Print this Article


සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු බව පසක් කරමින් සම්බුදු පියාණෝ පිරිනිවනට වැඩි සේක

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු බව පසක් කරමින් සම්බුදු පියාණෝ පිරිනිවනට වැඩි සේක

බුදුරජාණන් වහන්සේගේ අවසාන වස් කාලය බේලුව නම් ගමෙහිදී සිදු විය. එහිදී දරුණු රෝගයක් වැළඳිණි. බලවත් චිත්ත ධෛර්යයකින් යුතුව එම වේදනාව ඉවසූ සේක.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ සංඝයාට කිසිවක් නොවදාරා පිරිනිවන් නොපාන සේකැයි සැනසුම් සුසුමක් හෙළිය හැකි වූයේ දැන් යැයි අනඳ තෙරණුවෝ පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ

“ආනන්ද සියලුම දේ දේශනා කරන ලදී. මා ළඟ ගුරු මුෂ්ටියක් තබාගෙන නැත. ආනන්ද භික්ෂු සංඝයා පාලනය කරමි'යි කියා, හෝ භික්ෂු සංඝයා මා නිසා ජීවත් වෙතියි කියා හෝ අදහසක් මා තුළ නැත.”

“ආනන්ද, මම අසූ වයස් වූ දිරාපත් වූ මහල්ලෙක් වෙමි. දිරාපත් වූ කරත්තයක් සැලෙන්නේ යම් සේ ද මාගේ ශරීරය ද එබඳු ම ය. ආනන්ද තමාට තමා ම පිහිට කොටගෙන, තමා ම සරණ කොට ගෙන, ධර්මය පිහිට කොට ගෙන, ධර්මය ම සරණ කොටගෙන ජීවත් වෙන්න. අන් සරණක් නැත.”

පසුදිනක විසාලා මහනුවර පිඬු සිඟා වළඳා ආනන්ද තෙරණුවන් සමඟ චාපාල චේතිය නම් ස්ථානයට වැඩි සේක.

“ආනන්ද විසාලා මහනුවර රමණීයයි. උදේන චේතිය රමණීයයි. ගෝතම චේතිය රමණීයයි. සත්තම්බ චේතිය රමණීයයි.”

“ආනන්ද සතර ඍද්ධිපාද මැනවින් ප්‍රගුණ කළ කෙනකුට කැමති නම් මේ ආයු කල්පය හෝ ඊටත් මදක් වැඩියෙන් හෝ ජීවත්වීමට පිළිවන. තථාගතයන් වහන්සේ සතර ඍද්ධිපාද වඩා ඇති හෙයින් ඒ සඳහා සමත් වන සේක.”

බුදුරජාණන් වහන්සේ පැවසූ දෙය ගැන අනඳ තෙරණුූවෝ සැලකිල්ලක් නොදැක්වීමෙන් තුන් මසකින් පසු පිරිනිවන් පෑමට තීරණය කළහ. පසුව ආනන්ද තෙරණුවන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

“මහණෙනි, මා අවබෝධ කොටගෙන දෙසූ ධර්මය මැනවින් ඉගෙන, ලෝකයාගේ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බුදුසසුන චිරස්ථායි වන සේ කටයුතු කරන්න. මහණෙනි, තථාගතයන් වහන්සේ තව නොබෝ කලකින් එනම් තුන් මසකින් පිරිනිවන් පාන සේක. සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුයි. නොපමාව කුසල් දහම් කර ගන්න.”

භාණ්ඩ ගමට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සීල, සමාධි,ප්‍රඥා, විමුක්ති යන සතරෙහි අගය වදාළ සේක. හස්තිගාම, අම්බගාම, ජම්බුගාම, භෝග නගර යන ගම් පසුකරමින් භෝග ග්‍රාමයේ දී සතර මහෝපදේශ දේශනා කළහ.

පාවා නුවර දී චුන්දකර්මාර පුත්‍රයාගේ නිවසේ දී සූකරමද්දව නම් විශේෂ ආහාරයක් සමඟ දන් වැළඳීමෙන් පසු ලෝහිත පක්ඛන්දිකා නම් ලේ අතීසාරය රෝගය යළිත් මතු විය. ආනන්ද තෙරුන් සමඟ කුසිනාරාවාට වඩින අතරතුර දැඩි වෙහෙසක් සමඟ දැඩි පිපාසයක් ද ඇති විය. ගසක් මුල වැඩ සිට

“ආනන්ද බොහෝම පිපාසයි. පැන් ටිකක් සොයාගෙන එන්න” ආනන්ද තෙරුන් කුඩා නදියකින් පැන් ගෙනවුත් පිළිගැන්වූහ. අතරමඟ දී පුක්කුසාති නම් මල්ල රටවැසි තරුණයකු උන්වහන්සේ සමඟ කථා කොට සිවුරු දෙකක් පිළිගැන්වීය. එයින් එක් සිවුරක් ආනන්ද තෙරුන් විසින් බුදුරදුන්ට පෙරවූහ. පසුව කකුද නම් නදියට බැස සිරුර දෝවනය කොට අසල තිබූ අඹ වනයට වැඩියහ. දැඩි ක්ලාන්ත ගතිය නිසාම ගසක් මුල බිම සඟල සිවුර අතුරුවා සැතපුණ සේක.

