[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අතීත ශ්‍රී විභූතියේ වර්තමාන උරුමය

අතීත ශ්‍රී විභූතියේ වර්තමාන උරුමය

අශෝක මහා අධිරාජයාගේ පුත් මහා මහින්ද මහ රහතන් වහන්සේ අනුගාමික ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධසාල යන රහතන් වහන්සේ සමඟ, සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසක සමඟ දෙවන පෑතිස් සමයේ දී ලක්දිවට වැඩමවීම සිදු විය.

මිහිඳු හිමියන් විසින් නම් කළ අටමස්ථානය සහ මිහින්තලය කඳු ශිඛරය මත මිස්සක පව්වේ දී ස්ථාපිත කළ මහා මිහිඳු සංස්කෘතිය දේශයේ සමඟියට මූලික පදනම දමන ලදී. මෙම සංස්කෘතික පුනරුදය තුළින් ජාතියේ සාමූහිකත්වය සහ මානව සබඳතා ශක්තිමත් වී ශ්‍රී ලාංකේය ජනතාව ලෝකයේ භාග්‍ය සම්පන්න ජන කොටසක් බවට පත් වෙයි.

විශාල වැව් සහ නෙක පොකුණුවලින් හද සනසන නුවර කළාවියේ ජනතාවගේ නිරන්තර ශීර්ෂාභිවන්දනයට පත් වූ අනුරාධපුර පුණ්‍ය භූමිය ශ්‍රී ලාංකික ජනතාවට පොසොන් සමයට ආරාධනා කරන්නේ ඉතාමත් බැතිබර දායකත්වයෙනි. ඒ අතීතයේදීත් එසේ සිදු විය.

තොසන් වඩන වන මැද පුන් සඳ අතරේ
අසන් මගේ ළඳ දිය පින් කළ මෙවරේ
තැනූ නොයෙක් වැඩ සිරිමා බෝ අතුරේ
ගොසින් වඳිමු ලද අපි අනුරාධපුරේ

විටෙක රජරට නියඟයෙන් ඉරිතලා යයි. තවත් අවස්ථාවක ගංවතුරින් සහ වැව් පිටාර ගැලීමෙන් ආර්ථිකය සපල කරයි. එහෙත් ලැබෙන සෑම අවස්ථාවක ම සිය ජීවනෝපාය වූ කෘෂිකර්මය ක්‍රමවත්ව ගොඩනඟා ගන්නා ජනතාව මිහිඳු සංස්කෘතියෙන් ලද පෝෂණයෙන් නැඟී සිටියහ.

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කළ දිනය පොසොන් දිනයයි. එදින ශ්‍රී ලාංකික ජනතාවට මහා සැණකෙළි දිනයකි. දෙවැනි පෑතිස් රජු අනුරාධපුරය තුළ උත්සව සංවිධාන කරමින් තම පිරිස සමඟ මිස්සක කඳු ශිඛරයේ මුව දඩයමේ නිරත විය. මෙම මොහොතේ දී මිහිඳු මහරහතන් වහන්සේ දෙවැනි පෑතිස් රජුගේ පරිපාලනය හා ඥාන ශක්තිය අවබෝධ කර ගනිමින් බෞද්ධ දර්ශනය දේශීය සංස්කෘතියට බද්ධ කරයි.

මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළ චුල්ල හත්ථි පදෝපම සූත්‍රය, දේව දූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය, විමාන වත්ථු දේශනය, පේතවත්ථු දේශනා ආදී දේශනා තුළින් ගැඹුරු සමාජ ධර්මයක අන්තර්ගතයන් අපට මඟ පෙන්වා දෙන ලදි.

මූලික දාර්ශනික පදනම විමංසනය යි. කුඩා ඇත්පා සටහන දැක ඒ පා සටහනෙන් දැක්වෙන්නේ වනයේ ජීවත් වන ලොකුම ඇතා යැයි නො සිතිය යුතු ය. වැඩිමනත් වශයෙන් ඔබ විසින් සොයා විමසා බලා විමංසනයෙන් යුතුව කටයුතු කළ යුතු ය.

