Print this Article


පහන් සිතක කවි

පිරිසුදු වී

සුදු පිච්ච මල් සහිත බඳුනක් බුදුහිමිගෙ ඉදිරියෙ තබා
රුදු ගතිය මුහුණෙන් ඉවතලා මදහසද මුවගෙහි තබා
රැඳි දෙනෙත් සමිඳුගේ රුව දැක නිතර සිහියේ තබ තබා
පිදු කුසුම් සේ සිතෙහි පිරිසුදු බවක් රඳවා ගෙන තබා

පලස අතුරා ඒ මතට විත් දෙදන නවමින් ඉඳ ගෙනා
නිරස අවගුණ දුරු කරන්නට සැඳෑ සමයෙහි සිත් වෙනා
අලස කම් ගෙන පසෙක තබමින් තුටු සිතින් කරනට පිනා
සිරස මුදුනෙහි දොහොත් නඟමින් බුදුන් වඳිනට සැරසුණා


අවසානයක දුක

කරුණා දයා අවිහිංසා ගුණ යුතුව
මිනිහා පහළ විය ලෝකෙට වැඩ ඇතුව
උත්තම මිනිස් ගුණයෙන් යුතු ඔහු සතුව
ලෝකෙට මහා මෙහෙයක් ඇත කළ යුතුව

ඉපැදුණු මවුබිමට ජාතිය ආගමට
අදැරැති පුතකු ඉටුකළ යුතු මෙහෙවරට
අද ඔබ කරන වැඩ බරවී පාපයට
මහ ලොකු නිගාවක් ලක්මවු නාමයට

හැඟුමක් නැතිව තම ජාතික ආලයට
මත් පෙත්තට හුරුව රහ මෙර පානයට
හැදියාවෙන් තොරව මේ යන තාලයට
ඔබ හැම වැටෙණු ඇත පහළම ලෝකයට


දැවෙන ජීවිත

දිලෙන නිවෙන ගිනි මැල තුළ
දැල්වෙන ගිනි මැලයෙන් නිති
ජීවත් වෙන ජීවියෝ නිති
මිය යති දස දහස් ගණන්

දැල්වෙන ඒ ගිනි මැලයට
නිවෙනා කල ඒ මත්තේ
උපදිති දසදහස් ගණන්
ජීවියෝ ලෝකෙට නැවතත්


උතුම් පැතුමක්

ලේ කිරි කර ගෙන මා හැදූ වැඩූ අම්මා
ජීවත් වන හැටි මා හට කියා දුන් අම්මා
ජීවන මගේ සදහම් පින් කෙත අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකින් අම්මා