ඉන්පසුව බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනට වැඩම කළ සේක.

“ ආනන්ද දැඩි ක්ලාන්ත ගතියක් දැනෙයි. සැතපීමට මේ සල්ගස් දෙක අතර, උතුරට හිසලා ආසනයක් පිළියෙල කර දෙන්න.” පිළියෙල කළ ආසනයේ බුදුරජාණන් වහන්සේ සැතපුණු සේක. සල්වනය මලින් ගැවසී ගත්තේ ය. මල් රේණු, මල් පෙති, බුදු පුදට මෙන් උන්වහන්සේගේ සිරුර මත වැටෙයි. දෙවියෝ ද මල් විසුරවමින් පූජා පවත්වන්නට විය. එහිදී

“ආනන්ද, මේ සල්ගස් අකාලයෙහි පිපුණු මලින් ගැවසී ගෙන ඇත. මල් රේණු, මල් පෙති, ඔබ මොබ වැටෙයි. මගේ සිරුර මත ද වැටෙයි. දෙවියෝ ද මලින් පූජා පවත්වති. ආනන්ද, මට මෙසේ බාහිර පූජා පැවැත්වීම නියම පූජාවක් නොවේ. යම් කෙනකු ධර්මයට අනුව හැසිරේ නම් එම ප්‍රතිපත්ති පූජාව මට කරන උසස්ම පූජාවයි. ආනන්ද එම ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙන්න.

සංවේගයෙන් පසුවන භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

“මහණෙනි, සැදැහැවත් කුල පුත්‍රයකු විසින් දැක සංවේග උපදවා ගත යුතු තැන් හතරකි. තථාගතයන් වහන්සේ උපන් තැන, බුදුවූ තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන යනු ඒ සතරයි. අනඳ තෙරණුවෝ මට තවමත් රහත්වීමට නොහැකි විය. මා කෙරෙහි දයාවෙන් යුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා සේක. දැන් මට කවර පිහිටක් ද? යනුවෙන් කියමින් හඬන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ඒ බව දැන

“ආනන්ද, සියලු පි‍්‍රය මනාප දෙයින් වෙන්වීමට සිදු වන බව මා කල් ඇතිවම කියා තිබෙනවා නොවේ ද? ශෝක නොකරන්න. තථාගතයන් වහන්සේගේ ශරීරය වුව ද, අනිත්‍ය වේ. මට දිගු කලක් ඉතා හිතවත් ව උපස්ථාන කිරීමෙන් ඔබට ඉමහත් පිනක් රැස්කර ගැනීමට හැකි විය. ආනන්ද ඔබ පින් කළ කෙනෙක්. ඉතා ඉක්මනින් ඔබට රහත්වීමට පුළුවන්.” කියා ආනන්ද තෙරුන්ගේ ගුණ වර්ණනා කළ සේක.

ආනන්ද තෙරුන් මල්ල රජ දරුවන් රැස් කරවා අද රාත්‍රී පශ්චිම යාමයෙහි තථාගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක. පමා වී පසුතැවිල්ලට පත් නොවන්න. වහා එහි ගොස් උන්වහන්සේ දැක ගන්න. ඒ ඇසූ මල්ල රජ දරුවන් හඬ,හඬා වැලපි වැලපී, උපවත්තන සල් උයනට ඉතා ඉක්මනින් ගියහ.

කුසිනාරාවෙහි විසූ සුභද්‍ර නම් පරිබ්‍රාජකයාට බුදුරදුන් එදින පිරිනිවන් පාන බව සැලවිය. බුද්ධෝත්පාද කාලයක වටිනාකම අසා දැන සිටි ඔහු තමන්ට ඇති ගැටලු කිහිපයක් අසා දැන ගන්නට සිතා අනඳ හිමියන් මුණ ගැසුණ ද බුදුරජාණන් වහන්සේගේ විවේකයට සිදුවන බාධා ගැන සිතා එයට ඉඩ නොදුන් අතර, බුදුරජාණන් වහන්සේට දෙදෙනාගේ කථාව ඇසුණහ.