දෙවන පෑතිස් හමුවේ දී ක්ෂණික අවබෝධය හා වැටහෙන බුද්ධියේ සුවිශේෂ ලක්ෂණ මිහිඳු හිමියන් තේරුම් ගෙන අවබෝධය සහ තාර්කික බව සමාජයට ප්‍රබල සාධකයක් බව කියා දෙයි. හැඟීම් විචක්ෂණ සහ ප්‍රඥාව ද පොදු යහපතට මූලික පදනම් දමයි. මෙම දැවැන්ත මූලධර්ම මිහිඳු සංස්කෘතියෙන් සමාජයට පෙන්වා දෙමින් ක්‍රෝධ නොකිරීමටත්, ඉවසීමෙන්, නිර්ලෝභීව, අනවශ්‍ය බියෙන් තොරව, අසුබ සෙවණැලිවලින් දුරස්ව, ජීවිතයට මූණ දෙන ආකාරයත්, මිහිඳු සංස්කෘතිය සමාජයට ඉස්මතු කර පෙන්වයි.

අනිත්‍ය බව, පීඩා සහිත බව සහ තමන් කැමැති ලෙස නොපවතින බව යන ත්‍රිලක්ෂණයන් තුළින් බෞද්ධ දර්ශනය ජීවිතය පිළිබඳ යථාර්ථය පැහැදිලි කර දුන් අතර, මිහිඳු හිමියන් තමාගේ සම්ප්‍රාප්තියෙන් අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කර ගෙන විවිධ කලා කෘතීන් හා ගෘහ නිර්මාණ ශිල්පය තුළින් ජීවිතයේ සෞන්දර්යාත්මක පැතිකඩ අපට පෙන්වා දෙයි.

අභයගිරිය, ජේතවනය, මිහින්තලය, ලෝවා මහා ප්‍රාසාදය, දුර සංකර පිරිවෙන, කුට්ටම් පොකුණ, රන්මසු උයන, පොකුණු පියගැටපෙළ, බිතු සිතුවම්, සඳකඩපහණ ආදිය තුළ දැවැන්ත නිර්මාණාත්මක සම්භවයක් සෞන්දර්යාත්මක ලෙස ශ්‍රී ලාංකික චින්තනයට උරුම කර දෙන ලදී. ජන ජීවිතයට යහපත් ගති පැවතුම් තහවුරු කිරීමේ සාරධර්ම ඇතුළත් ජන ධර්මයක් ද අධ්‍යාපනයෙන් මිහිඳු හිමියන් මතු කර දෙන ලදි.

අනුරාධ ග්‍රාමය මල්වතු ඔය කේන්ද්‍ර කර ගෙන සෙසු ගම්මාන ආරම්භයත් සමඟ ඉපැරැණි වාරි තාක්ෂණය සමඟ අභය වැව, තිසා වැව වැනි නිර්මාණවලින් අනුරාධපුර සමාජයේ ආර්ථිකය ගොඩනඟයි. විවිධ අතිරේක භෝග සමඟ සත්ත්ව පාලනය පෙරටු කර ගෙන සමාජ පෝෂිත සමාජයක් බවට මිහිඳු සංස්කෘතිය මඟින් නිර්මාණය වේ.

අතීතය තුළින් ලබා ගත් අත්දැකීම් සමඟ වර්තමාන සමාජයට පවා ජාතික නිෂ්පාදනයන්ට දායකත්වය ලබා දෙයි. වී නිෂ්පාදනය, බඩඉරිඟු, සෝයා ඇතුළු විවිධ නිෂ්පාදන භෝග මඟින් නිෂ්පාදන දායකත්වයෙන් රජරට ජනතාව අද ජාතියේ පෙරගමන්කරුවන් වී ඇත.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]