Print this Article


වැලිවිට ශ්‍රී සරණංකර හිමියෝ කාරක සංඝ සභික පදවි ලබති

වැලිවිට ශ්‍රී සරණංකර හිමියෝ කාරක සංඝ සභික පදවි ලබති

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහනසේ විසින් වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලමුද්ධි ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ කාරක සංඝ සභික ධුරය සඳහා මල්වතු මහා විහාරාධිවාසී, ඓතිහාසික ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මාතිලක රාජමහා විහාරය, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, රාජකීය පණ්ඩිත, වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් පත් කොට තිබේ.

මල්වතු මහා විහාරාධිවාසී කාරක සංඝ සභික අපවත් වී වදාළ සාලියපුර ධර්මකීර්ති ශ්‍රී සරණංකර විපස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට පත් වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ මහනුවර, මල්වතු මහාවිහාරීය ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනින් අධ්‍යාපනය ලබා දිවයිනේ ප්‍රමුඛස්ථානය ද සහිත ව පිරිවෙන් අවසාන, ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග ඇතුළු ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් ව දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරති. උන්වහන්සේ විසින් ස්වකීය උපසම්පදා අවස්ථාවෙහි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් විසින් රචිත මුනිගුණාලංකාරය නම් වූ පද්‍ය ග්‍රන්ථය සඳහා සන්නයක් ද සම්පාදනය කොට තිබෙන අතර පුවත්පත් හා සඟරා සඳහා දහම් ලිපි ද රචනා කරනු ලබති.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් ව වැලිවිට සරණංකර යන නාමය දරන සය වැන්නා ද මෙම හිමිපාණන් වහන්සේ වෙති.

- දිමුතු පුන්සර