“ආනන්ද සුභද්‍රට මා වෙත එන්නට ඉඩ දෙන්න. ඔහු පැමිණ ඇත්තේ මා වෙහෙසන්නට නොවේ. මගෙන් කරුණු විමසා දැන ගැනීමටයි. මා විසඳා දෙන කරුණු වහා අවබෝධ කර ගැනීමට සුභද්‍ර සමත්. අනඳ තෙරණුවෝ සුභද්‍රට බුදුරදුන් වෙත යෑමට ඉඩ දුන්හ. ඔහු විසඳාගත යුතු ගැටලුවලට විසඳුම් ලබා ගත් අතර, බුදු සසුනේ අවසාන ශ්‍රාවකයා ලෙසින් ජීවමාන බුදුරදුන් අභිමුව පැවිදි උපසම්පදාව ද ලැබුවේ ය.

“ආනන්ද බුදු සසුනෙහි ශාස්තෘවරයකු නැතැයි කිසිවිටෙකත් නොසිතන්න. මා විසින් දේශනා කරන ලද ධර්ම විනය දෙක මගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘවරයා වන්නේ ය.” ඉක්බිතිව භික්ෂූන් අමතා “මහණෙනි, තුණුරුවන් පිළිබඳ සැකයක් ඇතොත් දැන්ම විමසා දැනගන්න. තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් නොවිචාරා සිටින්නහු නම් යහළුවන් මඟින් විචාරා දැන ගන්නැයි වදාළහ.

අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි. වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ”

මහණෙනි මම දැන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුයි. නොපමාව කුසල් දහම්හි යෙදෙන්න.” මෙය අන්තිම බුද්ධ වචනයයි.

තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම රහත් නොවූ භික්ෂූන් වහන්සේට දරාගත නොහැකි තරම් ශෝකදායක සිද්ධියක් විය. රහතන් වහන්සේලා සියලු සංස්කාර ධර්ම අනිත්‍යය යැයි පවසමින් ධර්ම සංවේග උපදවා ගත්හ.

පසුදින උදෑසන අනුරුද්ධ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි ආනන්ද තෙරණුවෝ කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙතට ගොස් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමේ ඛේදජනක ප්‍රවෘත්තිය දන්වා සිටියහ.

වෙසක් සඳ කෙමෙන් කෙමෙන් අවරට යමින් පැවතිණි. උපවත්තන සල් උයන පුරාම වූයේ ශෝකය හා සංවේගය මුසු පරිසරයකි. අකලට පිපී පෙදෙසම වර්ණවත් හා සුගන්ධවත් කළ සල්මල් එක දෙක බිම පතිත වූයේ අනිත්‍යතාව පිළිබඳ පාඩම් පොතේ පත් ඉරු එකින් එක දිග හරින්නාක් මෙනි. බුදුරජාණන් වහන්සේ අවසාන වරට ධ්‍යානවලට සමවදිමින් සැතපී සිටියහ. නොරහත් භික්ෂූන් වහන්සේ ඒදෙස බලා සිටියේ දුක් සෝසුසුම් හෙළමිනි.

සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙනෙහි කරමින් ධර්ම සංවේගය උපදවා ගත් රහතන් වහන්සේලා නිසලව බලා සිටියහ. පන්සාළිස් වසරකට පෙර තුන් ලොවම එළිය කරමින් උදා වූ සම්බුදු වෙසක් සඳ තවත් වසර දහස් ගණනක් පුරා පැතිර යන ආලෝකයක් ඉතිරි කරමින් බැස යන මොහොත උදා විය.

මෛත්‍රී ජලයෙන් තුන් ලොවම සිසිල් කළ දහම් අමා වැස්සෙන් කෙලෙස් ගිනි නිවාලු මහා කාරුණික වූ, අසරණ සරණ වූ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඒ වෙසක් පුර පසළොස්වක් පොහෝදා අලුයම් කාලයේ දී පිරිනිවන් පා වදාළහ. එකෙනෙහි ම මහ පොළොව කම්පා වූයේ තථාගත පරිනිර්වාණය මුළු ලොවට දැනුම් දීමට මෙනි. මල්ල රජ දරුවන්ගේ සංවිධායකත්වයෙන් තථාගත ශරීරයට විවිධ පූජෝපහාර පැවැත්විණි.

ආදාහන කටයුතු සංවිධානය වූයේ සක්විති රජ කෙනකුගේ ආදාහනයක් මෙනි. දෙව් මිනිස්, බඹ, සුර නරන්ගේ පූජෝපහාර මැද මකුටබන්ධන නම් ස්ථානයේ ඉදිකරන ලද සඳුන් දර සෑයක. මේ මහා භද්‍ර කල්පයේ හතරවන සම්මා සම්බුදුරදුන් ලෙස පහළ වූ ගෞතම තථාගත ශ්‍රී දේහය ආදාහනය කළහ. මෝදු වූ වෙසක් සුපුන් සඳ අවරදිග අහස් තලයෙන් බැස ගියේ ය.