Print this Article


ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවි ලද ශාස්ත්‍රපති කැටියපේ ඉන්දසුමන නා හිමි

ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවි ලද ශාස්ත්‍රපති කැටියපේ ඉන්දසුමන නා හිමි

ගා/හබරාදූව පිටදූව බෝදරගම පුරාණ විහාරය, හීනටිගල උඩුපොහොණ පුරාණ විහාරය, මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය, මීපේ කෙසෙල්කඩුව පුරාණ විහාරය, පැදින්නෝරුව දොලගාව පුරාණ විහාරය, හියාරේ ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය යන විහාරයන් හි ආධිපත්‍ය දරණ හීනටිගල විද්‍යාකාන්ති පරිවේනාධ්‍යක්‍ෂ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති කැටියපේ ඉන්දසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත, මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ‘විනය කීර්ති ශ්‍රී පේමානන්ද’ යන ගෞරව නාම දේවෝපලක්‍ෂිතව ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය පසුගිය අප්‍රේල් මස 28 මහනුර රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාවේ දී සිදුකරනු ලැබිණි.

අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උපහාර පුණ්‍ය මහෝත්සවය මේ මස 07 වැනි දින ගා / හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙන් විහාරස්ථානයේ දී සවස 2.00 ට මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා සද්ධර්ම ශාසන කීර්ති ශ්‍රී ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝ රක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි සම්භාවනීයන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලබති.

සුපේශල ශික්‍ෂාකාමී, ශාසනමාමක, ධර්මධර, විනයධර යතිවරයන් වහන්සේ නමක් වූ කැටියපේ ඉන්දසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා ගත්හ. නුවරඑළිය කඳපොල ශ්‍රී සේනානන්ද පිරිවෙන, හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙන, සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය යන පිරිවෙන් හා විද්‍යාලවල සේවය කළ අපේ කැටියපේ ඉන්දසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්තමානයේ උණවටුන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වහන්සේ ලෙස සුවිසල් මෙහෙවරක් ජාතියේ දරුවන් වෙනුවෙන් ඉටුකරනු ලබයි.

විනය කීර්ති ශ්‍රී පේමානන්දාභිධාන ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවි ලද ශාස්ත්‍රපති කැටියපේ ඉන්දසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුණුරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් ලෝ සසුන් වැඩ වඩන්නට ශක්තිය දිරිය බලය තුණුරුවන් සරණින් ලැබේවා !