නෙක්ඛම්ම පාරමිතාව - කුද්දාල ජාතකය, චුල්ල බෝධි ජාතකය, සෝමදන්ත ජාතකය

ප්‍රඥා පාරමිතාව - සත්තු භත්ත ජාතකය, තුණ්ඩිල ජාතකය, විධුර පණ්ඩිත ජාතකය, උම්මග්ග ජාතකය

වීර්ය පාරමිතාව - අපණ්ණක ජාතකය, නන්දි විසාල ජාතකය, පඤ්චායුධ ජාතකය, මහා කපි ජාතකය

ක්ෂාන්ති පාරමිතාව - ක්ෂාන්තිවාදී ජාතකය, මහා කපි ජාතකය, මහා පදුම ජාතකය

සත්‍ය පාරමිතාව - සුතසෝම ජාතකය, වට්ඨක ජාතකය, පදුම ජාතකය, සුප්පාරක ජාතකය

අධිෂ්ඨාන පාරමිතාව - නළපාන ජාතකය, ලෝමහංස ජාතකය, තේමිය ජාතකය

මෛත්‍රී පාරමිතාව - නිග්‍රෝධ මිග ජාතකය, චුල්ල බෝධි ජාතකය, භුරි දත්ත ජාතකය, සංඛපාල ජාතකය

උපේක්ෂා පාරමිතාව - අනනු සෝවිය ජාතකය, උරග ජාතකය, චුල්ල බෝධි ජාතකය.

බෝධිසත්වවරු අභාග්‍යස්ථාන දහ අටක නූපදී.

1.උපතින් අන්ධ නොවේ, 2. උපතින් බිහිරි නොවේ, 3. උම්මත්තක නොවේ, 4. මන්ද බුද්ධික නොවේ, 5. ම්ලේච්ඡ නොවේ, 6. කුදු නොවේ, 7. දාසියකගේ කුස උපත නොලබයි, 8. නියත මිථ්‍යා දෘෂ්ටික පවුලක උපත නොලබයි, 9. ලිංග පරිවර්තනය නොවේ, 10. ආනන්තරීය පාප කර්ම නොකරයි, 11. ලාදුරු රෝගී නොවේ, 12. වටුවකුට වඩා කුඩා ද අලියකුට වඩා විශාල ද නොවේ, 13. ප්‍රේත භවයේ නො ඉපදේ, 14. කාල කඤ්ඡ අසුර නිකායේ නොඉපදේ, 15. අවීචියේ නොඉපදේ, 16. ලෝකාන්තරීය නිරයේ නොඉපදේ. (මාරයෙක් නොවේ.)17. රූප භවයේ අසංඥ සත්වයෙක් හා පංචශුද්ධාවාසවල නොඉපදේ, 18. අරූපාවචර බඹලොව නොඉපදේ.

සුත්ත නිපාත අට්ඨ කතාවට අනුව බෝධිසත්වවරු වර්ධනය කරන, දියුණු කරන අංග කිහිපයකි.

උත්සාහය - වීර්ය

උම්මග්ග - ප්‍රඥාව

අවට්ඨාන - අධිෂ්ඨානය

හිත චරියා - මෛත්‍රීය

බෝධිසත්වවරු දියුණු කළ යුතු අදහස් හයක් තිබේ.

1. පංචකාම අත්හැරීම හෙවත් කාම

සම්පත්වල වැරැදි බව දැකීම.

2. විවේකීව සිටීම. හුදකලා වාසයට ඇති කැමැත්ත.

3. පරිත්‍යාගය පුහුණු කිරීම හෙවත් අත්හැරීම.

4. මෛත්‍රියේ ආනිශංස දැකීම හා වැඩීම

5. ප්‍රඥාව වැඩීම හෙවත් පින් පව් අවබෝධ කර ගැනීම.

6. සසරින් මිදීමේ අදහස දියුණු කිරීම.

ජාතක කතාවලට අනුව බෝධිසත්වවරු සියල්ලෝ ම පරිත්‍යාග කළ යුතු අංග පහකි.

භාර්යාව, දරුවන්, රාජ්‍යය, අංගප්‍රත්‍යය, ජීවිතය.

බෝධිසත්ව චර්යාව සඳහා පාරමී පිරිය යුතු කාල පරිච්ඡේද තුනක් තිබේ.

1. ප්‍රඥාධික නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකි.

2. ශ්‍රද්ධාධික නම් අට අසංඛ්‍ය කල්ප ලක්ෂයකි.

3. වීර්යාධික නම් සෝළස අසංඛ්‍ය කල්ප ලක්ෂයකි.

සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් පදවිය ලබා ගැනීමට බෝධිසත්ව පාරමිතා සම්පූර්ණ කළ යුතු අතර, එබඳු උතුමන්ගේ මව, පියා, බිරිඳ, පුතු වීමට ද පාරමී දම් සම්පූර්ණ කළ යුතු ය.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]